ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලරේඛාව: බීබීසී නිවේදකයෙකුට එරෙහිව චෝදනා එල්ලවීමේ සිද්ධිය
- Author, එමා පීට්‍රි සහ ඉයන් යංස්
- Role, බීබීසී පුවත්
නිර්නාමික බීබීසී නිවේදකයෙකුට එරෙහි චෝදනා සම්බන්ධ ප්‍රකාශයන්ගෙන් පසුගිය දිනවල දී සිරස්තල පිරීගොස් තිබුණි.
මෙම කතාව මතුවූයේ, අදාළ නිවේදකයා විසින් යමෙකුට වයස අවු. 17 සිට අසභ්‍ය ඡායාරූප ලබාගැනීම සඳහා මුදල් ගෙවා ඇතැ යි, ද සන් පුවත්පත වාර්තා කිරීමත් සමග ය.
නමුත් සඳුදා (ජූලි 10) එම තරුණ තැනැත්තාගේ නීතීඥවරයා ප්‍රකාශකර සිටියේ, නුසුදුසු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුවී නැතිබව යි.
ඒ අනුව, මෙතෙක් සිදුවූ සිදුවීම්වල කාලරේඛාවකි මේ:
මැයි 19, සිකුරාදා
ද සන් පුවත්පත පවසන පරිදි, බීබීසීහි නිවේදකයෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් තරුණ පුද්ගලයාගේ පවුලේ තැනැත්තන් බීබීසීයට පැමිණිලිකර තිබේ.
බීබීසීහි අධ්‍යක්ෂ ජෙනරාල් ටිම් ඩේවි පවසන පරිදි, බීබීසී විමර්ශන කණ්ඩායම විසින් ගැටලුව පිළිබඳව සොයාබැලීම අරඹා තිබේ.
ජූලි 6, බ්‍රහස්පතින්දා
බීබීසීය පවසන පරිදි, "වෙනස් ස්වභාවයේ" නව චෝදනා බීබීසීය වෙත ඉදිරිපත්කර තිබේ.
ජූලි 7, සිකුරාදා
මේ සම්බන්ධයෙන් ද සන් පළකළ පළමු ලිපිය සිකුරාදා රාත්‍රියේ පළවූ අතර, තෙවසරක කාලයක් තිස්සේ බීබීසී නිවේදකයෙකු අසභ්‍ය ඡායාරූප ලබාගැනීම සිය දරුවාට පවුම් දස දහස් ගණනක් ගෙවා ඇතැ යි පවසන මවකගේ ප්‍රකාශයන් එහි විය.
මෙම තරුණ පුද්ගලයා කොකේන් ඇබ්බැහියක් සඳහා එම මුදල් භාවිතා කළබවත්, ඇගේ දරුවා "මැරිලා" යනු ඇතැ යි ඇය බියෙන් පසුවන බවත් ආදී වශයෙන් මව කළ ප්‍රකාශයන් එහි අඩංගුවිය.
පසුව මෙම තරුණ තැනැත්තාගේ නීතීඥවරයා ලියා දන්වා ඇති පරිදි, එදිනම සන්ධ්‍යාවේ දී එම තැනැත්තා පුවත්පතට වට්සැප් පණිවුඩයක් යවමින්, මවගේ ප්‍රකාශයන් "සම්පූර්ණයෙන්ම අසත්‍ය යි, ඒවායේ කිසිම ඇත්තක් නැහැ,"යි දන්වා තිබේ.
බීබීසීය "ඕනෑම චෝදනාවක් බරපතල ලෙස සලකනබව" ආයතනය පවසන අතර, වැඩිදුර විමර්ශන සිදුකළ යුතුයැ යි තොරතුරු ලැබුණහොත් ආයතනය ගන්නා පියවර අතර, "තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ අවබෝධයක් ලබාගැනීම සඳහා අප සම්බන්ධකර ගත් තැනැත්තන් සමග ක්‍රියාකාරීව කතාබහ කිරීමට උත්සාහ කිරීම" ද ඇතිබව පවසයි.
බීබීසීය මෙසේ ද පැවසීය: "අපේ ප්‍රයත්නයන්ට පිළිතුරක් නොලැබුණහොත් හෝ වෙනත් සන්නිවේදනයක් සිදු නොවුණහොත්, සිදුවීම ඉදිරියට ගෙනයෑම සඳහා වන අපගේ හැකියාවට බාධා සිදුවිය හැකිවුවත්, අපගේ විමර්ශන නවතිනබව ඉන් අදහස් නොවේ. කිසියම් හෝ අවස්ථාවක - පුවත්පත් මාර්ගයෙන් හෝ - නව තොරතුරු හෙළිදරව් වුවහොත් හෝ අප වෙත ලබාදුනහොත්, අපගේ අභ්‍යන්තර ක්‍රියාවලීන්ට අනුකූලව, සුදුසු පරිදි ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇත."
ජූලි 8, සෙනසුරාදා
බීබීසී නිවේදකයා යට ඇඳුමෙන් සැරසී "මගෙ දරුවා ඔහු වෙනුවෙන් රඟදක්වනකල් බලාගෙන හිටියා"යි මව පැවසූ වග උපුටා දක්වමින්, ද සන් පුවත්පත තව තවත් චෝදනා ප්‍රසිද්ධ කළේ ය.
මේ අතර, මෙම නිවේදකයා කවුරුන් වන්නට ඇත්දැ යි සමාජ මාධ්‍යයන්හි පැතිරුණු කටකතාවලින් පසු, බීබීසී නිවේදකයින් වන ගැරී ලිනෙකර්, ජෙරමි වයින්, රිලන් ක්ලාක් සහ නිකී කැම්බල් ඇතුළු බීබීසී නිවේදකයින් ප්‍රසිද්ධියේ නිරවද්‍යතාව ප්‍රකාශ කිරීමක් ලෙස මෙම සිදුවීමට ඔවුහු සම්බන්ධ නැතැ යි කියා සිටියහ.
ජූලි 9, ඉරිදා
බීබීසීය පිරිමි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු තාවකාලික වැඩ තහනමකට ලක්කළබව බීබීසීය පවසන අතර, "මීළඟ සුදුසු පියවරයන් පිළිබඳව නිශ්චිතව දැනුම්දීම සඳහා හැකි ඉක්මණින් නිරවද්‍ය කරුණු තහවුරුකර ගැනීමට ක්‍රියා කරමින් සිටිනබව" ද ප්‍රකාශ කළේ ය.
"මෙම කාරණා සාධාරණව හා සැලකිල්ලෙන් යුතුව මෙහෙයවීම වැදගත්," එහි ප්‍රකාශයක සඳහන් වෙයි.
ආයතනය පොලීසිය හා සම්බන්ධවී සිටිනබව බීබීසීය පවසයි. මෙට්‍රොපොලිටන් පොලීසිය ප්‍රකාශ කරන්නේ, "මේ ගැටලුව සම්බන්ධයෙන් මුල දී බිබීසීය [පොලීසිය] සම්බන්ධකර ගත්, නමුත් විධිමත් යොමුවක් හෝ චෝදනාවක් සිදුකර නොමැතිබව" යි.
චෝදනා ලත් නිවේදකයා අදාළ තරුණ පුද්ගලයාට දුරකථන ඇමතුම් දෙකක් ලබා දී "මොකද්ද ඔයා මේ කළේ"යි අසා ඇතිබවත්, මවට ඇමතුමක් ලබාදී "විමර්ශනය නවත්තන්නැ"යි ඉල්ලා සිටිබවත් ද සන් වාර්තා කරයි.
ජූලි 10, සඳුදා
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කාර්යාලයය මෙය "සාවධාන ලෙස සොයා බලන අතර සුදුසු වේලාවක විනිවිදභාවයක් දක්වනු ඇතිබව" ද, බීබීසීයේ අධ්‍යක්ෂ ජෙනරාල් වන ටිම් ඩේවි පිළිබඳව අග්‍රාමාත්‍ය රිෂි සුනක්ට "පූර්ණ විශ්වාසයක්" ඇතිබව ද නිවේදනය කළේ ය.
බීබීසී නියෝජිතයින් මෙට්‍රොපොලිටන් පොලීසියේ විශේෂඥ අපරාධ ඒකකයේ රහස් පරීක්ෂකයින් හමුවෙයි. පොලීසිය පවසන්නේ, එය බීබීසීය ලබාදුන් තොරතුරු "අධ්‍යයනය කරන" නමුත් "මේ මොහොතේ දී කිසිදු විමර්ශනයක්" සිදුනොවනබව යි.
චෝදනාවන් මධ්‍යයේ සිටින තරුණ පුද්ගලයා නියෝජනය කරන නීතීඥයා බීබීසීය වෙත එවන ලද ලිපියකින්, මව පෙරදී ඉදිරිපත් කළ චෝදනාවන්ට විරුද්ධ ප්‍රකාශයන් ඉදිරිපත්කර ඇති අතර, "සන් පත්තරේ පළවුණු චෝදනා කුණුගොඩකැ"යි පවසයි.
තරුණයා සිකුරාදා ද සන් පුවත්පතට ප්‍රතික්ෂේප කිරීමක් යවා ඇතත්, එය "ඔවුන්ගේ නුසුදුසු පුවත් ලිපිය" ප්‍රකාශයට පත්කළබව මෙම ලිපියෙන් ප්‍රකාශ කරයි.
ඊට පිළිතුරු ලෙස ද සන් පවසන්නේ, එය "සිය දරුවාගේ සුබ සිද්ධිය හා බීබීසීහි නිවේදකයෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් බීබීසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ, දැඩි කණස්සල්ලට පත් දෙමාපිය යුවළකගේ කතාවක් වාර්තා කළ"බව යි.
ඔවුන්ගේ පැමිණිල්ලට අනුව "බීබීසීය විසින් කටයුතුකර නැතැ"යි ද, ඔවුන්ගේ "කණසල්ලන්ට හේතුවී ඇති සාක්ෂි [පුවත්පත] දුටුබව" ද, ද සන් ප්‍රකාශ කරයි. "බීබීසීය දැන් නිසි විමර්ශනයක් සිදුකළ යුතු යි," පුවත්පත වැඩිදුරටත් කියා සිටියි.
ද සන් වෙත පැවසූ කරුණු සම්බන්ධයෙන් ඔවුන් තවමත් පෙනී සිටිනබව දෙමාපියන් එය වෙත පවසා තිබේ.
ජූලි 11, අඟහරුවාදා
බීබීසීයේ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ මාධ්‍ය හමුවෙහි දී ද, රේඩියෝ 4 සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී ද, අධ්‍යක්ෂ ජෙනරාල් ඩේවි බීබීසීහි ප්‍රතිචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදුන්නේ ය.
එවැනි පැමිණිලි සිදුකෙරුණු විට බීබීසීය "අවශ්‍ය තරම් ඉක්මණින් රතු කොඩි" ඔසවන්නේදැ යි පරීක්ෂා කිරීමට ඔහුට අවශ්‍යවූබව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය..
"මේ සිදුවීමෙන් පසු උගත යුතු පාඩම් ඇතැ"යි බීබීසීය පිළිගත් අතර, සංවිධානයේ ප්‍රොටෝකෝල සහ ක්‍රියාපටිපාටි සුදුසු ඒවාදැ යි බීබීසීහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් තක්සේරු කෙරෙනු ඇත.
පොලීසිය, "අනාගත වැඩකටයුතු අගයන අතරතුර, චෝදනා සම්බන්ධ විමර්ශන නවතා දමන ලෙස" බීබීසීයෙන් ඉල්ලා ඇතිබව ද ආයතනය ප්‍රකාශ කළේ ය.
අඟහරුවාදා පස්වරුවේ දී, අදාළ නිවේදකයාගෙන් තමාට තර්ජනාත්මකබවක් දැනුණු වග තවත් තරුණ පුද්ගලයෙක් බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
වයස 20 ගණන්වල මුල්භාගයේ පසුවන තරුණ තැනැත්තා පැවසූ පරිදි, පෙම්වතුන් හඳුනාගැනීමේ ඇප් එකක් හරහා එම තැනැත්තා සම්බන්ධකර ගත් නිවේදකයා එකිනෙකා හමුවීමට බලකර ඇති නමුත් මොහු ඔහු හමුවීමට ගොස් නැත. නිවේදකයාගේ නම හෙළිකරනබවට තරුණ තැනැත්තා ඔන්ලයින් මාර්ගයෙන් ඉඟි කළ විට, ඔහු හිංසාකාරී පණිවුඩ ඒවා තිබුණි.
මෙසේ එල්ලවී ඇති නව චෝදනා නිසාවෙන් "අහිංසක කාර්යාල සගයින්ට තව තවත් වෛරී ප්‍රතිචාර එල්ලවනු ඇති නිසා" ද, බීබීසීය "මෙනිසා දණින් වැටී සිටින නිසා" ද, අදාළ නිවේදකයා "දැන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් විය යුතුයැ"යි බීබීසී නිවේදක ජෙරමි වයින් පැවසීය.
අදාළ නිවේදකයා විසින්, පෙම්වතුන් හමුවන වෙබ් අඩවියක දී ඔහුට හමුවූ තවත් තරුණ තැනැත්තෙකු හමුවීම සඳහා කොවිඩ් ලොක්ඩවුන් නීති කඩකළ අයෙකුබවට ද සන් පුවත්පත චෝදනාකර තිබුණි.
බීබීසී පුවත්, බීබීසීය පිළිබඳ පුවත් ආවරණය කරන්නේ කෙසේ ද?
මේ ආකාරයේ පුවත් සම්බන්ධයෙන් බීබීසී පුවත්හි සේවය කරන මාධ්‍යවේදීන් බීබීසීයට සලකන්නේ ද, බීබීසීය වෙනත් ඕනෑ ම මාධ්‍ය ආයතනයක් පිළිබඳ පුවත් වාර්තා කරන ආකාරයටම ය.
ඉතින් වෙනත් ඕනෑම ආයතනයක් සමග කටයුතු කරන ආකාරයටම, වාර්තාකරණයට අවශ්‍ය ප්‍රතිචාර ලබාගැනීම සඳහා බීබීසී කළමනාකාරීත්වය හෝ බීබීසී සේවාවන් විමසීමට බීබීසී පුවත්හි මාධ්‍යවේදීන්ට සිදුවන අතර, නිල ප්‍රකාශයන් සඳහා බීබීසී මාධ්‍ය කාර්යාලයය හා සම්බන්ධවීමට සිදුවේ.
ඇතැම් අවස්ථාවල දී, බීබීසී මාධ්‍යවේදීන් පෙර සැලසුම් නොකළ සම්මුඛ සාකච්ඡා සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් හමුවන අතර, එය ප්‍රවෘත්ති ව්‍යාපාරය තුළ "දොර අඩ තැබීමක්" ලෙස හැඳින්වේ.
ඇතැම් විටෙක දී කළමනාකාරීත්වය සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාව බීබීසී පුවත් වෙත හිමිවෙයි. ගැරී ලිනෙකර් සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ඩේවි සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව එවැන්නකි.
මෙය සිදුවීමේ දී, මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගෙන් කෙතරම් වගවීමක් බලාපොරොත්තු වනවා ද යන්න බීබීසීය තුළ දීත් ඉන් පිටත දීත් ඉතා සියුම්ව නිරීක්ෂණ වනබවට අවබෝධයක් ඔවුන් සතු ය.