Brexit : "50 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම අඳුරේ කළ පිම්මක්"

Brexit යන්නෙන් සැබවින්ම අර්ථනිරුපනය කෙරෙන්නේ කුමක්ද යන ගැටලුවට අගමැතිනි තෙරේසා මේ සතුව පිළිතුරු නැති බව ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නීය
ඡායාරූප ශීර්ෂ වැකිය, Brexit යන්නෙන් සැබවින්ම අර්ථනිරුපනය කෙරෙන්නේ කුමක්ද යන ගැටලුවට අගමැතිනි තෙරේසා මේ සතුව පිළිතුරු නැති බව ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නීය

Brexit යනුවෙන් හැඳින්වෙන, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ වැඩපිළිවෙලට අදාළ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැංවීමට අගමැතිනි තෙරේසා මේ ගත් පියවර 'අඳුරේ කළ පිම්මක්' බව ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරියවන නිකොලා ස්ටර්ජන් පවසන්නීය.

වෙන්වීම නිල වශයෙන් සනිටුහන් කරමින් අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී යුරෝපා සංගමය වෙත භාර දෙනු ලැබිණි.

එම සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත එම ලිපිය භාර දෙනු ලැබුවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටීම් බැරෝ විසිනි.

අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය යුරෝපා සංගමයේ සභාපති වෙත භාර දීම

ඡායාරූප මූලාශ්‍රය, EUROPEAN PHOTOPRESS

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය යුරෝපා සංගමයේ සභාපති වෙත භාර දීම

කෙසේවෙතත්, ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජන් පෙන්වා දුන්නේ Brexit යන්නෙන් සැබවින්ම අර්ථ නිරූපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට මෙතෙක් පිළිතුරු සැපයීමට අගමැතිනි තෙරේසා මේ අපොහොසත්වී ඇති බවය.

බෙදා හැරුණු බලය ඉහළ නැංවීමක්

ලිපිය භාරදෙන අතරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඇමතු අගමැතිනි තෙරේසා මේ, ස්කොට්ලන්ත ආණ්ඩුව ද ඇතුළුව එක්සත් රාජධානිය තුළ බලය බෙදා හැරුණු පාලනාධිකාරීන්ගේ බලය "සැළකිය යුතු ලෙස ඉහළ යාමකට" Brexit මග විවර කරන බවය සඳහන් කළාය.

අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේතුවේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමතමින්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේතුවේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමතමින්

සාකච්ඡාවලදී යුරෝපා සංගමයට අයත් ජාතීන් ඇතුළුව "සමස්ත එක්සත් රාජධානියේ සෑම පුද්ගලයෙකුම නියෝජනය කිරීමට" ඇය පොරොන්දු වුවාය.

යුරෝපා සංගමයේ සභාපතිවරයාට යැවුණු පිටු හයකින් යුතු ලිපියේ ස්කොට්ලන්තය පිළිබඳව ද සඳහනක් කර ඇති අගමැතිනිය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව, "බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව පවත්වාගන්නේ කුමන බලතල ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ස්කොට්ලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තයට බෙදා හැරෙන්නේ කවර බලතල ද යන්න සම්බන්ධයෙන් පුර්ණ සාකච්ඡාවකට" ආණ්ඩුව යොමුවන බව පෙන්වා දී ඇත.

"මෙම වැඩ පිළිවෙලේ ප්‍රතිපලයක් ලෙස බලය බෙදා හැරුණු සෑම පාලනාධිකාරියකම තීරණ ගැනීමේ බලය සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි" යැයි ද ලිපියේ දැක්වේ.

"අඳුරේ කළ පිම්ම"

මේ අතර බීබීසී ස්කොට්ලන්ඩ් සමග අදහස් දැක්වූ ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන්, Brexit වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන නමුදු '50 වෙනි වගන්තිය' නිල වශයෙන් ක්‍රියාවට නැගීම 'බොහෝ පිරිස් තුළ ගැටලු රැසක්' මතු කළ හැකි බව සඳහන් කළාය.

"අද සිදුවන දේ අඳුරේ කළ පිම්මක් වැනි තත්වයකට සමාන දෙයක් පෙන්නුම් කරන බවට සැකයක් නැහැ" යැයි පැවසූ ඇය, "ජනමත විචාරණයෙන් මාස නවයකට පසුව පවා ව්‍යාපාරවල, පොදුවේ ගත්විට ආර්ථිකයට මෙන්ම ඇප ජීවත් වෙන සමාජය කෙරෙහි Brexit තුළින් අර්ථ නිරුපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අගමැතිනියට හැකිවී නැහැ" යැයි සඳහන් කළාය.

කෙසේවෙතත්, පසුගිය සඳුදා ග්ලාස්ගොව් හිදී සාකච්ඡාවක ද යෙදුනු ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනිය පෙන්වා දුන්නේ, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාළ බලය ස්කොට්ලන්තය වෙත පවරන්නේද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් මෙතෙක් පළවී නැති බවය.

මාර්තු 13 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් කෙටුම්පතට සිය අනුමැතිය ලබා දුන්නේ, බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව නිදහස් රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්තය ස්ථාපනය කිරීම වෙනුවෙන් නැවතත් ජනමත විචාරණයකට යොමුවීම සඳහා ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන්වරම් ඉල්ලා තිබිය දීය.

2018 වසන්ත කාලය සහ 2019 ගිම්හාන කාලය අතර ස්කොට්ලන්තය ජනමත විචාරණයක් කරා ගෙන යාමට නිකොලා ස්ටර්ජන් ප්‍රථම අමාත්‍යවරියට අවශ්‍ය වුවත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තෙක් ඇයගේ එම ඉල්ලීමට අවස්ථාවක් නොදීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ක්‍රියා කරනු ඇති බවට අනාවැකි පළ වී තිබිණි.