හිම කුණාටුවට හසු වූ පිරිසක් බේරා ගැනේ

මේ සතිය මුලදී නේපාලයේ හිමාලය කඳුවැටියේ හිම කුණාටුවකට හසු වී විශාල පිරිසක් මියගිය ප්‍රදේශයට ළඟාවීමට බේරාගැනීමේ සේවකයෝ සමත් වී සිටිති.

බේරා ගැනීමේ සේවකයන් විසින් තවත් හතලිස් දෙනකු ආරක්‍ෂිත ස්ථානවලට රැගෙන විත් ඇති නමුත් ඔවුන්ගෙන් සමහරෙකු ඉතා අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර කඳු මුදුනේ අන්නාපූර්ණ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්තානයකයි, ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

හිම කුණාටුවට හසු වූ නේපාල ජාතිකයන් සහ විදේශිකයන් 29 දෙනකු මරුමුවට පත් වූ බව සනාථ වී තිබේ.

"මියගිය අයගෙන් බහුතරය තමන්ගේ නේපාල මඟ පෙන්වන්නන් සමඟ කුණාටුවෙන් බේරී යාමට තැත් කළ කඳු නගින්නන්. එහිදී මඟ වැරදුනු ඔවුන් අධික සීතලට හසු වී මියගොස් තිබෙනවා. කුඩා කූඩාරම්වල දිගටම රැඳී සිටි අය පණ බේරා ගෙන තිබෙනවා," බවයි ප්‍රදේශයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

ඇතැමුන් දැඩි සීතලට හසු වී මියගිය බවත්, සමහරුන් අර්ධ අන්ධභාවයට පත් වූ බවත් දිවි බේරා ගත් පුද්ගලයෝ පවසති.