ගිම්හාන ඔලිම්පික් උළෙලට විදුලි පියාසර ටැක්සි වලින් පැරිස් නුවර වටා මගීන් ට ප්‍රවාහනය කළ හැකිවේවිද?

ඡායාරූප මූලාශ්‍රය, Volocopter
- Author, බෙන් මොරිස්
- Role, තාක්ෂණ සහ ව්‍යාපාරික පුවත් සංස්කාරක
ගිම්හාන ඔලිම්පික් උළෙල තවත් වසරක කාලයකින් පැරීසියේදී පැවැත්වෙනු ඇත.
එසේ තිබියදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නව ගුවන් සේවා සමාගමක් වන Volocopter ද ඉතිහාසගත වීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ආසන දෙකක විදුලි ගුවන් යානයක් වන VoloCity, පැරිස් නුවර වටා මගීන් ප්‍රවාහනය කරනු ඇත. එය යුරෝපයේ විද්‍යුත් සිරස් ගුවන්ගත කිරීම් සහ ගොඩබෑමේ (EVTOL) ගුවන් යානයක් භාවිත කරන පළමු අවස්ථාව වනු ඇත.
ශබ්ද දූෂණයක් සිදු නොවන, ලාභදායී සහ වායු විමෝචනයෙන් තොර නගර මධ්‍යයේ ම ගොඩබැස්විය හැකි ගුවන් යානා නිෂ්පාදනය කරන පොරොන්දුව මත ලෝකයේ සමාගම් ගණනාවක් EVTOL ගුවන් යානා නිපදවමින් සිටී.
Volocopter බලාපොරොත්තු වන්නේ, යුරෝපීය අභ්‍යවකාශ නියාමක ආයතනය වන යුරෝපා සංගමයේ ගුවන් ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් VoloCity ගුවන් සේවාව ඉදිරි මාස කිහිපය තුළ මගීන් රැගෙන යාම ස්ථිර කර ගැනීමට ය. එබැවින් ඔවුන්ට ඔලිම්පික් සඳහා සූදානම් විය හැකි ය.
"සියල්ල සූදානම්. ලබන අවුරුද්ද මැදදී පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ," ජර්මානු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ක්‍රිස්ටියන් බවර් පවසයි.
පැරිස් නගරයේ ගුවන් තොටුපොළ මධ්‍යස්ථානය කර ගත් හෙලිකොප්ටර් ගොඩබස්වන ස්ථාන අතර ගුවන් මාර්ග තුනක් සම්බන්ධ කිරීමට නියමිත ය. අවට සිරි නැරඹීම සඳහා සෆාරි ගුවන් සේවා ද වොලෝකොප්ටර් හඳුන්වා දෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Volocopter
ගුවන් ගමන් මාර්ග සහ ගොඩබැස්සවීමේ ස්ථාන සැලසුම් කිරීම, පැරිස් වැනි ජනාකීර්ණ නගරයක පහසු කටයුත්තක් නොවන අතර, ඒ සඳහා විශාල කාර්ය භාරයක් සිදු කර තිබේ. නව ගුවන් යානයක් සකස් කිරීම සහ ඒ සඳහා සහතිකයක් ලබා ගැනීමේ තාක්ෂණික අභියෝගය හරහා, Volocopter එහි වසර 12ක ඉතිහාසය තුළ බොහෝ දේ අත්කර ගෙන ඇති බව පැහැදිලි ය.
එහෙත්, Volocopter සහ එම ආයතනයේ ප්‍රතිවාදීන්ට විශාලතම අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ ඉදිරියේදී බවට ඇතැම්හු තර්ක කරති. ඉදිරි වසර කිහිපයේදී ඔවුන්ගේ ගුවන් යානයට වෙළෙඳපොළක් නිර්මාණය වන බව ඔවුන් පෙන්විය යුතු ය.
තවදුරටත් බැටරි විශාලතම ප්‍රශ්නය ලෙස පවතී. ඒවා අධික බරින් යුක්ත වන අතර මිල අධික ය. එය හෙලිකොප්ටර්, දුම්රිය සහ මෝටර් රථවලට වඩා EVTOL ගුවන් යානාවල පිරිවැය වාසිය සීමා කරයි.
VoloCity යානාවල පියාසර දුර පරාසය සැතපුම් 22ක් වන අතර, නගර අතර කෙටි ගමන් සඳහා ප්‍රමාණවත් වේ. එහෙත්, එය හෙලිකොප්ටරයක් සමග සන්සන්දනය කිරීමේදී එය දිගු දුරක් නොවේ.
බවර් එම අභියෝගය ගැන දැනුවත් ය: "දැන් අපට තියෙන බාධකය තමයි බැටරි තාක්ෂණය. සියලු දෙනා ඒ ගැන ක්‍රියාත්මක වෙමින් ඉන්නේ."
අඩු මිලට සේවා සැපයීම සඳහා විශාල ගුවන් යානා නිපදවීමට Volocopter සමාගමට ඉඩ සලසමින්, වඩා ත් ප්‍රබල, මිල අඩු බැටරි වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි ඔහු පවසයි.
"හෙලිකොප්ටරයක යන වියදම අනුව අපි ටිකක් මිල වැඩි කරලා ආරම්භ කරනවා. ඊට පස්සේ ආසන හතර හෝ පහ ආකෘති භාවිත කරනකොට ලොකු ගාණකින් ක්‍රමයෙන් මිල අඩු කරනවා," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Lilium
ජර්මනියේ ද ක්‍රියාත්මක ලිලියම් සමාගම, දැනටමත් විශාල EVTOL යානයක් නිෂ්පාදනය කර ඇත. මගීන් හය දෙනෙකු ප්‍රවාහනය කිරීමට නිර්මාණය කර ඇති එය අලංකාර පෙනුමක් සහිත යානයකි.
Volocopter වැනි භ්‍රමක භාවිත කිරීම වෙනුවට, ලිලියම් සමාගම සිරස් එසවීම් සහ ඉදිරි පියාසර කිරීම් සිදු කළ හැකි විද්‍යුත් ජෙට් 30ක් භාවිත කරයි. එය 2025 වසරේදී EASA වෙතින් අනුමැති සහතිකය ලබා ගැනීමට අපේක්ෂිත ය.
ලිලියම් සමාගම පවසන්නේ, එවැනි ගුවන් යානයක් සඳහා විශාල වෙළඳපොළක් ඇති අතර එමගින් තදබදය සහිත හෝ දුම්රිය සේවා දුර්වල නගර සඳහා සේවා සැපයිය හැකි බව ය.
"අඩු වියදමකින් හොඳ දුම්රිය සේවාවක් තියෙනවා නම්... අපට ඒකත් එක්ක තරග කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි ක්‍රියාත්මක වෙන්නේ, යටිතල පහසුකම් නොමැති සහ යටිතල පහසුකම් ගොඩනැගීමට දුෂ්කර අවස්ථාවලදී යි," ලිලියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්ලවුස් රෝව් පවසයි.
Shenzhen East General Aviation (Heli-Eastern) සමාගම, ලිලියම් ගුවන් යානා 100ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇති ජූනි මාසයේදී නිවේදනය කරන ලද ගනුදෙනුවක් ඔහු පෙන්වා දෙයි.
Heli-Eastern සමාගම, හොංකොං, ෂෙන්සෙන් සහ මැකාවෝ ඇතුළු චීනයේ ග්‍රේටර් බේ කලාපයේ ගුවන් සම්බන්ධතා පවත්වයි. කඳු, දූපත් රැසක් සහ අර්ධද්වීප සමගින් එය නොකැමැත්තෙන් දැකීමට සිදුවන අප්‍රසන්න සිහිනයක් විය හැකි බව රෝව් පවසයි.
එහෙත්, Volocopter මෙන් ම ලිලියම් ද තම ගුවන් යානා තරගකාරී කිරීමට බැටරි තාක්ෂණය වැඩිදියුණු කිරීමට මූල්‍ය ගනුදෙනුවල නිරත වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Lilium
එහෙත්, Volocopter මෙන් ම ලිලියම් ද තම ගුවන් යානා තරගකාරී කිරීමට බැටරි තාක්ෂණය වැඩිදියුණු කිරීමට මූල්‍ය ගනුදෙනුවල නිරත වෙයි.
රෝව් පවසන්නේ, බැටරිවල පිරිවැය සම්බන්ධයෙන් "අවිනිශ්චිතතාවක්" පවතින බව ය. එහෙත්, බැටරිවල මිල පහත වැටෙනු ඇති අතර ධාරිතාව ඉහළ යනු ඇතැයි ඔහු විශ්වාස කරයි. ඔහු සිතන්නේ, EVTOL කර්මාන්තයට දියුණු කළ මෝටර් රථ බැටරි යොදා ගැනීමෙන් වැඩි වාසි අත් කර ගත හැකි බව ය.
"ගුවන් යානා බැට්රි, වාහන බැට්රිවලට වඩා ගොඩක් මිල වැඩි වෙන්න හේතුවක් නෑ. මොක ද, දෙකේ ම නිෂ්පාදන ක්‍රියාවලිය සමාන යි," රෝව් පවසයි.
"ඔවුන් සතුව [EVTOL ගුවන් යානා] ඇත්ත වශයෙන් ම ඉතා සුවිශේෂී බැටරි කට්ටලයක් තියෙනවා. ඒක නිෂ්පාදනය කරන්නේ ඉතා අඩුවෙන්, ඒක ගොඩක් මිල අධික නිෂ්පාදනයක්, ළඟකදී නිෂ්පාදන වැඩි කරන එකකුත් නෑ," ස්වීඩ්න් ගුවන් හමුදාවේ ගුවන් යානා සහ නියමුවන් සහිත ප්‍රහාරක ජෙට් යානා ඉංජිනේරුවරයෙකු වන බීජෝන් ෆර්ම් පවසයි. ඔහු මේ වන විට සේවය කරන්නේ, ලීහැම් සමාගමේ අභ්‍යවකාශ උපදේශකයෙකු ලෙස ය.
ෆර්ම් පෙන්වා දෙන්නේ, ගුවන්ගත වීමට සහ පියාසර කිරීමට, මෝටර් රථයක් බැටරියෙන් බලය ලබා ගන්නවාට වඩා ඉතා ඉක්මනින් EVTOL ගුවන් යානයක් එහි බැටරියෙන් බලය ලබා ගන්නා බව ය.
එමෙන් ම, පිරිමැසුම්දායක භාවය සඳහා, ගුවන් යානය ඉක්මනින් ආරෝපණය කළ යුතු ය. ඉක්මන් ආරෝපණය සහ ආරෝපණය නතර කිරීම බැටරියට විශාල හානියක් සිදු කරන අතර, මෝටර් රථයකට වඩා වෙනස් හා මිල අධික පද්ධතියක් ගුවන් යානාවලට අවශ්‍ය වන බව ෆර්ම් පවසයි.
ඔහු අනාගත ප්‍රගතියක් දකින අතර, මෙම දශකය අවසන් වන විට බැටරිවල ගුණාත්මකභාවය දියුණු වනු ඇත්තේ "දෙගුණයකින්" පමණි.
බැටරි තාක්ෂණය වැඩිදියුණු කිරීම මෙන්ම, නව EVTOL සමාගම්වලට ඔවුන්ගේ ගුවන් යානා වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට සිදුවේ.
ෆෙහ්ම්ට අනුව, EVTOL යානාද ගුවන් යානා කර්මාන්ත කේෂේත්‍රයට සමාන ක්‍රියාවලියක් භාවිතා කරන බැවින් අඩු වියදම් සහ ඉහළ නිෂ්පාදන ක්‍රියාවලියට සුදුසු නොවන ආකාරයේ තාක්ෂණයක් භාවිත නොකරන බැවින් එය මිල අධික ක්‍රියාවලියක් විය හැකිය.
විදුලි ගුවන් සේවා පිළිබඳ විශේෂඥයෙකු වන ගුවන් සේවා උපදේශකයෙකු වන ඩැරල් ස්වන්සන් පවසන්නේ, බැටරි තාක්ෂණය වෙනසකට ලක්කිරීම "අභියෝගකාරී ක්‍රියාවලියක් වන නමුත් එය වේගවත් වෙමින් පවතින" බවය.
"ව්‍යාපාරික සංචාරකයින්ට හෝ මූල්‍යමය වශයෙන් වරප්‍රසාද ලත් පුද්ගලයින්ට සීමා වූ ආකෘතියක් අනුගමනය කිරීම වළක්වාගෙන කර්මාන්තය පවත්වාගෙන යෑම ඉතා වැදගත්."ඒ සඳහා නව සමාගම්වලට වඩා විශාල වීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
අප්‍රේල් මාසයේදී, Volocopter සිය පළමු එකලස් කිරීමේ මාර්ගය දකුණු ජර්මනියේදී විවෘත කරන ලදී, එයට වසරකට ගුවන් යානා 50 ක් නිෂ්පාදනය කළ හැකි නමුත්, දශකය අවසන් වන විට එය සෑම වසරකම ගුවන් යානා 5,000 ත් 7,000 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා කිරීමට බොහෝ වැඩ සහ ආයෝජන ඇති බව බවර් පිළිගනී.
"මම කියන්නේ අපි එම වාහනය සහතික කර ගැනීමේ පළමු මැරතන් තරගයේ අවසාන අදියරේ ඉන්නේ. ඊළඟ මැරතන් තරගය ආරම්භ වන්නේ - ලාභදායිත්වය කරා යාමටයි."











