මෝදි පිළිබඳ බීබීසී වාර්තා වැඩසටහනට ඉන්දීය රජයෙන් විවේචන

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත්, 2002 වසරේ ගුජරාට්හි ඇතිවූ මහජන කැරලි සඳහා ඔහුගේ දායකත්වයත් පිළිබඳව බීබීසී පුවත් සේවය පළකළ වාර්තා වැඩසටහනකට ඉන්දීය රජයේ විවේචන එල්ලවී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි පැවසුවේ, 'India: The Modi Question' නමැති බීබීසී වාර්තා වැඩසටහන වාස්තවිකත්වයෙන් තොර දේශපාලනික ප්‍රචාරණ උත්සහයක්බව ය.

කොටස් දෙකකින් සමන්විත මෙම වාර්තා වැඩසටහන් මාලාවේ පළමු කොටස පසුගිය අඟහරුවාදා (ජන. 17) එක්සත් රාජධානියේ දී විකාශය කෙරිණි. එහි දෙවන කොටස හෙට (ජන. 24) විකාශය කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය පවසන්නේ, "ලොව පුරා ඇති වැදගත් ගැටලු ඉස්මතු කිරීමට තමන් කැපවී සිටින," බව ය.

අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ඉන්දීය රජයට අවස්ථාව ලබාදුන්න ද, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව බීබීසී පුවත් සේවය තවදුරටත් පැවසුවේ ය.

කතා මාලාවේ පළමු කොටස, නරේන්ද්‍ර මෝදි, භාරතීය ජනතා පක්ෂය (BJP) තුළ පියවරින් පියවර ඉහළට යෑමේ සිට ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යධූරයට පත්වීම දක්වා තොරතුරු ඇතුලුව, දේශපාලනයට ඔහු තැබූ පළමු පියවර පිළිබඳ ගවේශනයකි.

බීබීසී පුවත් සේවය විසින් බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයෙන් ලබා ගන්නා ලද, අප්‍රකාශිත වාර්තාවක් මෙම වාර්තා චිත්‍රපටය මඟින් ඉස්මතු කර තිබේ. එම වාර්තාව හරහා, හින්දු බැතිමතුන් රැගත් දුම්රියකට ගිනිතබා පුද්ගලයින් රැසක් ඝාතනය කිරීමෙන් පසු ඇතිවූ ආගමික කෝලාහල අතරතුර මෝදිගේ හැසිරීම ප්‍රශ්නකර ඇත. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තවීමෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් (බහුතරය මුස්ලිම් වැසියන්) ජීවිතක්ෂයට පත්වූ අතර, එය නිදහසින් පසු සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකේ.

ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා බලපෑ "දණ්ඩමුක්තිය භාවිත කිරීම" හරහා මෝදි ඊට "ඍජුව වගකිය යුතු" බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමා වගකිය යුතුබවට සහ කෝලාහල සම්බන්ධයෙන් සමාව ඉල්ලීම පැහැරහැරිය බවටත් තමාට එල්ල වන චෝදනා මෝදි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප කර තිබේ. 2013 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ද පැවසුවේ, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ය.

මෙම වාර්තා වැඩසටහන සැකසීම පිටුපස ඇති බීබීසී පුවත් සේවයේ චේතනාව පිළිබඳව බාග්චි ප්‍රශ්න කළේ ය. "මේ වැඩේ අරමුණ සහ ඒක පිටුපස ඇති න්‍යාය පත්‍රය ගැන අපට කල්පනා කරන්න සිද්ධවෙනවා," ඔහු පැවසීය.

"මේක අපකීර්තිමත් කතාවක් සමාජගත කිරීමට නිර්මාණය කරපු ප්‍රචාරණ වැඩසටහනක්. පක්ෂග්‍රාහීත්වය, වාස්තවිකත්වයෙන් තොරබව වගේම යටත්විජිත මානසිකත්වය පැහැදිලිවම පේනවා," ඔහු පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් බීබීසී පුවත් සේවය පැවසුවේ: "මෙම වාර්තා වැඩසටහන් මාලාව මඟින් ඉන්දියාවේ හින්දු බහුතරය සහ මුස්ලිම් සුළුතරය අතර ඇතිවූ ගැටුම් පිළිබඳව විමර්ශනය කෙරෙන අතර එම ගැටුම් හා සබැඳිව මෝදිගේ දේශපාලනය පිළිබඳව ගවේශනයක් ද සිදු කරන," බව ය.

එය "මැනවින් පර්යේෂණයට බඳුන්කළ" එමෙන්ම, "විශාල පරාසයක විහිදී ගිය සාක්ෂි සහ විශේෂඥ අදහස් සහිතව සකස් කෙරුණු අතර, භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින්ගේ ප්‍රතිචාර ඇතුලුව පුළුල් පරාසයක අදහස් ඇතුළත් කළ වාර්තාවක්," බව එහි සඳහන් වේ.

මෙම වාර්තාව එවකට විදේශ ලේකම්වරයා වූ ජැක් ස්ට්‍රෝගේ නියෝගය පරිදි සිදුකළ විමර්ශනයක කොටසකි‍. "ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණය වාර්තාවේ සඳහන් ප්‍රමාණයට වඩා විශාල වශයෙන් වැඩි," බවත්, "එම කෝලාහලවල ඉලක්කය වූයේ හින්දු වැසියන් වෙසෙන ප්‍රදේශවලින් මුස්ලිම් වැසියන් ඉවත්කර දැමීම,"බවත් ඉන් පැවසෙයි.

"පොලිසිය පසුබැස්වීමටත්, හින්දු අන්තවාදීන් නිහඬව දිරිගැන්වීමටත් මෝදි ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටුකළ බවට බරපතල චෝදනා නැගී තිබෙනවා. එය, හින්දු සහ මුස්ලිම්වැසියන් ආරක්ෂා කිරීමේ පොලිස් රාජකාරිය වැළැක්වීමට දේශපාලන මැදිහත්වීමක් සිදුවූ ආකාරය පිළිබඳ තැතිගන්වනසුළු උදාහරණයක්," බීබීසී වාර්තා වැඩසටහන තුළ ජැක් ස්ට්‍රෝ පවසයි.

එවකට බ්‍රිතාන්‍ය රජයට ගතහැකිව තිබූ ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, "අපට තිබුණ විකල්ප සීමාසහිත යි. අපි ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ දමන්න කිසිදා ක්‍රියා කරන්නේ නැහැ. නමුත්, මේක ඔහුගේ [මෝදිගේ] ප්‍රතිරූපයට පැහැදිලිවම කැළලක්."

පසුගිය බ්‍රහස්පතින්දා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් හුසේන්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට මෝදි ඍජුව වගකිය යුතු බවට වන වාර්තාවට එකඟවන්නේදැ යි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගෙන් විමසා සිටියේ ය. එමෙන්ම, මීට අමතරව මේ බරපතල වාර්ගික සංහාරයට ඔහුගේ වූ සම්බන්ධය ගැන විදේශ කාර්යාලය දැන සිටියේ කුමක්දැ යි ද ඔහු ප්‍රශ්න කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් රිෂී සුනක් පැවසුවේ, "අපි කිසිම තැනක හිංසාවන් ඉවසන්නේ නෑ", යනුවෙනි. එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මෝදිගේ චරිතය පිළිබඳ අර්ථ දැක්වීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන," බව ය.