යුරෝපා සංක්‍රමණ පාලනය හමුවේ මානවීය අර්බුදයක්

දහස් ගණනක් සංක්‍රමණිකයන් ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාව අතර කොටු වී පීඩාවට පත්ව සිටීම පදනම් කර ගෙන රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස යුරෝපා සංගමය ග්‍රීසියෙන් ඉල්ලීමක් කරයි.

උතුරු ග්‍රීසියේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සිය රට සහ මැසිඩෝනියාව අතර දේශ සීමාවේ කොටු වී සිටින සංක්‍රමණිකයන් දැඩි මානවීය අර්බුදයකට මුහුණ පා සිටින බවයි.

මැසිඩෝනියාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි දේශ සීමා නීතිය යටතේ දිනකට සිය රට තුලට පැමිණිය හැකි සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතා අඩු අගයකට සීමා කිරීම හේතුවෙන් ග්‍රීක කඳවුරු පිරී ඉතිරී යාම මෙම අර්බුදයට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,

ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාවෙන් මේ වන විට දිනකට මැසිඩෝනියාවට ඇතුළු කර ගන්නේ සිරියානු සහ ඉරාක සංක්‍රමණිකයන් සීමිත ප්‍රමාණයක් පමණි.

දේශ සීමා අතර පිහිටා තිබෙන ඉදෝමනී කපොල්ලේ ඇති කුඩා කඳවුරු වල සිරව සිටින දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් මේ වන විට ඇදහැලෙන දැඩි වර්ෂාව මාධ්‍යයේ ආහාර ලබා ගැනීමට දීර්ඝ පෝලිම් වල සිට ගෙන සිටිනු දක්නට ලැබෙයි.

කඳවුරු උතුරා ගිය සංක්‍රමණිකයන්ගේ තදබදය මධ්‍යයේ සිය දෙමාපියන්ගෙන් මග හැරුණු කුඩා දරුවන් හවුහරණක් නොමැතිව එළිමහනේ වර්ෂාවට හසුව අතරමං වී සිටින බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගමයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා (Dimitris Avramopoulos) යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානවීය අර්බුදය හමුවේ ග්‍රීසිය තනි නොකොට ඒ වෙනුවෙන් පෙනී සිටිමින් විසඳුම් ලබා දීමට එකතු වන ලෙසයි.