ටයිටන් සබ්මැරීනය: සුන්බුන් අතර මිනිස් ශරීර කොටස් ඇති බවට අනුමානයක්

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් ශරීර කොටස් බවට අනුමාන කෙරෙන ද්‍රව්‍ය හමුවී ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසයි.

ටයිටැනික් නෞකාව වෙත ගමන් කරමින් සිටියදී පුපුරා ගිය සබ්මැරීනයේ කොටස් බදාදා (ජූනි 28) කැනඩාවේ සේන්ට් ජෝන්ස්හි දී ගොඩට ගනු ලැබිණි.

සුන්බුන් අතර තිබී සබ්මැරීනයේ ගොඩබෑමේ සැකිල්ල (landing frame) සහ පසුපස ආවරණය සොයාගත් බව නිලධාරීහු පවසති.

එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් විසින් එහි සිටි පුද්ගලයින්ගේ බවට අනුමාන කෙරෙන ශරීර කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇතැ යි වෙරළාරක්‍ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම ආයතනය සිටින්නේ මෙම ඛේදවාචකයට හේතු වූ කරුණු පිළිබඳව සොයා බලන විමර්ශනවල මුල් අදියරේ ය. වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය (MBI), වැඩිදුර විශ්ලේෂණය සහ පරීක්ෂණ සඳහා එම කොටස් එක්සත් ජනපද වරායක් වෙත ගෙන යාමට නියමිත ය.

MBIහි ප්‍රධානී කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "ටයිටන් සබ්මැරීනය ව්‍යසනකාරී ලෙස අහිමිවීමට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීම සඳහා තවමත් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් සිදුකළ යුතුව ඇති" බව ය.

"ගොඩබිම ඉඳලා සෑහෙන දුරකිනුත්, මුහුදු පතුලේත් තිබුණු මේ සිද්ධියට සම්බන්ධ ඉතාමත් වැදගත් සාක්ෂි සොයා ගන්න වගේ ම, ඒවා සංරක්ෂණය කර ගන්න සම්බන්ධීකරණ කටයුතු කරමින් සහය දක්වපු ජාත්‍යන්තර සහ රජයේ ආයතන වෙත මගේ ස්තූතිය පළ කරනවා," කැප්ටන් නියුබවර් පැවසීය.

උතුරු අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800ක් ගැඹුරේ පිහිටි, 1912 වසරේදී මුහුදුබත් වුණු ලෝක ප්‍රකට නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගමන් කළ යාත්‍රාවේ සිටි පුද්ගලයෝ පස් දෙනා ම ගමන ආරම්භ කර මිනිත්තු 90ක් පමණ කාලයකදී සිදු වූ පිපිරීමකින් ජූනි 18 වන දින ජීවිතක්ෂයට පත් වූහ.

එහි ගමන් කරමින් සිටි මඟීන් වූයේ, එම සංචාරය සංවිධානය කළ ඕෂන්ගේට් සමාගමේ ප්‍රධානියා වූ 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්; බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු වූ 58 හැවිරිදි හේමිෂ් හාඩින්ග්; 48 හැවිරිදි ෂෙහෙසාදා ඩවූඩ් හා 19 හැවිරිදි ඔහුගේ පුත් සුලේමාන් ඩාවුඩ් සහ ප්‍රංශ කිමිදුම්කරුවෙකු වූ 77 හැවිරිදි පෝල්-ඔන්රි නාජලෙට් ය.

ඔවුන් අතරින් කිසිවෙකුගේ හෝ මළ සිරුරක් ගොඩගනු හැකිවේදැ යි නිලධාරීන් මීට පෙර පසු වූයේ සැකයකිනි.

"මුහුදු පතුලේ තියෙන්නේ ඇදහිය නොහැකි ත‍රම් අභියෝගකාරී තත්ත්වයක්," වෙරළාරක්ෂක බලකායේ අද්මිරාල් ජෝන් මෝගර් පැවසුවේ, යාත්‍රාව හානියට පත්ව ඇතැ යි තහවුරු වී ස්වල්ප මොහොතකට පසුව ය.

කපිතාන් නියුබවර් එම අවස්ථාවේදී පැවසුවේ, මිනිස් ශරීර කොටස් සොයා ගැනීමක් සිදුවුවහොත් විමර්ශකයින් "සියලු පූර්වාරක්ෂක පියවර" ගනු ඇති බව ත්, ඒ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණය, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහිත විධිමත් විභාගයක් සහිතව සිදු කෙරෙනු ඇති බව ත් ය.

ටයිටැනික් නෞකාව අසල ඇති සුන්බුන් රැසක් අතර තිබී මේ දක්වා සබ්මැරීනයේ ප්‍රධාන කොටස් පහක් සොයාගෙන ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන පරිදි, බදාදා ගොඩබිමට ගෙන ආ සුන්බුන් අතරට අවම වශයෙන් එක් ටයිටේනියම් එන්ඩ් කැප් එකක්, සබ්මැරීනයේ ජනෙල් කොටස නොමැති රවුම් පැහැති කවුළුව මෙන් ම ටයිටේනියම් වළල්ලක්, ගොඩබෑමේ සැකිල්ල සහ සබ්මැරීනයේ විවිධ උපකරණ ගබඩා කර තිබුණු කොටස ඇතුළත් ය.

සුන්බුන් ගොඩගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ, පෙලජික් රීසර්ච් සර්විසස් විසින් දූරස්ථව මෙහෙයවන ලද යාත්‍රාව රැගෙන ගිය කැනේඩියානු නෞකාවක් වන හොරයිසන් ආක්ටික් නෞකාවේ සිට ය. එම සමාගම බදාදා උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, තම කණ්ඩායම වෙරළෙන් පිටත මෙහෙයුම් අවසන් කර නැවත පැමිණෙමින් සිටින බව ය.

ආරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් ඕෂන්ගේට් සමාගම විවේචනයට ලක්ව ඇති අතර ටයිටන් සබ්මැරීනය නියාමනය ලක් නොවීම සම්බන්ධයෙන් එහි හිටපු සේවකයින් කනස්සල්ල පළ කර ඇත.

බීබීසී විසින් නිරීක්ෂණය කරන ලද විද්‍යුත් තැපැල් පණිවිඩවල, ආරක්ෂාව සම්බන්ධයෙන් එක් විශේෂඥයෙකු විසින් මතු කරන ලද ගැටලු, රෂ් මීට පෙර ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන් "නවෝත්පාදන කටයුතු නවත්තන්න ආරක්ෂාව කියන හේතුව භාවිත කරන්න උත්සහ ගන්න කර්මාන්තයේ ඉන්න මිනිස්සු නිසා වෙහෙසට පත්ව සිටින" බව කියා සිටියේ ය.

ඕෂන්ගේට් සමාගමේ තවත් හිටපු සේවකයෙකු ද පරීක්ෂණ වාර්තාවක් ලියා ඇති අතර, එහි සබ්මැරීනයේ බඳ පරීක්ෂා කර ඇති ආකාරය ඇතුළුව "ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ඇති කරන ගැටලු රාශියක්" පිළිබඳව සඳහන් කර ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඕෂන්ගේට් සමාගම පසුගිය සතියේ ප්‍රකාශ කළේ, "මෙම අහිමිවීම නිසා වෙහෙසට පත්ව සිටින සහ මහත් ශෝකයෙන් සිටින අපගේ සේවකයින්ට මෙය අතිශය කණගාටුදායක කාලයක්" බව ය.