ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වීම පිළිබඳව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සිය ප්‍රතිචාරය පලකරමින් සිටිති.
ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල ඔස්සේ ඔවුන් පල කළ ප්‍රතිචාර ඇසුරින් සංදේශයේ ඇස ගැටුණු ප්‍රතිචාර කිහිපයක් මේ.
ඇමෙරිකානු මැතිවරණය මගින් අප සියලු දෙනාට ප්‍රබල පණිවුඩයක් ලබාදෙන බව රවී වීරසේකරගේ අදහසයි. ජනමාධ්‍ය හෝ 'ස්වාධීන ජනමත සමීක්ෂණ' ලෙසින් හඳුන්වාගනිමින් ඉදිරිපත් කෙරෙන කරුණු තවදුරටත් විශ්වාස නොකළ යුතුය යන්න ඒ පණිවුඩය බවයි, ඔහු පවසන්නේ.
බොහෝ අවස්ථාවල ජනමාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තාකරණ බව පවසන රවි වීරසේකර, 'ස්වාධීන ජනමත සමීක්ෂණ' කිසිසේත්ම ස්වාධීන නොවන බවත් පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රකට මැතිවරණ නිරීක්ෂකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසන පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ඩොනල්ඩ් ට්‍රම්ප් නොව විකීලීක්ස්.
මැතිවරණ ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් සටන් පාඨ සහ ජනපතිවරයා වශයෙන් ඔහුගේ ක්‍රියාකලාපය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනු ඇතැයි කපිල එම් ගමගේ මේ අතර විශ්වාසය පළකරයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට දෙමළ ඩයස්පෝරාවේ පූර්ණ සහයෝගය හිමි වූ බව පවසන ප්‍රියංවදා කරුණාරත්න ඇය පරාජය වීම පිළිබඳව ප්‍රසාදය පල කර තිබේ.
මේ අතර දෙමළ ඩයස්පෝරාවේ නායිකාවක වන ඌෂා ශ්‍රීස්කන්ධරාජා සිය ප්‍රතිචාරය පළ කර තිබුණේ එක් වචනයකින්.
මැතිවරණ ප්‍රතිඵලය 'සිත චංචල කරන්නක්' බවයි, ඇය පවසන්නේ.
මේ අතර විරංජන හේරත් ඇමෙරිකානු මැතිවරණ ප්‍රතිඵලය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය සංසන්දය කිරීමේ උත්සාහයක නිරත වී තිබුණි.
රුසියාව සහ චීනය සමග එක්ව යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත්කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකරනු ඇතැයි ඇතැමුන් සිතා සිටින බව ඔහු පවසයි.
බුද්ධික ජේබී ද සිය ප්‍රතිචාය පල කර තිබුණේ වචන කිහිපයකින්.
'ඒ මගේ කොල්ලා ... ට්‍රම්ප්' යන්න ඔහුගේ ප්‍රතිචාරයයි.
'දැන් ඉතින් ඇමෙරිකාවයි අපියි කියල වෙනසක් නෑ', යන්න ෆේස්බුක් ජාලයේ නිරන්තරයෙන් හාස්‍යජනක අදහස් පළකරන නදීෂා චන්ද්‍රසේනගේ අදහසයි.
කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වාසිදායක බව අමාත්‍ය සරත් අමුණුගම මීට ඉහතදී පෙන්වා දී ඇතැයි නදීෂා චන්ද්‍රසේනට ප්‍රතිචාර දක්වමින් නිහාල් රත්නායක පවසයි.
පන් කෝටි හැත්තෑ හය ලක්ෂයකගේ හදවතේ තවමත් ජනාධිපති හිලරි ක්ලින්ටන් බවයි, චතුර වෙල්ලගේ පවසන්නේ.