ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'රටක් කියන්නේ මහබැංකුවට වඩා ලොකු එකක්'
වත්මන් මහබැංකු අධිපතිවරයාට විවේචන එල්ල වී තිබිය දීත් ඔහුගේ සේවය දීර්ඝ කරන්නේ නම්, ඒ වෙනුවට වෙනත් අයෙකු සොයා ගැනීමට 'එජාපයට ඇති නොහැකියාව' ඔප්පු වෙන බව කෝප් කමිටු සභාපතිවරයා පවසයි.
'මුළු රටේම විවේචනයක් එල්ල වෙද්දී ඒ වෙනුවට විකල්පයක් සොයා ගැනීමට මේ ආණ්ඩුවට බැරි නම් ඒ අය කොහොමද රටක් පාලනය කරන්නේ. රටක් කියන්නේ මහබැංකුවට වඩා ලොකු එකක්නේ.' කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාට සේවා දිගුවක් ලබා දුනහොත් කොටස් වෙළඳපළ සහ මූල්‍ය ක්‍ෂේත්‍රය මහ බැංකුව පිළිබඳව තබා ඇති විශ්වාසය සම්පුර්ණයෙන් ම බිඳ වැටෙන බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් රටේ ව්‍යවස්ථාවට අනුව වත්මන් මහ බැංකු අධිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවකදී පැවසුවේ.
ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ධුරය පසුගිය පාලන සමයේ පටන් ම දේශපාලනීකරණය වී ඇති බවට ද ඔහු චෝදනා කරයි.
'අපේ රටේ මහ බැංකු අධිපතිවරයා කියන්නේ ස්වාධීන පුද්ගලයෙක්. මේ තත්වය වෙනස් වුණේ පසුගිය රාජපක්‍ෂ පාලන සාමය තුළ අජිත් නිවාඩ් කබ්රාල් ව පත් කිරීමත් සමඟ. ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. දේශපාලනඥයෙක්. ඒ වගේම පදනමක් යටතේ තමයි අර්ජුන මහේන්ද්‍රන් පත් වුනෙත්. ඔහුගේ බෑණනුවන් ගේ සමාගමට වාසිදායක වන විදියට තොරතුරු ගලා යා හැකි බවට සැකයක් මතු වුනා.' ඔහු පැවසීය.
තමන්ගේ බෑණනුවන් සතුව තැරව්කාර සමාගමක් තිබියදී මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම සදාචාර සම්පන්න නොවන බවද ඔහු අවධාරණය කරයි.
නමුත් ඉහත කී චෝදනා ඔප්පු කළ හැකි අයුරින් සාධක හෝ සාක්‍ෂි ඉදිරිපත් වී ඇත්දැයි බීබීසීය කළ විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
'සමහර දේවල් භෞතික වශයෙන් ඔප්පු කරන්න බැහැ. සමහර දේවල් ඔප්පු කළේ නැතත් හැඟීමක් හැටියට ඔප්පු වෙන දේවල් තියෙනවා. අපි ඒවාට කියනවා කවුරුත් දන්නා රහස් කියල.'