ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපි ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕන නිසයි කඳු නගින්න පුරුදු වුණේ'
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
'අපි දෙන්නම වැඩ කරන්නේ කෝපරේට් වර්ල්ඩ් එකේ. වැඩ කරද්දී එන ස්ට්‍රෙස් එකත් එක්ක අපි තීරණය කළා අඩුම තරමින් මාසයකට එක පාරක් හරි කන්දක් නගින්න ඕන කියලා. එතැනින් තමයි මේ ගමන පටන් ගත්තේ.' බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඩුබායි හි දැනට සේවය කරන ස්වරංග ජයසංක පැවසුවේය.
මීට දින කිහිපයකට පෙර ලෝකයේ උසම කන්ද වන එවරස්ට් හි 'බේස් කෑම්ප්' දක්වා ගොස් නැවත පැමිණි ස්වරංග කියා සිටියේ තමන්ට මෙන්ම එම ගමනට සහභාගී වූ බිරිඳට ද එය දුෂ්කර වුවත් ඉතා හොද අත්දැකීමක් ගෙන දුන් බවයි.
ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් වෙත ළඟා වු ශ්‍රී ලාංකිකයා වුයේ ජයන්ති කුරුඋතුම්පාල ය. එමෙන්ම යොහාන් පීරිස් ද එම ගමනට එක්විය.
'කඳු නගින්න පටන් ගත්තේ කැම්පස් යන කාලයේ'
ගාල්ල ප්‍රදේශයේ උපත ලබා ඇති ස්වරංග ජයසංක දැනට ඩුබායි හි ජීවත් වන අතර, ඔහු සිය බිරිඳ සමග එහි දිවි ගෙවයි. ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේ තමන් සහ බිරිඳ කඳු නැගීම ආරම්භ කලේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ සිට බවයි.
'මම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ අධ්‍යාපනය හැදෑරුවේ. එහිදී තමයි මගේ දැන් බිරිඳ වෙන දිමුතු නිශානි සිල්වා හමුවුනේ. 2013 වසරේ කැම්පස් යන පළමු අවුරුද්දේ දී තමයි අපි හන්තාන, ආදර කන්ද වගේ ඒවායින් මේ කඳු නගින එක පටන් ගත්තේ.''
''අපි විවාහ වුනාට පස්සේ හිතා ගත්තා අඩුම තරමින් මාසෙකට එක පාරක් හරි කඳු නගින්න යනවා කියලා. ලංකාවේ මේ වෙද්දී ලකේගල, සප්ත කන්‍යා, ෆීනික්ස් -2, වාලිඹේ හෙළ කන්ද ඇතුළුව සාමාන්‍යයෙන් ගොඩක් අය තරණය කරලා තියෙන කඳු අපි දෙන්නා තරණය කරලා තියෙනවා මේ වෙද්දී.''
''අපි දෙන්නම කෝපරේට් වර්ල්ඩ් එකේ වැඩ කරන්නේ. ඉතින් හරියට ස්ට්‍රෙස් ලයිෆ් එකක් අපි දෙන්නට තියෙන්නේ. මේ නිසයි අපි වැඩියෙන්ම උත්සාහ කරන්නේ කඳු නගින්න.. ඒකෙන් අපේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා.' ඔහු පැවසීය.
කඳු තරණය කිරීම් සඳහා සිය බිරිඳ සමග පමණක් නොව කණ්ඩායම් වශයෙන් මිතුරන් සමග ද ගිය බව ජයසංක පවසයි.
'සමහර ගමන් අපි තනියම ගිහින් තියෙනවා. ඒ වගේමයි අපි යාලුවෝ කට්ටිය එකතුවෙලා ප්ලෑන් කරලත් යනවා. මුලින්ම කෝච්චියේ බස් එකේ එහෙමත් නැත්නම් බයික් එකේ තමයි කඳු නගින්න ගියේ අපි.' ඔහු සිය මතකය අවදි කළේය.
'සමහර ගමන් වලදී රෑ වෙලා කැලෑවේ අතරමං වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. කැලෑවල ගොඩක් ඇවිදලා තියෙන නිසා පාරවල් හොයාගෙන හෙමිට එලියට එන්න ලැබුණ අත්දැකීම් එහෙම තියෙනවා. ඒ වගේම නුවරගල කන්ද නගින්න යද්දී අලි එහෙම හම්බ වුණා. හැබැයි කිසිම කරදරයක් වුනේ නැහැ. අපි එහෙ යද්දී ගියේ වැද්දෙක් එක්ක. සත්තු එහෙම ඉන්න කැලයක් නම් අපි ගයිඩ් කෙනෙක් ගේ උදව් අනිවාර්යෙන්ම ගන්නවා. මොකද රිස්ක් එකක් ගන්න බැරි නිසා.' ජයසංක කඳු නැගීමේදී තමන් මුහුණ දුන් අත්දැකීම් ගැන සිහිපත් කළේය.
'බේස් කෑම්ප්' ගමනට අඩිතාලම වැටුණු හැටි
'බේස් කෑම්ප්' ගමනට පළමු අදහස පැමිණියේ මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කන්දක් තරණය කරමින් සිටිය දී පලවූ යෝජනාවකින් බව ද ස්වරංග ජයසංක පැවසුවේය.
'දවසක් ලංකාවේ කන්දක් තරණය කරන්න ගිය වෙලාවේදී එතන හිටිය කෙනෙක් මේ බේස් කෑම්ප් ගමන ගැන කිව්වා. එතැනදී තමයි අපිට මුලින්ම අදහසක් ආවේ කවදා හරි මේ ගමන යන්න ඕන කියලා. ඒකට ටිකක් ලොකු වියදමක් එහෙම යනවා කියලත් ඒ කෙනා අපිට කිව්වා. අපි ඊට පස්සේ මේ ගැන හෙව්වා. කවුද මේ ගමන් සංවිධානය කරන්නේ සහ කොච්චර මුදලක් වියදම් වෙනවද කියන එක ගැන වගේම ගමන ගැනත් තොරතුරු හෙව්වා. එතැනදී තේරුන දේ තමයි මේක පහසු ගමනක් නෙමෙයි කියන එක.''
''ඔය අතර වාරයේදී තමයි දසුන් තාරක කියන කෙනා පොස්ට් එකක් දාලා තිබ්බා බේස් කෑම්ප් යන්න ටුවර් එකක් ඔර්ගනයිස් කරනවා කියලා. මේකට ලංකාවෙන් 12 දෙනෙක් සහභාගී වුනා. මේකේ විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් ඔය වගේ ගමනක් යන්නේ නේපාල ජාතික මග පෙන්වන්නෙක් එක්ක. නමුත් අපි මේ ගමන ගියේ ලංකාවේ මගපෙන්වන්නන් දෙන්නෙක් එක්ක.' ඔහු පැවසීය.
'බේස් කෑම්ප්' දක්වා යන ගමන සඳහා මාස දෙකක කාලයක් තුළ සුදානම් වූ බවත් පවතින සීතල කාලගුණය සඳහා මුහුණ දීමට අවශ්‍ය වටපිටාව මෙන්ම ඊට ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීම සඳහා වෙනම ව්‍යායාම් සිදුකිරීමට පවා උපදෙස් දුන් බව ඔහු පැවසුවේය.
'අපිට මේ ගමන සඳහා සුදානම් වෙන්න මාස දෙකක් වගේ කාලයක් ගියා. අනිත් එක අපි මේ ගමන ගියේ සාමාන්‍යයෙන් එවරස්ට් කන්ද තරණය කරන සීසන් එකේ නෙමෙයි. ඒ නිසා පරිසරයේ උෂ්ණත්වය සෘණ 26 දක්වා පල්ලෙහාට වැටෙනවා කියන එක කියලා තිබ්බ නිසා ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ඇඳුම් වගේ දේවල් සුදානම් කර ගන්න කියලා අපිට උපදෙස් දුන්නා.''
''ඒ එක්කම ජිම් එකට ගිහින් කරන්න ඕන එක්සයිස් පවා අපිට ගයිඩ් දැනුවත් කළා. ඒ වගේම මාස්ක් එකක් දාගෙන ඇවිදින්න කියලා කිව්වා. එහෙම ටික කාලයක් කරාට පස්සේ මාස්ක් දෙකක් දාගෙන ඇවිදින්න කියලා උපදෙස් දුන්නා. මේ ඔක්කොම අපේ ගමනේදී එක්තරා තැනකදී වැදගත් වුණා ඒ ඇතිවුන දේශගුණ තත්ත්වය එක්ක.''
''අපිට අවශ්‍ය බෑග්, ගමනට අවශ්‍ය ඇඳුම් සහ සපත්තු ඇතුළු දේවල් සුදානම් කර ගන්න ලක්ෂ 03කට වගේ ආසන්න මුදලක් වැය වුනා. සම්පුර්ණයෙන්ම ගමනට එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 09ක් වගේ මුදලක් වියදම් වුණා.' ඔහු පැවසුවේය.
'අපි ගමන ගියේ අමාරුම පාරෙන්'
'බේස් කෑම්ප්' දක්වා පාගමන ආරම්භ කරන සංචාරකයින් බොහෝ දෙනා කත්මණ්ඩු සිට ලුක්ලා දක්වා ගුවනින් ගොස් එය සිය ගමන ආරම්භ කෙරුවද, ස්වරංග ජයසංක පැවසුවේ තමන් ඇතුළු පිරිස සාම්ප්‍රදායික මාර්ගයේ ගමන් කොට මෙම සංචාරය ආරම්භ කළ බවයි.
"හැමෝම යන ක්‍රමය තමයි අලුත් පාර. ඒ කියන්නේ කත්මණ්ඩු වලට ගිහින් එතන ඉදලා ලුක්ලා වෙනකම් ප්ලේන් එකෙන් ගිහින් තමයි බේස් කෑම්ප් එකට යන්නේ. නමුත් අපි කත්මණ්ඩු ඉදලා දවස් දෙකක් සෆාරි ජීප් එකකින් ගියා ලුක්ලා වෙනකම්. මේ පාර හරිම අවදානම් පාරක්. ඉතාම පටු වගේම ප්‍රපාත වලින් පිරුණු භයානක පාරක්.''
''කිලෝමීටර් 260 කට වැඩි දුරක් ගෙවලා අපි ආවා නේපාලයේ, පයියා කියන ගමට ආවා. අපි එතැනින් තමයි පාගමන පටන් ගත්තේ 'බේස් කෑම්ප්' එකට යන්න. අපි පයියා කියන ගමේ ඉදලා පළවෙනි දවසේ කිලෝමීටර් 16ක් ඇවිද්දා පාර්ක්දින් කියන ගමට. එදා රෑ දවස අපි එතන ඉදලා අපි දෙවැනි දවසේ ගමන ආරම්භ කළා නම්චේ බසාර් දක්වා. අපි එක දවසක් නම්චේ බසාර් වල විවේක ගන්න වෙන් කරලා තිබ්බා.''
''ඒත් අපි රෙස්ට් ඩේ එකේදී කළේ මුහුදු මට්ටමේ ඉදලා මීටර් 3,880ක් උසකින් තියෙන එවරස්ට් විව් කියන හෝටලය තියෙන තැනට පාගමනින් ගියපු එක. මෙතනට ගියේ අපේ ඇගවල් ඉහළ උසකින් තියෙන පරිසරයට පුරුදු ද කියලා බලන එකයි මේකෙන් කළේ. එතනට ගිහිල්ලා අපි ආපහු නම්චේ බසාර් වලට ආවා.''
''අපි ඊට පස්සේ නම්චේ බසාර් ඉදලා ගමන ආරම්භ කලේ පැන්ග්බොචේ කියන ප්‍රදේශයට ආවා. ඇවිල්ලා එතන තියෙන අමා ඩබ්ලම් කියන 'බේස් කෑම්ප්' එකට ගියා. ඒක මුහුදු මට්ටමේ ඉදලා මීටර් 4,600ක් උසකින් තියෙන තැනක්. මෙතනට අපි ආවේ තවත් ඉහළට යන්න අපේ ඇඟවල් සුදානම් කර ගන්න අවශ්‍ය නිසා. මේ ගමනේදී අපි අරන් ගිය වතුර ගෙනියන වෝටර් බෑග්ස් වල අයිස් වෙලා තිබුණා. ඒ තරම් සීතලක් තිබුනා එතන.''
''අපි මේ වගේ තවත් දවස් 03ක් පාගමනින් ගිහින් තමයි ගොරක්ෂේප් වලට ආවා. එතැන ඉදලා තමයි අපි බේස් කෑම්ප් එකට නගින්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපි ජීප් එකෙන් ගියපු ගමනේ ඉදලා දවස් 07ක් වගේ ඇවිද්දා ගොරක්ෂේප් වලට. මේ හැම දවසකම අපි කලේ කන්දක් නැගලා ඒ කන්ද බහින එක. සාමාන්‍යයෙන් කිලෝමීටර් 15-18ත් අතර දුරක් ඇවිදින්න වුනා. මොකද මේ ගමන අපි සාමාන්‍යයෙන් එක පාර වගේ ඇවිදගෙන යන්න බැහැ' ජයසංක පැවසුවේය.
'ඔක්සිජන් අඩු වෙන නිසා ගමන අමාරු වුණා'
''ක්‍රමයෙන් මුහුදු මට්ටමට වඩා උසින් ඉහළට ගමන් කිරීමේදී ඔක්සිජන් මට්ටම අවම නිසා තමන්ට එහි බලපෑම දැණුනු බවත්, ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වීම නිසා එක් අයෙකුව නැවත ගුවන් මගින් කත්මණ්ඩු දක්වා යැවීමට සිදුවූ බව ඔහු පැවසුවේය.
''උස වැඩි වෙන්න ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඒක මට හොදටම දැනුණා. මිනිත්තු 05ක් ඇවිදිගෙන යන කොට හතියක් එනවා. කොටින්ම කියනවානම් සපත්තුවේ ලේස් එක ගැට ගහන්න පහත් වෙන්න පවා අමාරු වුණා.''
''ඇගේ ඔක්සිජන් මට්ටම අඩු වෙච්ච නිසා අපිත් එක්ක ගියපු මල්ලි කෙනෙක්ව ගොරක්ෂේප් ඉදලා ආපහු කත්මණ්ඩු වලට හෙලිකොප්ටර් එකක් ආධාරයෙන් එවන්න වුණා හදිසි තත්ත්වයක් ඇති වුණ නිසා. එයාගේ ඇගේ ඔක්සිජන් මට්ටම සීයයට 36ක් වෙනකම් අඩු වුණා. එයාට ඔක්සිජන් පවා දෙන්න වුණා.''
''මුහුදු මට්ටමේ ඉදලා මීටර් 5000කට වැඩිය උසින් තියෙන නිසා එතන ඉන්න අය අපිට කිව්වේ සීසන් එකෙන් පස්සේ එයාලා ආපහු නැවත පල්ලෙහාට යනවා කියලා. ඒ තරම් අමාරුයි මේ ප්‍රදේශයේ ඉන්න.''
''අපිට ගොරක්ෂේප් ඉදලා 'බේස් කෑම්ප්' වලට කිලෝමීටර් 04ක දුරක් යන්න තිබ්බා. අපි අපේ බෑග්ස් ඔක්කොම එතන තියලා ඒ කිලෝමීටර් 04 ඇවිද්දා 'බේස් කෑම්ප්' එකට. ගිහින් එහෙ ඉදලා ආපහු ගොරක්ෂේප් වලටම ආවා එදා රෑ. මේ ආපහු එන ගමනේදී අපිට පාර වැරදුණා. නමුත් අපේ ගයිඩ් අපිට පාර පෙන්නගෙන නතර වෙච්ච තැනට එක්කන් ආවා. එද්දී ලොකු සීතලක් දැනුණා.''
''ඒ ලේවල් එකේ ජීවත් වෙනවා කියන එක ලේසි නැහැ කියන එක මම තේරුම් ගත්තා. අපි එලියට ගිහින් කාමරේට ආවට පස්සේ අපේ හාර්ට් රේට් එක අඩුවෙන්න ලොකු වෙලාවක් ගියා. මේකට කියන්නේ 'මවුන්ටන් සික්නස්' කියලා. අපිට එහෙදි ගයිඩ් බෙහෙත් පවා දුන්නා. මුහුදු මට්ටමේ ඉදලා උසට යන්න යන්න මේක ඇතිවෙනවා. ඒක තමයි මේකේ තියෙන අමාරුම හරිය.''
"තව විශේෂම දේ තමයි අපි මේ ගමනේදී කිසිම පෝටර්වරයෙකු ගේ සහයක් ලබා ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 12කට වැඩිය බරක් තිබ්බ අපේ බෑග් අපිමයි උස්සගෙන ගියේ."
''එවරස්ට් කන්ද තරණය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි, නමුත් කවදා හරි ඒක කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම වෙනත් රටවල තියෙන කඳු තරණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.' ඔහු වැඩිදුරටත් පැවසුවේය.