හොරපේ දුම්රිය අනතුර:'අම්මේ අද යන්නම ඕන කියලයි ගියේ;මගෙන් සල්ලිත් ඉල්ල ගත්තා බස් එකේ යන්න'

Passengers are travel in an overcrowded train during a railway workers hold a work strike in Colombo on March 15, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

*අවවාදයයි:මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයින්ට කම්පනයක් ඇතිවිය හැකි ය.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක වහලය මත නැගී ගමන් කළ තරුණයෙකු අද (සැප් 12) හොරපේ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය.

අනතුරෙන් මියගොස් ඇත්තේ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු මොරටුව ජපන් කාර්මික විද්‍යාලයයේ ඉගෙනුම ලබන අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.

දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානය අසල දී ඉන් ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ‍ ය.

දුම්රිය රියැදුරන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය අද දිනයේ දී සීමා සහිතවී තිබේ.

'වැටුණු ළමයගේ ඔලුව කුඩු වෙලා තිබුණා'

දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබුණි.

ඒ හමුවේ ධාවනයට එක්කර ඇති සීමිත දුම්රියවල පැවති මඟී තදබදය හේතුවෙන්, අනතුරට පත්වූ මෙම තරුණයා දුම්රියේ වහලය මත ගමන්කර ඇති බව අදාළ දුම්රියේ සිටි, අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙකු බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

සතියේ රාජකාරී දිනයක් බැවින් බොහෝ දෙනා අද රැකියා කටයුතු සඳහා දුම්රියේ ගමන් කරමින් සිටිබවත්, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී එක්වරම දුම්රියේ වහලේ ගමන් කළ අයෙකු ඇද වැටුණු බවට කෑ ගසන ශබ්දයක් ඇසුණු බවත් ඔහු පැවසීය.

හොරපේ ප්‍රදේශයේ පදිංචි කේ. අතුල, ඔහු උදෑසන කාර්යාලයය සඳහා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ දී මෙම අනතුර පිළිබඳව දැන ගැනීමට ලැබුණු බව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

"මම උදේ වැඩට යන්න එනකොට කෝච්චිය අපේ ගෙවල් ළඟින් එන ගමන් තිබ්බේ. මම පාරට ඇවිල්ලා දුම්රිය ගේට්ටුව ළඟට එද්දී ස්ටේෂන් එක ළඟ කට්ටිය කියන්න ගත්තා එක්කෙනක් කෝච්චියෙන් වැටුණා කියලා.

"පස්සේ මම ගිහින් බැලුවා. ඒ වැටුන ළමයගේ ඔලුව කුඩුවෙලා, හැම තැනම කෑලි තිබුණා. පස්සේ ස්ටේෂන් එකේ කට්ටිය ඇවිත් ඒ බොඩි එක අරන් ගියා," ඔහු ප්‍රකාශ කළේ ය.

'අම්මේ අද යන්නම ඕන කියලයි ගියේ - මගෙන් සල්ලිත් ඉල්ල ගත්තා බස් එකේ යන්න'

මේ අතර, සිද්ධියෙන් මියගිය 18 හැවිරිදි දිනෙත් ඉඳුවරගේ පියා මාධ්‍යයට පැවසුවේ, පුත්‍රයා මොරටුව ජපන් කාර්මික විද්‍යාලයයේ හදාරන පාඨමාලාව සඳහා වෙනදා ගමන් කරන පෙරවරු 06.05 දුම්රිය නොතිබීම හේතුවෙන් අද දිනයේ දී මෙම අනතුරට මුහුණ පෑ දුම්රියේ ගමන් කළ බව යි.

"මම වෙනද වගේම පුතාව ගම්පහ ස්ටේෂන් එකට එක්කන් ආවා. එද්දී උදේ 6.05 කෝච්චිය තිබුණේ නැහැ. ඒ නිසා, 6.45 කෝච්චියේ ගිහින් කෝස් එකට යන්න වෙලාව මදි නිසා මම ඒ ගැන ගෙදර ගිහින් කිව්වා.

"ඒ වෙලාවේ [පුතාගේ] අම්මා කෝල් කරලා කිව්වා පුතාට ගෙදර එන්න කියලා. ඒත් අද යන්නම ඕන කියල යි ඔය ගියේ. කොළඹින් බැහැලා බස් එකේ යන්න මගෙන් සල්ලිත් ඉල්ලා ගත්තා පුතා අද උදේ.

"මට සල්ලි තිබ්බෙත් නැහැ බස් එකේ යවන්න රුපියල් 300ක්. කොළඹින් බැහැලා බස් එකේ යන්නම් තාත්තේ කිව්වා. මේ කෝච්චි ස්ට්‍රයික් එක නිසානේ මෙහෙම දෙයක් වුණේ," පියා වේදනාවෙන් පැවසුවේ ය.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා - ශෝකය පලකරමින් ප්‍රවාහන ඇමති කියයි

අද (සැප්තැම්බර් 12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැ යි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, උදෑසන සිදුවූ අනතුරෙන් මියගිය තරුණයා වෙනුවෙන් මිනිත්තුවක කාලයක් නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ශෝකය පළකර සිටියේ ය.

දුම්රියේ වහලය මත ගමන් කරමින් සිටිය දී මෙම තරුණයා අනතුරට ලක්වූයේ දුම්රිය රියැදුරන් 84 දෙනෙකු විසින් දියත්කළ වැඩ වර්ජනය හේතුවෙන් බවත්, ඔවුන් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ය.

දුම්රිය වර්ජනය ගැන මඟීන්ගෙන් චෝදනා

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දුම්රිය රියදුරන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මඟීන් රැසක් අපහසුතාවයට පත්ව තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කළ යුතු බව යි.

දිනෙන් දින දුම්රිය සේවකයින් කරන මෙම වර්ජන හේතුවෙන් පාසැල් ළමුන්, කාර්යාල සේවකයින් මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ගමන් බිමන් යන පුද්ගලයින් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව බොහෝ දෙනා පවසති.

මේ අතර දිනපතා සිය රැකියාව සඳහා දුම්රියේ ගමන් කරන චන්දිම කරුණාරත්න කියා සිටියේ, දුම්රිය සේවකයින් විසින් විටින් විට සිදුකරන වර්ජන හේතුවෙන් මඟීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවය.

"බොහෝ වෙලාවට දුම්රියේ ගමන් කරන්නේ මධ්‍යම පාන්තික ජනතාව හෝ ඊටත් වඩා ආර්ථික වශයෙන් අපහසුතා නිසා දුක් විඳින අය. නමුත් මේ වගේ වැඩ වර්ජන නිසා රැකියාවට යන ඇතැම් සේවකයින්ට මුහුණදෙන්න සිදුවන අපහසුකම් මෙතෙක්යැ යි කියන්න බැහැ. ඇතැම් වෙලාවට නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ නිසා දෛනික වැටුප් පවා අහිමිවූ අය ඕනෑ තරම් ඉන්නවා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න දුම්රිය සේවකයින් සාමාන්‍ය ජනතාව බිල්ලට දීම ගැන තියෙන්නේ පිළිකුලක්. ඒ වගේම අද එක් අහිංසක ජිවිතයක් නැති වුණා," ඔහු ප්‍රකාශ කළේ ය.

‘සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා’

හොරපේ ප්‍රදේශයේ දී අද උදෑසන වාර්තා වූ අවසනාවන්ත අනතුර සම්බන්ධයෙන් එම දුම්රියේ නියාමකවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙන බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ බීබීසි සිංහල වෙත පැවසුවේ ය.

ඇතැම් අවස්ථාවල දී මඟීන් දුම්රියේ එල්ලී ගමන් කරන බවත්, එවැනි අවස්ථාවල දී එය වළක්වා ගැනීමට දුම්රිය රියදුරන්ට හෝ නියාමකවරුන්ට කටයුතු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේ ය.

"අද සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන ඇත්තටම කණගාටු වෙනවා. මේ ගැන දුම්රියේ සේවයේ යෙදී සිටි නියාමකවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. එම වාර්තාවෙන් පසුව අපි ඉදිරි විමර්ශන ගැන කටයුතු කරනවා.

"මේ වගේ කෝච්චියේ උඩ ඒ ළමයා ගමන් කළා කියලා නියාමකවරයා පවා දැනන් ඉදලා නැහැ යි කියලා ආරංචි. මොකද ඒ වෙද්දීත් කෝච්චියේ ලොකු සෙනඟක් ඉදලා තියෙනවා.

"සමහර වෙලාවට දුම්රිය වර්ජනයන් පවතින වේලාවන්වල දී මඟීන් අවදානමක් ගෙන ගමන් කරනවා. ඒ අවස්ථාවන්වල දී අපේ රියැදුරන්ට හෝ නියාමකවරුන්ට මඟීන්ව වලක්වන්න බැහැ. මඟීන් ඉන්නේ ලොකු ගැටලුවක," ඔහු පැවසුවේ ය.