ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යෝජනා අකුලා නොගත්තොත් දීපව්‍යාප්ත වර්ජනයක් - වෛද්‍යවරු
ලබන වසරේ අය වැය යෝජනාවල අඩංගු රාජ්‍ය සේවයට සහ සෞඛ්‍ය සේවයට හානිකර යෝජනා ඉවත් නොකරන්නේ නම් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට පවා නොපැකිලෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ඒ බව කියා සිටියේ ඌව පළාතේ සේවය කරන සංගමයේ සාමාජිකයන් සඳුදා (නොවැ.28) සිය පෞද්ගලික වෛද්‍ය සේවාවන් වර්ජනය කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.
අය වැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, දෙවැනි රැකියාව සඳහා පනවන බද්ද විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයේ සුවිශේෂ දීමනා වෙනුවෙන් බද්දක් අය කිරීම ඇතුළු කරුණුවලට සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය හේරත් සඳහන් කළේය.
විශේෂයෙන්ම ඌව පළාතේ පෞද්ගලික සායන වර්ජනය කරනු ලැබුවේ, රජයේ රෝහල් පමණක් වර්ජනය කරන බවට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන විවේචනවලට ප්‍රතිචාරයක් වශයෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ හැරුණු කොට රට පුරා රෝහල් 18 ක් ඉදිරිපස විරෝධතා ව්‍යාපාර දියත් කළ බව සඳහන් කළ සංගමයේ සංස්කාරකවරයා, එම විරෝධතාවලින් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් රට පුරාම වෛද්‍ය වර්ජනයක් දියත් කිරීම සංගමයේ මීළඟ පියවර බවත් සඳහන් කළේය.