ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
20/20 ලෝක කුසලානය: පකිස්ථානය සහ එංගලන්තය අවසන් මහා සටනට
2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්තය අද (නොවැම්බර් 10 වැනිදා) සුදුසුකම් ලබා ගත්තේය.
ඒ, ප්‍රබල ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලු 10ක වාර්තාගත ජයක් හිමිකර ගනිමිනි.
ඒ අනුව 20/20 ලෝක කුසලානය තමන් සතුකර ගැනීම සඳහා එංගලන්තය හා පකිස්ථානය ලබන ඉරිදා අවසන් සටනට එළඹෙනු ඇත.
පන්දුවාර 20/20 ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරගයෙන් ප්‍රබල නවසීලන්තය පරාජය කළ පකිස්ථානය ඊයේ (නොවැම්බර් 09 වැනිදා) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව එංගලන්තය හා ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රිඩාංගනයේදී අද පැවැත්වුණේ පන්දුවාර 20/20 ලෝක කුසලානය දෙවැනි අවසන් පුර්ව තරගයයි.
කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලැබූ ලකුණු සංඛ්‍යාව 168කි.
හාර්දික් පාන්ඩේ පන්දු 33කින් ලකුණු 63ක් රැස් කළ අතර විරාත් කෝලි පන්දු 40කින් ලකුණු 50ක් රැස් කළේය.
එහෙත් විශිෂ්ට පිති හරඹයක නිරත වු එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා තරගය ජයග්‍රහණය කරා රැගෙන යනු ලැබූවේ වාර්තාගත සබඳතාවක් ගොඩනගමිනි.
ඒ අනුව කඩුළු 10 කින් තරගය ජයගත් එංගලන්තය පකිස්තානය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.
එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් පන්දු 47කින් ලකුණු 86ක් රැස් කළ අතර ජොස් බට්ලර් පන්දු 49කින් ලකුණු 80ක් රැස් කළේය.
කිසිදු ඉන්දීය පන්දු යවන්නෙකුට මෙම පිතිකරුවන් දෙදෙනා මෙල්ල කිරීමට ඉඩක් නොවු අතර බුවනේෂ්වර් කුමාර්, රවිචන්ද්‍රන් අශ්වින් ඇතුලු ප්‍රබල ඉන්දීය පන්දුවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.
ඉන්දීය නායක රෝහිත් ෂර්මා කියා සිටියේ "අද අපි ක්‍රීඩා කළ ආකාරය හරිම කලකිරීමක් ඇති කරනවා. මම හිතුවා ඒ ලකුණු මට්ටමට එන්න අවසානයේ අපි හොඳට බැට් කළා කියලා, නමුත් අපිට හොඳින් පන්දු යවන්න නොහැකිවුණා".
තරගයේ වීරයා වු ඇලෙක්ස් හේල්ස් පැවසුවේ " මෙය විශාල අවස්ථාවක්, මම ක්‍රීඩා කළ ආකාරය ගැන ඇත්තෙන්ම සතුටුයි. මම හිතන්නේ මෙය ලෝකයේ පන්දුවට පහර දීමට හොඳම ක්‍රීඩාංගණවලින් එකක්."
"මම නැවත ලෝක කුසලානයකට ක්‍රීඩා කරයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ, ඒ වගේ අවස්ථාවක් ලබා ගැනීම විශේෂ හැඟීමක්." හෙල්ස් පැවසීය.
පකිස්ථානය හා එංගලන්තය අතර අවසන් මහා තරගය ලබන ඉරිදා පස්වරු 1.30ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) පැවැත්වීමට නියමිතය.