විෂ සහිත සහල් මෙරටට ආනයනය කර තිබේද?

වෙළෙඳපොළේ ඇති ආනයනික සහල් පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් මේවන විට උද්ගතව ඇත.

ඒ විෂ සහිත සහල් මෙරටට ආනයනය කර ඇති බවට සති අන්ත පුවත් පත් දෙකක් වාර්තා කිරීමත් සමඟය. කෙසේ වෙතත් රජය අවධාරණය කර සිටින්නේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මේ වසරේ පරීක්ෂාවක් කරලා නැහැ....

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර පැවසුවේ, ආනයනික සහල් සම්බන්යෙන් මේ වසරේ පර්යේෂණයක් නොකළ බවයි.

"මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ආනයනය කළ සහල් සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටර් කාර්යාලය විසින් කිසිදු පර්යේෂණයක් කරලා නැහැ.ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලත් නැහැ." හෙතෙම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ "සඳහන් වෙලා තිබුණා යම් කිසි පර්යේෂණයක ප්‍රතිඵල. ඒ පර්යේෂණය 2017 වසරේදී කරපු පර්යේෂණයක්. ඒකේ ප්‍රතිඵල තමා දාල තියෙන්නේ. ප්‍රතිඵල විදහට දලා තියෙනවා. 43% ක් ඊයම්, 26% ක් කැඩ්මියම්, 20%ක් මර්කරි ආදි විදිහට. එහෙම දෙයක් කෙහෙවත් ඒ වාර්තාවේ සඳහන් වෙලා නැහැ." යනුවෙනි.

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් පැවසුවේ "මේ වෙනකොට වෙළෙපෙළේ තියෙන සහල් ගැන අපි කිසිම පර්යේෂණයක් කරලත් නැහැ.ඒ හින්ද අපිට ඒ ගැන නම් මුකුත් කියන්න බැහැ" ලෙසය.

ආහාර ප්‍රමිතිය සම්බන්ධයෙන් බාල රටක්...

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, ශ්‍රී ලංකාව යනු ආහාර ප්‍රමිතිය අතින් බාල රටක් බවයි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ, "ශ්‍රී ලංකාව කියන්නේ ආහාර සම්බන්යෙන් ප්‍රමිතිය ඉතා බාල රටක්. ජනතාවට ලැබෙන ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අද වෙනකොට රටේ කකවුරුත් සහතික දෙන්නේ නැහැ. මේ ආනයනික සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් කවුද වගකියන්නේ" ? යනුවෙනි.

කෙසේවෙතත්, ආනයනික සහල්වලට වඩා මෙරට සහල් පරිභෝජනයට ඉතා සුදුසු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කළේය.

වෙනත් රටවල භාවිත කරන කෘමිනාශක හා රසායනික පොහොරවලට වඩා උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මෙරට භාවිත කරන බවද ඔහු පැවසූවේය.

මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කළේ මෙළෙස සාවද්‍ය පුවත් ජනගත කිරීම කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් බවයි.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ, "ඒ සඳහන් වෙන ප්‍රතිශත ආනයනික සහල්වල කිසිසේත්ම තියෙන්න විදහක් නැහැ. ඒ ප්‍රවෘත්ති රටතුළ නිර්මාණය කිරීම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තියෙනවා කියලා තමයි අපිට තේරෙන්නේ" ඔහු කියයි.

විස සහිත සහල් මෙරටට ගෙන්වා ඇති බවට පළකර ඇති ප්‍රවෘත්ති වාර්තා සාවද්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

එහි දැක්වෙන්නේ, විෂ සහිත සහල් මෙරටට ගෙන්වා ඇති බවට ඇතැම් මාධ්‍යයන්හි පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.

එම වාර්තාවල ප්‍රවෘත්තිමය වටිනාකමින් යුතු ප්‍රධාන කොටස වන්නේ, "මෙරට මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන සහල් වල බැර ලෝහ වර්ග අධිකව පැවතීම වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත් වැනි රෝග ගණනාවකට හේතුවක් වන බවත්, මෙරටට ගෙන්වන ලද සහල් වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්,මර්කරි (රසදිය) 20%ක් හා සෙලනියම් විෂකාරකය 47%ක් පවතින බව" යන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රතිචාරය

විස සහිත සහල් ලංකාවට ගෙනා බවට සතිඅන්ත පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහි දැක්වෙන්නේ, 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ පුවත්පත් එම පුවත සකස්කර ඇති බවයි.

එසේ වුවද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව ද, රත්නවීර පෙන්වා දෙයි.

මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර පෙන්වා දෙන්නේ මෙය, 2017 වසරේ දී කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවත් එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵල බවයි.

එහෙත් එම පර්යේෂණ තොරතුරුද වැරදි ලෙස වාර්තා කර ඇතැයි රතනවීර පෙන්වා දෙයි.

බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ දසලක්ෂයට පංගුව බැගිනි.

එහෙත් මෙම පුවත්පත් වාර්තා කර ඇත්තේ එම ප්‍රමාණයන් අඩංගුව ඇත්තේ සීයයට ගණන් වලින් බවයි. එසේ සීයයට ගණන් වලින් බැරලෝහ මනින ක්‍රමයක් නමැති බවත් එය ප්‍රායෝගික නොවන බවත් වැඩබලන පළිබොධනාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් පවසයි.

පර්යේණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

2022 ජනවාරි සිට පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන්නේ නම් මෙසේ වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්..

මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණුකිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර පවසයි.