ත්‍රෙඩ්ස්: ට්විටර් ප්‍රතිවාදියා සමග පරිශීලකයින් මිලියන 30ක් එක්වූබව සකර්බර්ග් කියයි

Threads user interface
    • Author, ක්‍රිස් වැලන්ස් සහ ජේම්ස් ක්ලේටන්
    • Role, තාක්ෂණික වාර්තාකරුවන්, බීබීසී පුවත්

මෙටා සමාගම අලුතින් දියත් ක‍ළ 'ත්‍රෙඩ්ස්' ඇප් එකට එහි පළමු දිනයේ දී ම පරිශීලකයින් මිලියන 30ක් ලියාපදිංචි වී ඇතැ යි එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි.

ඔහු මෙම ඇප් එක ඉදිරිපත් කළේ, පසුගිය ඔක්තෝම්බරයේ දී ඊලොන් මස්ක් විසින් මිල දී ගන්නා ලද ට්විටර් සමග තරග කරන "මිත්‍රශීලී" ප්‍රතිවාදියෙකු ලෙස ය.

ට්විටර්හි මෑතකාලීන වෙනස්කම් පිළිබඳ අසතුටින් පසුවන පරිශීලකයින් ත්‍රෙඩ්ස් වෙත ආකර්ෂණය විය හැකි බව විශේෂඥයින් පවසයි.

නමුත් ටිව්ටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලින්ඩා යාකරීනෝ පැවසුවේ, ටිව්ටර් ඇප් එක "නිරන්තරයෙන් අනුකරණයට ලක් වුව ද, එහි ප්‍රජාවට සමාන ප්‍රජාවක් කිසිදා ගොඩනැගිය නොහැකි" බව ය.

ටිව්ටර් ඇප් එකට සමාන බොහෝ විශේෂාංග ඇති ත්‍රෙඩ්ස් ඇප් එක පරිශීලකයින්ට අක්ෂර 500ක් දක්වා අඩංගු පොස්ට් පළ කිරීමට ඉඩ සලසයි.

මෙම වේදිකාව "මිත්‍රශීලීව තබා ගැනීම... අවසානයේ එහි සාර්ථකත්වයට යතුර වනු ඇති" බව, මීට පෙර සකර්බර්ග් පැවසුවේ ය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මස්ක් පැවසුවේ, "ඉන්ස්ටග්‍රෑම් තුළ සැබෑ හැඟීම් සඟවාගෙන ව්‍යාජ සතුටක් ඉස්මතු කර පෙන්වනවාට වඩා, ට්විටර් තුළ නාඳුනන පුද්ගලයින්ගේ විවේචනයට ලක් වීම වඩා ත් යෝග්‍ය බව" ය.

ත්‍රෙඩ්ස් ඇප් එක "ට්විටර් අභිබවා" යනු ඇතිදැ යි විමසූ විට, "ඒකට යම් කාලයක් ගතවේවි. නමුත් මම හිතන්නේ, මිනිස්සුන්ට කතා කරන්න බිලියනයකට වඩා වැඩි ගණනක් පරිශීලකයෝ ඉන්න ඇප් එකක් තියෙන්න ඕනේ," සකර්බර්ග් පැවසුවේ ය.

"ට්විටර් සමාගමට ඒක කරන්න අවස්ථාව තිබුණා. හැබැයි කරගන්න බැරි වුණා. අපට ඒක කරන්න පුළුවන් කියලා හිතනවා."

එහි දියත් කිරීම වෙත ඉන්ටර්නෙට් හරහා උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු අතර එක් පුද්ගලයෙකු බීබීසීය වෙත පැවසුවේ, ඔවුන් ත්‍රෙඩ්ස් දුටුවේ ට්විටර් සමග "තරග කිරීමට අත්‍යවශ්‍ය ම තරගකරුවෙකු" ලෙස බව ය.

මෙම ඇප් එක විසින් භාවිත කරනු ලැබිය හැකි දත්ත ප්‍රමාණය පිළිබඳව තරගකරුවන් විවේචනය කර තිබේ. ඇපල් ඇප් ස්ටෝර් එකට අනුව, ඊට පරිශීලකයන්ගේ අනන්‍යතාවට සම්බන්ධ සෞඛ්‍ය, මූල්‍ය, සහ ඉන්ටර්නෙට් පරිශීලනය පිළිබඳ දත්ත ඇතුළත් විය හැකි ය.

ඉන්ස්ටග්‍රෑම් ගිණුම මැකීමකින් තොරව ත්‍රෙඩ්ස් ගිණුම මකා දැමීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඇතැම් පරිශීලකයින් කනස්සල්ල පළකර තිබේ. මෙටා සමාගම බීබීසීය වෙත පැවසුවේ: "මේ මොහොතේදී ඉන්ස්ටග්‍රෑම් ගිණුම මැකීමකින් තොරව ඔබට ඔබේ ත්‍රෙඩ්ස් ගිණුම මකා දැමීමට නොහැකි ය. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවට ඔබට පුළුවන් ඕනෑ ම වෙලාවක ඔබේ ත්‍රෙඩ්ස් ගිණුම අක්‍රිය කරන්න."

"ඔබේ ත්‍රෙඩ්ස් ගිණුම අක්‍රිය කිරීමෙන් ඔබේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අක්‍රිය වෙන්නේ නෑ."

ඔබ ඔබේ ත්‍රෙඩ්ස් ගිණුම අක්‍රිය කිරීමෙන් අදහස් වෙන්නේ, ඔබේ පෝස්ට්, සහ මිතුරන්ගේ පෝස්ට් වෙත ඔබ පළ කළ අදහස් නොපෙනී යාමයැ යි එම සමාගම පැවසීය.

ඉන්ස්ටග්‍රෑම්හි සෙටින්ග්ස් වෙත පිවිසීමෙන් පරිශීලකයින්ට ත්‍රෙඩ්ස් දත්ත බාගත කර ගැනීම හෝ මකා දැමීම සිදු කළ හැකි බව මෙටා සමාගම පවසයි.

ත්‍රෙඩ්ස් ඇප් එක මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවකදී බාගත කිරීමට අවස්ථාව ඇති නමුත් නියාමන ගැටලු හේතුවෙන් තවමත් යුරෝපා සංගමයට අයත් රටවල එය බාගත කිරීම කළ නොහැකි ය.

'මුල් අවධියේ ඇති ඇප් එකක්'

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්හි හිමිකාරිත්වය දරන මෙටා සමාගම මෙම ඇප් එක "මුල් අදියරේ ඇති ඇප් එකක්" ලෙස නම් කළේ, මැස්ටඩන් වැනි වෙනත් සමාජ මාධ්‍ය ඇප් භාවිත කරන පරිශීලකයින් සමග අන්තර් ක්‍රියා කිරීම ඇතුළු අමතර විශේෂාංග ඊට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරමිනි.

"අපේ දැක්ම තමයි ත්‍රෙඩ්ස් වෙත ඉන්ස්ටග්‍රෑම්හි ශක්තීන් උකහා ගෙන ඒක වචන දක්වා පුළුල් කිරීම," සමාගම එම ඇප් එක දියත් කිරීමට ප්‍රථම පැවසීය.

ත්‍රෙඩ්ස් ස්වාධීන ඇප් එකක් වුවත්, පරිශීලකයන්ට ඊට පිවිසිය හැකි වන්නේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම භාවිතාවෙනි. ඉන්ස්ටග්‍රෑම් වෙත ලබා දී ඇති username එක (පරිශීලක නාමය) ඒ වෙත ලබා ගන්නා අතර, අවශ්‍ය නම් තම ත්‍රෙඩ්ස් ගිණුමට සරිලන පරිදි එය වෙනස් කිරීමට හැකියාව පවතියි.

පරිශීලකයින් ඉන්ස්ටග්‍රෑම්හි සම්බන්ධ වී ඇති මිතුරන් සමග මෙම ඇප් එක ඔස්සේ ද සම්බන්ධ වීමට අවස්ථාව ඇතැ යි මෙටා සමාගම පවසයි. මෙය පරිශිලකයින්ට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම පෞද්ගලිකව තබා ගැනීමට ඉඩ සලසන නමුත් ත්‍රෙඩ්ස්හි ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට ඉඩ සලසයි.

නව ඇප් එක දියත් කිරීම සිදුවන්නේ, මෙටා සමාගමේ ව්‍යාපාරික භාවිතයන් විවේචනයට ලක් වූ පසුබිමක ය.

ඉකුත් වසරේ මෙටා සමාගමේ අකටයුතුකම් පිළිබඳව හෙළි කළ ෆ්‍රැන්සස් හෝගන්, සමාගම "ආරක්ෂාවට වඩා ලාභ ඉපැයීමට මුල් තැනක්" ලබා දුන් බව පැවසුවා ය. එමෙන් ම, මෙම සමාජ මාධ්‍ය වේදිකාව එහි අන්තර්ගතයන් නියාමනය කරන ආකාරය පිළිබඳව විවේචනය කළේ ය.

බ්‍රිතාන්‍ය දේශපාලන උපදේශක ආයතනයක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා ඇතුළු තුන්වන පාර්ශවයන්ට ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශවීමට ඉඩ දීම හේතුවෙන් ඇති වූ අපකීර්තියකින් ද සමාගම දෙදරා ගියේ ය.

මෙම මතභේදාත්මක අතීතය ගැන සඳහන් කරන්නාක් මෙන්, මස්ක් සඳුදා හාස්‍යයෙන් යුතුව පැවසුවේ, "ඇති යාන්තම්, ඔවුන් ඉතා හොඳින් දුවනවා" යනුවෙනි.

ට්විටර් සඳහා, බ්ලූස්කයි සහ මැස්ටඩන් වැනි විකල්ප කිහිපයක් ඇති නමුත් ඒවා පරිශීලකයින් ආකර්ෂණය කර ගැනීමට මහත් වෙහෙසක් දරා තිබේ.

මේ වන විට ත් පරිශීලකයන් මිලියන සිය ගණනක් භාවිතා කරන ඉන්ස්ටග්‍රෑම් වෙත සම්බන්ධ වී තිබීම, ත්‍රෙඩ්ස් සඳහා සැලකිය යුතු වාසියක් ලබාදෙයි.

ත්‍රෙඩ්ස් ක්‍රියා කරන්නේ කෙසේ ද?

ත්‍රෙඩ්ස්හි දී, මිනිත්තු පහක් දක්වා දිගින් යුතු වීඩියෝ, සබැඳි සහ ඡායාරූප ඇතුළත් පොස්ට් ඉන්ස්ටග්‍රෑම් වෙතත් ඉන් ත්‍රෙඩ්ස් වෙතත් බෙදා ගැනීමට හැකියාව පවතියි.

කෙසේ වෙතත්, මෙම ඇප් එක දියත් කළ සැණින් භාවිත කළ පරිශීලකයින් බදාදා වාර්තා කර තිබුණේ ඡායාරූප උඩුගත කිරීමේදී ගැටලු ඇති වූ බව ය. එය මෙම ඇප් එකේ මුල් අවස්ථාවේදී ඇති වූ ගැටලු විය හැකි ය.

පරිශීලකයින්ට, මිතුරන් පලකරන මෙටා විසින් "ත්‍රෙඩ්ස්" නමින් හඳුන්වනු ලබන පෝස්ට් දැකීමට අවස්ථාව හිමිවන අතර, ඇතැම් විට නිර්දේශිත අන්තර්ගතයන් ද ඔවුන්ට දිස් වෙයි.

තමාව "මෙන්ෂන්" කළ හැක්කේ කාට ද යන්න පාලනය කිරීමට සහ යම් යම් වචන අඩංගු පෝස්ට්වලට ලැබෙන පිළිතුරු ෆිල්ටර් කිරීමට ද පරිශීලකයින්ට හැකියාව පවතියි.

අන්ෆලෝ කිරීම, බ්ලොක් කිරීම, රෙස්ට්‍රික්ට් කිරීම හෝ වෙනත් ගිණුම් රිපෝර්ට් කිරීම ද සිදු කළ හැකි අතර ඉන්ස්ටග්‍රෑම්හි බ්ලොක් කර ඇති ගිණුම් ත්‍රෙඩ්ස්හි ද නිරායාසයෙන් ම බ්ලොක් වීම සිදු වේ.

ඉන්ස්ටග්‍රෑම් සමග ඇති සම්බන්ධය පිළිබඳව මෙටා සමාගම අවධාරණය කළත්, මාධ්‍යවල අවධානය යොමු වූයේ එය ට්විටර් වෙත දක්වන සමානකම කෙරෙහි ය. ඇතැම් ආයෝජකයින් මෙම ඇප් එක "ට්විටර් මාරයා" ලෙස හැඳින්වීය.

How Threads will look at its launch

ඡායාරූප මූලාශ්‍රය, Meta

ඡායාරූප ශීර්ෂ වැකිය, සබැඳි, ඡායාරූප සහ වීඩියෝ ඇතුළත් පෝස්ට් ත්‍රෙඩ්ස් සහ ඉන්ස්ටග්‍රෑම් අතර බෙදාගත හැකි ය

සෙනසුරාදා, ට්විටර් සමාගමේ ප්‍රධානියා වන ඊලොන් මස්ක් තම වේදිකාව තුළ දිනකට පරිශීලකයින්ට දැකිය හැකි ට්වීට් ගණන සීමා කළේ, "ට්විටර්හි අඩංගු දත්ත අනවසරයෙන් වෙනත් පාර්ශව එක් රැස් කිරීම" යන්න හේතුවක් ලෙස දක්වමිනි.

මුදල් ගෙවා ලබාගත යුතු ට්විටර් සේවාවක් වන 'ට්විටර් බ්ලූ' (Twitter Blue) වෙත ලියාපදිංචි වීම සඳහා පරිශීලකයින් නැඹුරුකර ගැනීමට උත්සහ කරන මස්ක්ගේ නවතම පියවර එය විය.

තම ජනප්‍රිය පරිශීලක පාලක පුවරුව වන TweetDeck, තවත් දින 30කින් මුදල් ගෙවීමකින් පසු පමණක් භාවිත කළ හැකි බවට ද ට්විටර් සමාගම නිවේදනය කළේ ය.

මස්ක් ටිව්ටර් සමාගම මිලට ගත් දා සිට එය භාවිත කරන්නන් බොහෝ දෙනෙකු එම සමාජ මාධ්‍ය වේදිකාව සහ ඔහුගේ කළමනාකාරීත්වය පිළිබඳ අතෘප්තිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ, අනපේක්ෂිත හැසිරීම් සහ ඔහුගේ දේශපාලන මතවාද හේතු ලෙස දක්වමිනි.

පසුගිය මාසයේ, මස්ක් සහ මෙටා ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් මුහුණට මුහුණ සටන් වැදීමට (ඇතැම් විට විහිළුවට) එකඟ වූ අතර, සකර්බර්ග් ත්‍රෙඩ්ස්හි පළ කළ මුල් ම පෝස්ට්වල මිශ්‍ර සටන් කලාවන් කෙරෙහි ඔහු දක්වන උනන්දුව පිළිබඳව සඳහන් කර තිබිණි.

එක්සත් රාජධානියේ ත්‍රෙඩ්ස් බාගත කර හැකි වුව ද, විශේෂයෙන් ම යුරෝපා සංගමයේ රටවල් තුළ ඩිජිටල් වෙළෙඳපොළ පනත වටා ඇති නියාමන අවිනිශ්චිතතාව හේතුවෙන්, එම රටවල්වල ත්‍රෙඩ්ස් බාගත කිරීමට නොහැකි ය.

නමුත්, එම ඇප් එක යුරෝපා සංගමයට අයත් රටවල්වල දියත් කිරීමට බලාපොරොත්තු වන බව සමාගම පවසයි.

ඉහත කී පනත මඟින් මෙටා වැනි දැවැන්ත සමාගම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකා අතර දත්ත හුවමාරුකර ගන්නා ආකාරය පිළිබඳ නීති පනවා ඇත. ත්‍රෙඩ්ස් සහ ඉන්ස්ටග්‍රෑම් අතර දත්ත හුවමාරු කර ගැනීම එම ගැටලුවේ කොටසකි.

පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම එහි ව්‍යාපාරික මෙහෙයුම්වල අත්‍යවශ්‍ය අංගයක් බව මෙටා සමාගම ප්‍රකාශ කරයි.

අතිරේක වාර්තාකරණය මැක්ස් මැට්සා සහ ජෝර්ජ් බෝඩන් විසිනි