ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ඉක්වදෝර ජනාධිපතිවරණයෙන් වාමාංශිකයන් පෙරමුණට

Ecuadorean presidential candidate Luisa Gonzalez addresses her supporters in Quito. Photo: 20 August 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දිළිඳුභාවයට ඇද වැටුණු රට තුළ පරිත්‍යාගශීලී පුළුල් සමාජ වැඩසටහන් නැවතත් ආරම්භ කරන බවට ලුසියා ගොන්සාලෙස් පොරොන්දු විය.
    • Author, ක්වීටෝ සිට කේටි වොට්සන් සහ ජැරොස්ලොව් ලූකිව් ලන්ඩනයේ සිට
    • Role, බීබීසී පුවත්

වාමාංශික ලුයිසා ගොන්සාලෙස් ඉක්වදෝර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ එක් අපේක්ෂකයකුගේ ඝාතන සිද්ධිය යටපත් කරමින් ය.

80%කට ආසන්න ඡන්ද ගණන් කර අවසන් අතර මැතිවරණ නිලධාරීන් පවසන්නේ, ඇය 33% ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවය. ඇගේ ආසන්නතම ප්‍රතිවාදියා වන ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා 24%ක ඡන්ද ප්‍රතිශයක් ලබා ඇත.

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා ඔක්තෝබර් 15 දින මීළඟ ඡන්ද වටයට ඇතුළත් වේ.

මෙම ඡන්දය ජනමත විචාරණයක් සමඟ ඒකාබද්ධව පවත්වන ලද අතර, ඇමේසන් හි තෙල් කැණීම අවසන් කිරීමට ඡන්දදායකයින් තෝරා ගත්හ.

ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් ඊට සහය දැක් වූ එම තීන්දුවෙන් අදහස් වන්නේ, ලෝකයේ විශාලතම ජෛවවිවිධත්ව මර්මස්ථානයන්ගෙන් එකක් වන යසුනි ජාතික වනෝද්‍යානයේ කොටසක ඉක්වදෝර රජය විසින් හිමිකම් දරන ඛණිජ තෙල් සමාගමක් විසින් පවත්වාගෙන යන මෙහෙයුම් නතර කිරීමට සිදුවනු ඇති බවයි.

මේ ප්‍රදේශය කුරුල්ලන්, උභය ජීවීන් හා උරග විශේෂ සිය ගණනකගේ සහ ටාගේරි හා ටැරොමෙනානි වැනි හුදෙකලාව ජීවත්වන ආදිවාසි ජනතාවගේ නිවහනයි.

මෙම අවසන් ප්‍රතිඵලය, ධුරයෙන් ඉවත් ව යන ජනාධිපති ගියේමෝ ලසූ හට එල්ල වූ සැලකිය යුතු ප්‍රහාරයකි. ඔහු දිගින් දිගටම තර්ක කර සිටියේ, තෙල් කැණීම්වලින් ලැබෙන ආදායම ඉක්වදෝරයේ ආර්ථිකයට තීරණාත්මක බවයි.

Waorani indigenous people join a caravan calling for a Yes vote in a referendum against oil drilling

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වෝරානි ගෝත්‍රය යසුනි රක්ෂිතයේ තෙල් කැණීම්වලට විරුද්ධ පිරිසෙන් එක් කණ්ඩායමකි.

පසුගිය ඉරිදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සහ සෙබළුන් 100 000ක් පමණ යොදවා තිබුණි.

දෝෂාභියෝගය වළක්වා ගැනීම සඳහා සාම්ප්‍රදායික බැංකු කරුවෙකු වූ ලසූ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවණයක් කැඳවන ලදි.

ඉරිදා දිනයේ ඡන්ද විමසීම බොහෝ සෙයින් සාමකාමීව පැවතුණේ, රටම ග්‍රහණය කරගෙන ඇති දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන බියෙන් සිටි ඉක්වදෝර වැසියන්ට සහනයක් ගෙන එමින් ය.

කෙසේවෙතත් ඡන්ද විමසීම ආරම්භ වීමට මත්තෙන් වෙඩි තැබීම් කිහිපයක් සිදුවිය.

නව ජනාධිපති ඔක්තෝබර් 26 වැඩභාරගැනීමට නියමිත අතර, ලසූගේ ධුර කාලයේ ඉතිරි කාලය වන මාස 18ක කාලයේ පමණක් [නව ජනාධිපතිවරයා] කටයුතු කරනු ඇත.

හිටපු වාමාංශික ජනාධිපති රෆායල් කොරෙයාගේ අනුගාමිකයෙකු වන 45 හැවිරිදි ගොන්සාලෙස් ජනාධිපති ධුරයට තරග කරන දේශපාලනඥයන් අටදෙනාගෙන් වඩාත්ම ප්‍රියතම නායිකාව ලෙස සැලකෙයි.

නමුත් අගෝස්තු 09 ක්වීටෝ අගනුවරදී ජනපතිවරණ අපේක්ෂක ප්‍රනාන්දු විලවිචෙන්සියෝගේ ඝාතනය මැතිවරණය ගැන අනුමානවලට එළැඹීම දුෂ්කර කරන ලදි.

පුළුල් ත්‍යාගශීලී සමාජ වැඩසටහන් නැවත ඇරඹීමට ගොන්සාලෙස්ගේ පොරොන්දු, ආර්ථික අර්බුදයෙන් හොඳින් ම බැටකා සිටින ඉක්වදෝර ජනතාවගේ සිත්ඇදගෙන ඇත.

Ecuadorean presidential candidate Daniel Noboa (centre) at a briefing in Guayaquil. Photo: 20 August 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩැනියෙල් නොබෝවා (මැද ) ව්‍යාපාර ගැති අපේක්ෂකයෙකු ලෙස බොහෝ ඡන්දදායකයන් විසින් සලකනු ලැබේ.

කෙසේවුවත් ඡන්දදායකයන් දේශපාලනිකව බෙදී ඇත.

කොරෙයා තවමත් රට තුළ බලපෑම්සහගත ලෙස සිටියි. බලයේ සිටිය දී ඔහු දරිද්‍රතාවය කපාහැරිය නමුත් පසුව දූෂණ චෝදනා නිසා වර්තමානයේ පිටුවහල්වබෙල්ජියමට ගොස් සිටියි.

ඉක්වදෝරයේ ඔහුගේ බලපෑම අවසන් කිරීමට කැමති අය ව්‍යාපාර ගැති අපේක්ෂකයෙකු වන 35 හැවිරිදි ඩැනියෙල් නොබෝවාට සහය දෙනු ඇත.

ඉක්වදෝර වැසියන් සමගි කළ හැකි එකම දෙය නම් සාමයට සහ ආරක්ෂාවට ඇති ඔවුන්ගේ අවශ්‍යතාවයයි. මීළඟ මැතිවරණය වටයට පෙර සාමකාමී මැතිවැරණ ව්‍යාපාරයක් පැවැත්වීම සියල්ලගේ ම පැතුමයි.

පනස් නව හැවිරිදි විලවිචෙන්සියෝ , දූෂණ හෙළිදරවු කළ සහ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ අතර සබඳතා හෙළා දුටු සෘජුව අදහස් ප්‍රකාශ කළ මාධ්‍යවේදියෙකි.

ඔහුගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියළුදෙනා කොලොම්බියානු පුරවැසියන් ය.

ක්වීටෝහි රැළියකින් පිටව යද්දි ප්‍රනාන්දු විලවිචෙන්සියෝ වෙඩි ප්‍රහාරයට ලක් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්වීටෝහි රැළියකින් පිටව යද්දි ප්‍රනාන්දු විලවිචෙන්සියෝ වෙඩි ප්‍රහාරයට ලක් විය.