ට්විටර් සමාගම ඔබ දකින ට්විට් ගණන සීමා කරන්නේ ඇයි?

Elon Musk's Twitter profile is seen on a smartphone placed on printed Twitter logos in this picture illustration taken April 28, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ජේම්ස් ක්ලේටන්
    • Role, උතුරු ඇමෙරිකාවේ තාක්ෂණික වාර්තාකරු

පරිශීලකයින්ට කියවිය හැකි ට්විටර් පණිවිඩ (tweets) ගණන සීමා කිරීම ට්විටර් සමාගම පසුගිය සෙනසුරාදා ආරම්භ කළේ ය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊලොන් මස්ක් සඳහන් කළේ, දිනකට තහවුරු නොකළ ගිණුමක් ඇති පරිශීලකයින්ට ට්විට් 1,000ක් ද තහවුරු කළ ගිණුමක් ඇති පරිශීලකයින්ට 10,000ක් කියවිය හැකි බව ය.

ඒත් සමග තමන්ට දිනකට කියවිය හැකි ට්විටර් පණිවිඩ ගණන "ඉක්මවා" ගිය බව සඳහන් පණිවිඩ ඇතුළත් තිර රූප (screengrabs) බෙදා ගැනීමට පරිශීලකයෝ පටන් ගත්හ.

පරිශීලක ක්‍රියාකාරකම් සීමා කරමින් ඊලොන් මස්ක් සමාජ මාධ්‍ය සමාගමකින් අපේක්ෂා කළ නොහැකි දෙයක් කරමින් සිටියේ ය.

මෙම පියවර වෙළඳ දැන්වීම් සමාගම්වල ඉහළ තනතුරු දරන්නන් ද ව්‍යාකූලත්වයට පත් කළේ ය.

කෙසේ වෙතත්, මෙය ඊලොන් මස්ක් කෘත්‍රිම බුද්ධි සමාගම් සමග නිරත දිගු සටනක කොටසකි.

ට්විටර් සමාගම සත්‍ය වශයෙන් ම මුදල් උපයන්නේ කෙසේ දැයි අපි මුලින් සොයා බලමු. එහි ආදායමෙන් අතිමහත් බහුතරයක් මෙටා සහ ගූගල් මුදල් උපයන ආකාරයට ම වෙළෙඳ දැන්වීම්වලින් පැමිණෙයි.

පරිශීලකයන් ඒ වෙත පිවිසෙන විට, ඔවුන්ට දැන්වීම් පෙන්වීම සිදු කරයි. ඔවුන් ට්විටර්හි ගත කරන කාලය වැඩි වීම යනු, ඔවුන් දකින වෙළෙඳ දැන්වීම ගණන ද වැඩි වීම ය. මෙම සමීකරණය ඉතා සරල එකකි. ව්‍යාපාරය එය යි.

කෙසේ වෙතත්, ඊලොන් මස්ක් සම්ප්‍රදායිකව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයෙන් වැළකී සිට තිබේ. ටෙස්ලා සමාගම ප්‍රචාරණ කටයුතු නොකරන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

2019 වසරේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, "මට වෙළෙඳ දැන්වීම් පේන්න බෑ" යනුවෙනි.

එසේ තිබියදී ත් ඔහු වෙළෙඳ දැන්වීම් මත සම්පූර්ණයෙන් ම යැපෙන සමාගමක් මිල දී ගෙන ඇත.

එබැවින්, ඊලොන් මස්ක් ආදායම් උත්පාදනය කිරීමේ වෙනත් මාර්ග සෙවීමේ දැඩි ප්‍රයත්නයක නිරත වී සිටියි.

මෙය ව්‍යාපාරික තීරණයක් පමණක් ම නොවෙයි. ඔහු විශ්වාස කරන්නේ, පරිශීලකයින්ගේ හැසිරීම නියාමනය අතින් ගත් කල දැන්වීම්කරුවන් වෙතින් සමාජ මාධ්‍ය සමාගම් කෙරෙහි ඕනෑවට වඩා බලපෑමක් එල්ල වන බව ය.

දැන්වීම්කරුවන්ට ට්විටර් වෙත මුදල් ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යාමට හෝ එය නවතා දැමීමට හැකියාව තිබේ.

දැන්වීම්කරුවන්ට ඔවුන්ගේ දැන්වීම් වර්ගවාදී හෝ අන්තවාදී අන්තර්ගතයන්වලට පසෙකින් ප්‍රචාරය කිරීමට අවශ්‍ය නැත. එබැවින් ට්විටර්හි ප්‍රධාන ආදායම් ප්‍රවාහය එය තුළ "භාෂණයේ නිදහස" සඳහා කොපමණ ප්‍රමාණයක් ඉඩ දෙනවා ද යන්න කෙරෙහි බලපෑමක් ඇති කරයි.

මස්ක් අප්‍රේල් මාසයේදී මා වෙත පැවසුවේ "බොහෝ දැන්වීම්කරුවන්" ඔහු ට්විටර් සමාගම පවරා ගැනීමෙන් පසු යළි ඒ වෙත පැමිණ තිබුණේ මුලදී දැන්වීම් ලබා දීම තාවකාලිකව නවතා දමා තිබුණු පසුබිමක බව ය.

කෙසේ වෙතත්, ට්විටර් ලාභ ලබන සමාගමක් බවට පත් කිරීමට මස්ක්ට තවත් සැලසුමක් තිබේ.

ට්විටර් සතුව ඇති අතිවිශාල දත්ත ප්‍රමාණයෙන් මුදල් ඉපයීමට ඔහුට අවශ්‍ය ය.

ට්විටර් සහ රෙඩිට් වැනි සාමාජ මාධ්‍ය වේදිකාවල සැබෑ මානව සංවාද බිලියන සිය ගණනක් අන්තර්ගත වන අතර, කෘත්‍රිම බුද්ධි සමාගම් සඳහා නිධානයක් බඳු ඇදහිය නොහැකි සම්පතක් පවතියි.

විශාල භාෂා ආකෘතිවලට (LLMs), මෙම අන්තර්ක්‍රියා මගින් ඉගෙන ගත හැකි අතර එමගින් මානව ස්වරූපයට වඩා ත් සමාන වන අයුරින් ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට මග පෑදිය හැකි ය.

නමුත් මේ ආකාරයෙන් ඔවුන්ගේ දත්ත භාවිත කරන්නේ නම්, ට්විටර් සහ රෙඩිට් වැනි සාමාජ මාධ්‍ය වේදිකා ගෙවීමක් අපේක්ෂා කරයි.

අප්‍රේල් මාසයේදී රෙඩිට්හි ප්‍රධාන විධායක ස්ටීව් හෆ්මන් නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසුවේ, කෘත්‍රිම බුද්ධි සමාගම්වල ක්‍රියා පිළිවෙත පිළිබඳව තමා අසතුටින් පසුවන බව ය.

"රෙඩිට් සතුව ඇති දත්ත සමුදාය ඇත්තට ම ගොඩක් වටිනවා," ඔහු පැවසීය. "හැබැයි අපට එම වටිනා දත්ත සියල්ල ම ලෝකයේ විශාලතම සමාගම් කිහිපයකට නොමිලේ ලබා දෙන්න අවශ්‍යතාවක් නැහැ."

ඒ අතර ම, ඊලොන් මස්ක් පැවසුවේ, මයික්‍රොසොෆ්ට් සමාගම "ට්විටර්හි අඩංගු දත්ත අනවසරයෙන් ලබා ගෙන, දැන්වීම් ඉවත් කර, පසුව අපගේ දත්ත අන් අයට අලෙවි කරන" බව ය.

මස්ක් කෙතරම් කලබලයට පත්වී ඇති ද යන්න සෙනසුරාදා පැහැදිලි විය.

"අපේ දත්ත කොල්ලකමින් තිබුණේ," ඔහු පැවසීය.

"ආරම්භක මට්ටමේ ඉන්න සමාගම්වල ඉඳලා මේ පෘථිවියේ තියෙන විශාලතම සමාගම් දක්වා කෘත්‍රිම බුද්ධිය එක්ක වැඩ කරන හැම සමාගමක් ම පාහේ විශාල දත්ත ප්‍රමාණයක් හූරගෙන කමින් සිටියේ," ඔහු පැවසීය.

එබැවින්, භාවිතය සීමා කිරීමෙන්, ඊලොන් මස්ක් බලාපොරොත්තු වන්නේ, එහි දත්ත විශාල භාෂා ආකෘති (LLMs) වෙත ඇදී යාම වැළැක්වීම ය. ඔහුට අවශ්‍ය වන්නේ, කෘත්‍රිම බුද්ධි සමාගම් සමග සාකච්ඡා කර ඔවුන් ගන්නා අන්තර්ගතයන් සඳහා මුදල් අය කර ගැනීමට ය.

මෙටා සමාගමේ ට්විටර් ක්ලෝනය?

නමුත් වෙනත් සාධක ද ක්‍රියාත්මක විය හැකි අතර, එය ට්විටර් වෙළෙඳ ප්‍රචාරණ ආදායම මත යැපීම අඩු කිරීමට ඔහුගේ තවත් එක් උත්සහයක් වෙත ආපසු ඇදී යයි.

ට්විටර් පරිශීලනය සඳහා මිනිසුන් වෙතින් මුදල් අය කර ගැනීමට මස්ක් තුළ දැඩි අවශ්‍යතාවක් පවතියි.

මාස ගණනාවක් තිස්සේ ඔහු ට්විටර් බ්ලූ වෙත මිනිසුන් නැඹුරු කර ගැනීමට උත්සහ කළේ ය. ට්විටර් බ්ලූ සාමාජිකයින්ට ප්‍රතිලාභයක් ලෙස බ්ලූ ටික් එකක් සහ ගිණුම සත්‍ය ගිණුමක් බවට තහවුරු කර දීම හිමි වන අතර මුදල් නොගෙවන පරිශීලකයින්ගෙන් සඳහා තහවුරු කිරීම ඉවත් කිරීම සිදු වේ.

නමුත් ට්විටර් බ්ලූ ඊලොන් මස්ක් බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවිණි. මිනිසුන් විශාල ගණනක් ඒ වෙනුවෙන් මුදල් වැය කළේ නැත.

ඇතැම් විට ඔහු පරිශීලකයින්ට ඔවුන්ගේ මුදල් පසුම්බි විවෘත කිරීමට වෙනත් ක්‍රමයක් සොයමින් සිටිනවා විය හැකි ය. අනාගතයේදී, අසීමිතව ට්විටර් පණිවිඩ වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය නම්, සමහර විට ඔබට මාසික ගාස්තුවක් ගෙවීමට සිදුවේවි ද?

මස්ක් කුමක් සිතුව ද, එක් දෙයක් නම් පැහැදිලි ය. ට්විටර් පණිවිඩ සීමා කිරීම දැන්වීම්කරුවන්ට එතරම් යහපත් ලෙස බලනොපායි.

ට්විටර්හි ඇති "අවුල්" නිසා දැනටමත් කම්පනයට පත්ව ඇති පරිශීලකයින් සහ දැන්වීම්කරුවන් සඳහා මෙම සීමා "දැඩි ලෙස අහිතකර" බව ෆොරෙස්ටර්හි පර්යේෂණ අධ්‍යක්ෂ මයික් ප්‍රොල්ක්ස් රොයිටර්ස් වෙත පැවසීය.

මෙය ඇතැම් විට ඊලොන් මස්ක්ගේ සීමාවන්ගේ වඩාත් ම ව්‍යාකූල කොටස විය හැකි ය. ඔහු මෑතකදී ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරීවරිය ලෙස ලින්ඩා යාකරීනෝව බඳවා ගෙන තිබේ. ඇය වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හිටපු විධායක නිලධාරිනියකි.

තිරය පුරා දර්ශනය වන වීඩියෝ දැන්වීම් යොදා ගැනීම සහ යෙදුම භාවිත කිරීමට තව ත් ප්‍රසිද්ධ පුද්ගලයින් නැඹුරු කර ගැනීමට උත්සහ කිරීම ඇතුළුව ට්විටර් සමාගමට වැඩි වශයෙන් මුදල් ඉපයිය හැකි ආකාර පිළිබඳව ඇයට මහා පරිමාණයේ අදහස් ඇති බවට වාර්තා වෙයි.

ට්විටර් පණිවිඩ සීමා කිරීමෙන් ඇගේ කාර්යභාරය වඩා ත් දුෂ්කර වී ඇත. පොස්ට් කෙරෙහි යොමු වන දෑස් ගණන අඩු වීම යනු, දැන්වීම්කරුවන් මුදල් වැය කිරීමට දක්වන උනන්දුවේ ද අඩු වීමකි.

ඉන් පසුව මෙටා සමාගම තිබේ.

මාර්ක් සකර්බර්ග් මෙම ග්‍රීෂ්ම සෘතුවේදී ත්‍රෙඩ්ස් නමින් හැඳින්වෙන ට්විටර් ක්ලෝනයක් හඳුන්වා දීමට යන බව වාර්තා වේ. එහි ඔබට කියවිය හැකි පොස්ට් ගණන කොපමණ ද යන්න සීමා කිරීමට ඇති ඉඩකඩ ශූන්‍ය වේ. මෙටා අනුගමනය කරන්නේ එම ක්‍රමවේදය නොවෙයි.

ඊලොන් මස්ක් යනු, දැවැන්ත සාර්ථකත්වයක් දරන ව්‍යාපාරිකයෙකු වන අතර, කෘත්‍රිම බුද්ධි සමාගම් එහි දත්ත අනවසරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ අව්‍යාජ වේදනාවකි. නමුත් මෙම සති අන්තයේ සිදුවීම් තවත් හිසට වද දෙන කාරණයක් වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ඊලොන් මස්ක්ගේ අනපේක්ෂිත බීබීසී සම්මුඛ සාකච්ඡාව... තත්පර 90කින්