බලපෑම් මගින් ප්‍රතිපත්ති වෙනස් නොවේ - අගමැති ටෝනි ඇබට්

ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත ඇති රඳවා තැබීමේ කඳවුරුවලින් වාර්තාවන සිය දිවි හානි කරගැනීමේ උත්සාහයන් මගින් දේශපාලන රැකවරණ පතන්නට අදාළ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කරයි.

ක්‍රිස්මස් දූපත්හි රඳවා සිටින මව්වරුන් දොළොස් දෙනකු පමණ සිය දිවි හානිකර ගැනීමට උත්සාහදරා ඇති බවට Fairfax පුවත් සේවයේ වාර්තාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු චැනල් 9 රූපවාහිනී සේවය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අගමැති ටෝනි ඇබට් එසේ ප්‍රකාශ කළේ.

එහෙත් විරුද්ධ පක්ෂ විසින් අගමැතිවරයා දැඩි විවේචනයට ලක් කොට තිබේ.

ඛේදජනකයි

වාර්තාවන සිද්ධිය සත්‍යයක් නම් එය අතිශය ඛේදජනක බවයි අගමැති ටෝනි ඇබට් පැවසුවේ.

එහෙත් රජයේ ප්‍රතිපත්තිය එලෙසම පවත්වාගෙන යන බව ඔහු කියා සිටියේය.

“නමුත් මේක කියන්න ඕනෑ, අපි මේ එන බෝට්ටු නවත්තනවා. අපි මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. මේ අහන්න, සදාචාරය ආයුධයක් කරගෙන අපට බලපෑම් කරන අය මගින් අපේ ප්‍රතිපත්ති පාලනය කිරීමට ඉඩ දෙන රජයක් නෙවේ මේක. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ.”

නාවුරු දූපත්වළ රඳවා සිටින පුද්ගලයන්ට අවශ්‍ය ඇඳුම් පැළදුම්,ආහාර නිවාස මෙන්ම ඒ සියල්ලටම වඩා ඔවුන්ට ආරක්ෂාව සැලසෙන බව ඔහු පැවසුවේය.

තර්ජනයකට ලක් කිරීමෙන් යමක් ලබා ගන්නට දරන උත්සාහය කිසිම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විසින් අනුමත නොකරන බවයි ඔහු කියා සිටියේ.

විරුද්ධ පක්ෂ විවේචන

එහෙත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එරට විරුද්ධ පක්ෂවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

කම්කරු පක්ෂ නායක බිල් සෝටන් පැවසුවේ අගමැතිවරයාට එසේ කියා බේරිය නොහැකි බවයි.

“ඇබට් මහත්තය මේ ප්‍රශ්නවලින් ඔබට බේරිලා යන්න බැහැ. මේ මිනිස්සු අපි යටතේ ඉන්නවා නම් ඔවුන් රැක බලා ගැනීමේ අයිතියක් අපිට තියෙනවා. ඔවුන්ට ආරක්ෂා සහිතව සලකන්න ඕනෑ, විනීත ආකාරයට දයාබරව අපි ඔවුන් බලා ගන්න ඕනෑ ”

හරිත පක්ෂය නියෝජනය කරන සෙනේට් සභික සේරා හැන්සන් යන්ග් පැවසුවේ තරුණ කාන්තාවන් ගෙල වළලා ගැනීමේ තත්වයක් දැන් කඳවුරු තුළ උදාවී ඇති බවයි.

“තරුණ කාන්තාවන් ගෙල වළලා ගැනීමේ මට්ටමකට ලඟා වෙලයි තියෙන්නේ. දවස් කිහිපයකට ඉස්සෙල්ල තරුණ කාන්තාවක් ගොඩනගිල්ලකින් එලියට පැන්න. මිය ගිය පසු තම දරුවන්ට හොඳ අනාගතයක් උදාවේවි යන අදහසින් බලාපොරොත්තු සුන් කරගත් මව්වරුන් ජීවිත හානි කර ගන්න කල්පනා කරනවා. ඉතාමත්ම බියජනක මානව හිමිකම් තත්වයක්. අනතුරකට ලක්වෙයි කියන හැඟීමෙන් ඔස්ට්‍රේලියාවේ ආධාර පතා ආපු පවුල් මේවගේ භයානක තත්වයකට තල්ලුකරලා දැමීම බරපතළ තත්වයක්.”