ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක බැංකුව ගෑස් මිලදී ගන්න දුන් සල්ලිත් ගසා කාල ද?
ලෝක බැංකුව ගෑස් මිලදී ගැනීම සඳහා මෙරටට ලබා දුන් ආධාර මුදලෙන් රුපියල් මිලියන 1300ක් ගසා කෑමට ලක්ව ඇති බවට එල්ල වන දැඩි චෝදනා හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මේවන විට උද්ගතවී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මෙම ගනුදෙනුව ගැන පසුගියදා ප්‍රසිද්ධ හෙළිදරව්වක් කළේය.
ඔහු කියා සිටියේ "ලෝක බැංකුව අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ දුන් ආධාර මුදලත් ගසා කන තැනට අපේ රටේ කණ්ඩායම් පත්වුණා. ජනතා උවමනාව පෙන්වලා රුපියල් මිලියන 1300 ක් මේ ගනුදෙනුවෙන් අයින් කෙරුවා".
මාස 08ක් ජනතාවට ගෑස් නැතිව දුක් විදින්න වුණේ ඇයි?
මහාචාර්ය චරිත හේරත් අනාවරණය කළේ, ගෑස් නියෝජිත කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් හේතුවෙන් මාස 08ක් මෙරට ජනතාවට ගෑස් හිඟයකට මුහුණ දීමට සිදුවු බවයි.
2021 ජුලි 06 වැනි දින වියත්මග ක්‍රියාකාරිකයෙකු වූ තේෂර ජයසිංහ ලිට්‍රෝ හි සභාපති ලෙස පත් කළ අතර 2022 අප්‍රේල් 14 වැනි දින ජයසිංහ ඉල්ලා අස්වන තුරු එල්පී ගෑස් සැපයුම අඩාල වූ බවට මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේ ය.
ජයසිංහගෙන් පසුව වියත්මග තවත් ක්‍රියාකාරිකයෙකු වූ විජිත හේරත් පත් වූ අතර ඔහුටත් එම ගැටලුවට විසදුම් දීමට නොහැකි වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරට එම සමාගමේ මීට පෙර කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මුදිත පීරිස් ජුනි 13 වැනිදා සිට සභාපති තනතුරට පත්වීමත් සමඟ එම ගැටලුවට විසඳුම් සෙවීමට පියවර ගැනිණි.
"පසුගිය දවස්වල ජනතාව අපට බැන බැන ගෑස් ගන්න පාරවල් දිගේ පෝලිම්වල හිටගෙන හිටියා. මාස අටක් ජනතාව තෙරපුවා. නමුත් කවුරුත් දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා. මෙහෙම කෙරුවේ කණ්ඩායම් දෙකක් එකතු වෙලා ගෑස් ගේන එක සමාගමකට කොන්ත්‍රාත් එකක් දුන්නා. ඊළඟට ආපු ගෑස් සභාපතිවරයා ඒක නැවැත්තුවා. මේකට තරහ වෙලා ඒ ගෑස් සමාගම් දෙකේ නියෝජිතයෝ දෙගොල්ලක් රණ්ඩු වුණා එළියේ".
වියත්මඟ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය චරිත හේරත් අවධාරණය කළේ, "රණ්ඩුව කොච්චර දුර ගියා ද කියනවා නම්, මාස 08ක් මේ රටේ ජනතාවට ගෑස් නැතිව පාරේ දුක් විදින්න වුණා. මේක ඉවර වුණේ, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් දුන්නා ආණ්ඩුවට මේ ගෑස් ගේන්න කියලා. අපේ ආණ්ඩුවෙනුත් තව ඩොලර් මිලියන 20ක් දලා ඩොලර් මිලියන 90ක් ආවා අන්න ආයිත් ගෑස් ගේන්න. මුලදී ප්‍රතික්ෂේප වෙච්ච කොම්පැනිය අලුත් මිනිහෙක් දාලා අපට ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96කට හම්බවෙන්න තිබුණේ. ඩොලර් 129ට ඒක ගන්න අර කොම්පැනියත් එක්ක එකතුවෙලා ගැහුවා ගිවිසුමක්. ලෝක බැංකුවෙන් අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ දුන්න ආධාර මුදලත් ගසාගෙන කන තැනට අපේ රටේ කණ්ඩායම් පත්වුණා."
"ජනතා උවමනාව පෙන්නලා මේ ගනුදෙනුවෙන් රුපියල් මිලියන 1300ක් මේ ගනුදෙනුවෙන් අයින් කෙරුවා. ඒ කියන්නේ බිලියන 1.3ක්. මේ මුදල ගත්තේ කවුද, බෙදුවේ කොහොද? කාටද ගියේ කියන එක මේ රටේ අහිංසක ජනතාව දන්නේ නැහැ. බරපතළ දූෂණ රැසක් එක්ක යන්නේ." මහාචාර්ය හේරත් සඳහන් කළේය.
"මේ රටේ දේශපාලනය පවුල්වාදයෙන් නිදහස් විය යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය දූෂණයෙන් නිදහස් කළ යුතුව තිබෙනවා. මේ රටේ අහිංසක අම්මලාගේ කුසලතාව තිබෙන දරුවන්ට ඉහළට යන්න පුළුවන් රටක් අප හැදිය යුතුව තිබෙනවා. මේ රටේ කුසලතාව දේශපාලකයන් විසින් පාගාගෙන සිටිනවා" යනුවෙන් ඔහු පැවසීය.
"රටේ හොඳම ගායකයා වුණු අමරදේවගේ පුතා සිංදු කිව්වා හොඳම ගායකයා වුණේ නැහැ. මේ රටේ හොඳම නළුවා වෙච්ච ගාමිණී ෆොන්සේකාගේ පුතා රඟපෑවා හොඳම නළුවා වුණේ නැහැ. එහෙනම් රටේ ජනාධිපතිලගේ පුතාලාත් එහෙම වෙන්නේ නෑ." ඔහු වැඩිදුරත් පැවසීය.
චෝදනා පදනම් විරහිතයි
ගෑස් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම පැහැදිලි කිරීමක් කළේය.
සමාගම සඳහන් කළේ මෙරට වෙළඳපොල තුළ ඇතිවී තිබූ එල්.පී ගෑස් හිඟය මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති බවයි.
ඉදිරියේදී දේශීය අවශ්‍යතාවයට සරිලන තරමින් අඛණ්ඩව ගෑස් සැපයුම ලබාදිය හැකි ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු වූ බවත් ඒ සම්බන්ධව ප්‍රකාශිත සාවද්‍ය පදනම් විරහිත ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කළේය.
ලෝක බැංකුව මූල්‍ය ආධාර සැපයීමේදී උසස් හා අනුමත ජාත්‍යන්තර සංසන්දනාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන, පූර්ණ විනිවිදභාවය සතු ලොව ප්‍රමුඛතම ආයතනය වන අතර ලෝක බැංකුව විසින් ලිට්‍රෝ ගෑස් සමාගම අපේක්ෂිත සාධනීය මට්ටමට අනුකූලව කටයුතු කරන සමාගමක් ලෙස පිළිගැනීමට ලක්වූ බවත් මූල්‍ය පහසුකම් ලබා දීම ලෝක බැංකු අධීක්ෂණයන්ට අනුකූලව, අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ අධීක්ෂණ අනුමැතිය මත පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වූ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරයි.
ගෑස් ආනයනකරුවන් සම්බන්ධව සඳහන් කරන ලිට්රෝ ගෑස් ලංකා සමාගම 2022 /2023 නැව් ගාස්තු ජාත්‍යන්තර ටෙන්ඩරයේ අඩු ලංසුකරු වන සියම් (Siam Gas) ආයතනයට ඩොලර් මිලියන 37 ක පොරොත්තු ණයකර ලිපිය ලබාදීමට රාජ්‍ය භාණ්ඩාගාරය, දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපොහොසත් වීම මෙන්ම සියම් ගෑස් සමාගම පොරොත්තු ණයකර ලිපිය නොමැතිව ගෑස් ලබාදීම ප්‍රතික්ෂේප වීම යන කරුණු නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය මත එම ටෙන්ඩරය අවලංගු කළ බව ලිට්රෝ ගෑස් සමාගම අනාවරණය කළේය.
ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක නැව් ගාස්තු සඳහා Oman trading ආයතනය තෝරාගනු ලැබුවේ කෙටිකාලීන මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේදී අඩුම මිල සඳහන් කළ සියම් ගෑස් සමාගමට වර්තමාන වෙළෙඳපොළ අවශ්‍යතාවයට ගෑස් ලබාදීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන් නිසා යැයි ලිට්රෝ සමාගම පැවසීය.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරාගැනීම පූර්ණ විනිවිදභාවයෙන් සහ ද්විපාර්ශවීය නෛතික එකඟතාවයෙන් සිදුකළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.