හේමිෂ් හාඩින්ග්, ෂෙහෙසාදා ඩවූඩ් සහ පුතු සුලේමාන්:ටයිටැනික් සබ්මැරීනයේ සිටියේ කවුද?

    • Author, මරී ජැක්සන් සහ මැතිව් ඩේවිස්
    • Role, බීබීසී පුවත්

අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ සිටි මඟීන් පස්දෙනා ම මියගොස් ඇති බවට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබේ.

නිලධාරීන් පවසන්නේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් අසල දී යාත්‍රාවේ කොටස් තිබී සොයාගත් බව ය.

එම සුන්බුන් සහ "යාත්‍රාව ව්‍යසනකාරී ලෙස අභ්‍යන්තරයට හැකිලී යාම" එකිනෙකට ගැලපෙන බව රියර් අද්මිරාල් ජෝන් මෝගර් බ්‍රහස්පතින්දා (ජූනි 22) පැවසීය.

සබ්මැරීනය හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද, ප්‍රකෝටිපති බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු, ප්‍රංශ කිමිදුම්කරුවෙකු සහ පියෙකු හා පුතෙකු ද එහි ගමන්කර තිබේ.

සාගරයේ "දැඩි අභියෝගකාරී පරිසරය" හේතුවෙන් ඔවුන්ගේ සිරුරු ගොඩගැනීමට හැකිවේ ද යන්න තහවුරු කළ නොහැකි බව මෝගර් පැවසීය.

මේ, අප ඔවුන් ගැන ගන්නා දේ ය.

ස්ටොක්ටන් රෂ්, 61

ස්ටොක්ටන් රෂ්, ටයිටැනික් වෙත යන මුහුදු ගමන් ක්‍රියාත්මක කරන ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, අනතුරට ලක් වූ සබ්මැරීනයේ ඔහු ද සිටි බවට එම සමාගම තහවුරු කළේ ය.

ඔහු මීට පෙර පර්යේෂණාත්මක ගුවන් යානයක් නිර්මාණය කර ඇති අතර අනෙකුත් කුඩා සබ්මැරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කළ පළපුරුදු ඉංජිනේරුවරයෙකි.

රෂ්, සේවාදායකයින්ට ගැඹුරු මුහුදේ සංචාරය කිරීමට අවස්ථාවක් උදා කරන [ඕෂන්ගේට්] සමාගම 2009 වසරේ දී ආරම්භ කරන ලද අතර, 2021 වසරේ දී ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා සංචාර ආරම්භ කිරීමත් සමග ලොව පුරා මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වන මාතෘකාවක් බවට පත් විය.

ඇමෙරිකානු ඩොලර් 250,000ක (ශ්‍රී ලංකා රුපියල් 77,164,275 පමණ) මුදලකට එම සමාගම මඟීන්ට ලෝක ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් සමීපයට ගොස් නැරඹීමට අවස්ථාව සලසයි.

සහභාගීවන්නන්ට විශාල නෞකාවකින් කිලෝමීටර් 595ක් පමණ දුරක් සුන්බුන් ඇති මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමට සිදුවන අතර, ඉන්පසු 'ටයිටන්' ලෙස හඳුන්වන ට්‍රක් රථයක ප්‍රමාණයේ සබ්මැරීනයට නැගී ටයිටැනික් නෞකාව වෙත පැය අටක කාලයක් දිය ගැඹුරට ගමන් කිරීමට සිදු වේ.

2022 වසරේ දී නිව් යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් ඔහු තම ව්‍යාපාරික ආකෘතිය සාධාරණීකරණය කළ අතර, ප්‍රවේශපත්‍රවල මිල "අභ්‍යවකාශයට යාමට යන වියදමෙන් කොටසක් බව ත්, අපට මේ නැව්වලින් එහි යාමට අධික මුදලක් වැය වන" බව ත් පැවසීය.

ඔහු අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවියේ 2017 වසරේ දී පළ වූ ලිපියක සඳහන් වී තිබුණේ, ඕෂන්ගේට් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සෑම කිමිදුම් සංචාරයකට ම රෂ් සහභාගී වන බව ය.

ස්ටොක්ටන් රෂ්, 1912 වසරේ ටයිටැනික් නෞකාව අනතුරට ලක් වූ අවස්ථාවේ දී කාන්තාවන්ට සහ දරුවන්ට දිවි ගලවා ගැනීමට ඉඩ දී මරණය වැළඳගත් ඉසිඩෝර් සහ අයිඩා ස්ට්‍රවුස්ගේ මී මිණිබිරිය වන වෙන්ඩි රෂ් සමග විවාහ වී සිටියේ ය.

හේමිෂ් හාඩින්ග්, 58

මෙම බ්‍රිතාන්‍ය වික්‍රමාන්විතයා ඩුබායිහි පිහිටා ඇති පෞද්ගලික ජෙට් යානා අලෙවි නියෝජිත ආයතනයක් වන ඇක්ෂන් ඒවියේෂන් සමාගමේ හිමිකරු වූ අතර, ගවේෂණ කිහිපයක ද නිරත වූ අයෙකු විය.

ඔහු දක්ෂිණ ධ්‍රැවයට කිහිප වතාවක් සංචාරය කළේ ය. වරක් ඔහු හිටපු ගගනගාමී බස් ඕල්ඩ්‍රින් සමග සහ 2022 වසරේ දී බ්ලූ ඔරිජින්හි මිනිසුන් ගමන් කළ පස්වන යානයෙන් අභ්‍යවකාශය වෙත ගමන් කළේ ය.

ඔහු මරියානා ආගාධයේ ගැඹුරු ම කොටසේ සිදු කළ කිමිදීමක් අතරතුර සාගරයේ ගැඹුරු ම ස්ථානයේ දීර්ඝතම කාලයක් ගතකිරීම ඇතුළුව ගිනස් ලෝක වාර්තා තුනක් තබා ඇත.

2022 ගිම්හානයේ දී ඔහු බිස්නස් ඒවියේෂන් සඟරාවට පැවසුවේ, තමන් හොංකොංහි හැදී වැඩුණු බව ත්, කේම්බ්‍රිජ්හි ඉගෙනුම ලබමින් සිටිය දී 1980 ගණන්වල මැදභාගයේ දී ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබූ බව ත් ය. අනතුරුව බැංකු කටයුතු සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකින් ඉපැයූ මුදල්වලින් තමන් ගුවන් යානා සමාගම ආරම්භ කළ බව ඔහු සඳහන් කර තිබේ.

ටයිටැනික් වෙත කිමිදීම 2022 ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිතව තිබූ නමුත් "ඊට පෙර සිදු කළ කිමිදීමකදී සබ්මැරීනයට අවාසනාවන්ත ලෙස හානි වීම" හේතුවෙන් එම සංචාරය ප්‍රමාද වූ බව ඔහු පැවසීය. එම අනතුරේ දී කිසිවෙකුට හානි සිදු නොවූබව ද ඔහු පැවසීය.

ගවේෂණ සඳහා ඔහු තුළ ඇති ආශාව ගැන විමසූ විට ඔහු මෙසේ කියා සිටියේ ය: "මගේ අදහස නම්, මේ හැම දේකම තක්සේරු කළ අවදානමක් තියෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිව තමයි අපි ඒවා පටන් ගන්නේ."

පසුගිය සති අන්තයේ ඔහු ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ, මෙහෙයුම් ආරම්භ වූ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා "2023 වසරේදී සිදුවන පළමු සහ එක ම මෙහෙයුම එය විය හැකි" බව ය.

පසුව, ඔහුගේ සුළුපුත් බ්‍රයන් සාස් ෆේස්බුක්හි පළ කළ (නමුත් දැන් ඉවත් කර ඇති) සටහනක සඳහන් කර තිබුණේ, "(එම) සබ්මැරීනයේ ගමන් කරමින් සිටි තම සුළුපියා අතුරුදහන් වී ඇති" බව ය.

සමුද්‍ර විද්‍යාඥයෙකු සහ ගවේෂණ චාරිකා මෙහෙයවන්නෙකු වන ඔහුගේ මිත්‍ර ඩේවිඩ් මර්න්ස්, හාඩින්ග් පිළිබඳව විස්තර කළේ, ඔහු අතිශය වික්‍රමාන්විත ක්‍රියා සඳහා ඇලුම් කළ "ඉතා ආකර්ෂණීය පුද්ගලයෙකු" ලෙස ය.

බ්‍රිතාන්‍ය සංචාරක නියෝජිතයෙකු වන වයිට් ඩෙසර්ට් ඇන්ටාක්ටිකාහි නිර්මාතෘ පැට්‍රික් වුඩ්හෙඩ් පැවසුවේ හාඩින්ග් "විශිෂ්ට" ගුවන් ගවේෂකයෙකු බව ත් හාඩින්ග්ගේ බිරිඳ ලින්ඩා සහ ඔහුගේ පුතුන් වෙත තම කණගාටුව පළ කරන බව ත් ය.

විශ්‍රාමික නාසා ගගනගාමියෙකු වන ටෙරී වර්ට්ස්, ඔහුගේ මිතුරා වික්‍රමවලට හා ගවේෂණවලට ප්‍රිය කළ "ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු" මිස ඇඩ්‍රිනලින් උත්තේජනය වෙනුවෙන් එම ක්‍රියාවන්හි නොයෙදුණු අයෙකු බව ත් පැවසුවේ ය.

"සමහර අය නෙට්ෆ්ලික්ස් බලනවා, සමහර අය ගොල්ෆ් සෙල්ලම් කරනවා, හේමිෂ් සාගර පතුලට හෝ අභ්‍යවකාශයට යනවා. ඒ වගේ තමයි ඔහු ලෝකෙ වටේ පියාසර කරමින් ලෝක වාර්තා තියනවා," ඔහු බීබීසී රේඩියෝ 4 ටුඩේ වැඩසටහන වෙත පැවසීය.

ඔහු හා සබ්මැරීනයේ ගමන් ගත් පෝල්-ඕන්රි නාජලෙට් ද ඔහු ද එක්ස්ප්ලෝරර් ක්ලබ්හි සාමාජිකයෙකු විය. එය ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි සහ ඇමීලියා එයර්හාර්ට් ඇතුළු සාමාජිකයින් සිටි සියවසක් පැරණි, එතරම් ජනප්‍රිය නොවන ගවේෂණ කණ්ඩායමකි.

එහි සභාපති රිචර්ඩ් ගැරියට් ඩි කායෝ පැවසුවේ, පසුගිය සතියේ පැවති ගෝලීය ගවේෂණ සමුළුවේ රැස්වීමක දී මෙම ගවේෂණය පිළිබඳ හාඩින්ග්ගේ උද්යෝගය කැපී පෙනෙනු බව ය.

ෂෙහෙසාදා ඩවූඩ්, 48 හා සුලේමාන් ඩවූඩ්, 19

බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ෂෙහෙසාදා ඩවූඩ් පාකිස්ථානයේ ධනවත් ම පවුලකින් පැවත ආවෙකි. ඔහු ශිෂ්‍යයෙකු වන සිය පුතු සුලේමාන් සමග සබ්මැරීනයේ ගමන් කරමින් සිටියේ ය.

ඩවූඩ් ඔහුගේ බිරිඳ ක්‍රිස්ටීන් සහ අනෙකුත් දරුවා වන ඇලිනා සමග එක්සත් රාජධානියේ නිරිතදිග ලන්ඩනයේ සර්බිටන්හි දිවි ගෙවීය. ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගව්ෂණය කිරීමට යාමට පෙර ඔවුන් කැනඩාවේ මාසයක පමණ කාලයක් ගතකර තිබුණි.

ෂෙහෙසාදා, ප්‍රමුඛ පෙළේ පාකිස්ථාන පොහොර සමාගමක් වන එන්ග්‍රෝ කෝපරේෂන් ව්‍යාපාර සමූහයේ උපසභාපතිවරයා විය.

ඔහු තම පවුලේ ඩවූඩ් පදනමේ මෙන් ම, කැලිෆෝනියාවේ පිහිටි, පිටසක්වල ජීවය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන SETI සමග ද කටයුතු කළේ ය.

ෂෙහෙසාදා, තෙවන චාල්ස් රජු විසින් ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය ආසියානු භාරය සහ ප්‍රින්ස් ට්‍රස්ට් ඉන්ටර්නැෂනල් යන පුණ්‍යායතන දෙකේ ආධාරකරුවෙකු ද විය.

මාළිගාවේ ප්‍රකාශකයෙකු මීට පෙර පැවසුවේ, රජු සබ්මැරීනයේ ගමන් කළ සියලුදෙනා මුදා ගැනීමට හැකි වනු ඇතැ යි "ප්‍රර්ථනා" කරන බව ය.

ෂෙහෙසාදා "විවිධ ස්වභාවික පරිසර පද්ධති ගවේෂණය කිරීමට" උනන්දුවක් දක්වන බව ත්, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සහ ඔක්ස්ෆර්ඩ් සංගමයේ දී දේශන පවත්වා ඇති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසීය.

ඔහු එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාහි දී සහ එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලද අතර 1998 වසරේ දී එම විශ්වවිද්‍යාලයයෙන් උපාධිය ලැබී ය.

සුලේමාන් ග්ලාස්ගෝහි ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික පාසලේ පළමු වසර සම්පූර්ණ කළ ශිෂ්‍යයෙකු විය.

පවුල විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක මෙම යෞවනයා පිළිබඳව විස්තර කර තිබුණේ, "විද්‍යා ප්‍රබන්ධ ගැනත්, අලුත් දේ ඉගෙනීමටත් දැඩි උනන්දුවක්" ඇති අයෙකු ලෙස ය. ඔහු රුබික් කැට සහ වොලිබෝල් ක්‍රීඩා කිරීමට උනන්දුවක් ඇති අයෙකු ලෙස ද විස්තරකර තිබුණි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු මෑතක දී එක්සත් රාජධානියේ සරේහි ඒසීඑස් ඉන්ටර්නැෂනල් ස්කූල් කාබම් වෙතින් උපාධිය ලබා ගෙන ඇත.

පෝල්-ඕන්රි නාජලෙට්, 77

ප්‍රංශ නාවික හමුදාවේ හිටපු කිමිදුම්කරුවෙකු වූ නාජලෙට් ද සබ්මැරීනයේ සිටියේ ය.

'මිස්ටර් ටයිටැනික්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඔහු වෙනත් කිසිදු ගවේෂකයෙකුට වඩා වැඩි කාලයක් ටයිටැනික් සුන්බුන් අසල කාලය ගෙවා ඇතැ යි වාර්තා වන අතර, ටයිටැනික් සුන්බුන් සොයාගැනීමෙන් වසර දෙකකට පසු 1987 වසරේ දී සිදු කළ පළමු ගවේෂණයේ කොටස්කරුවෙකු ද විය.

ඔහු ටයිටැනික් නෞකාවේ සුන්බුන්හි අයිතිය හිමි සමාගමේ, දිය යට සිදු කරන පර්යේෂණයන්හි අධ්‍යක්ෂවරයා ද විය.

සමාගමේ තොරතුරුවලට අනුව, නෞකාවේ බඳෙහි ටොන් 20ක් පමණ බරැති කොටසක් වන "විශාල කැබැල්ල" ඇතුළු ටයිටැනික් කෞතුක වස්තු දහස් ගණනක් ගොඩගැනීමේ කටයුතු නාජලෙට්ගේ අධීක්ෂණය යටතේ සිදු වී ඇත.

පවුලේ ප්‍රකාශක මැතිව් ජොහාන්, නාජලෙට් පිළිබඳව විස්තර කරනු ලැබුවේ , ඔහු "ප්‍රංශයේ අපට සුපිරි වීරයෙකු" ලෙස ය.

"ටයිටැනික් නෞකාව, එහි සැලැස්ම, එයට සිදුවූ අනතුර පිළිබඳව දන්න ගෝලීය විශේෂඥයාවන්නේ ඔහු යි. ඔහු ලෝකයේ හතර කොනේ ම කිමිදීලා තියෙනවා," ඔහු රොයිටර්ස් වෙත පැවසීය.

සබ්මැරීනයට ගොඩවීමට සුළු මොහොතකට පෙර, සුන්බුන් අතර ඇති වස්තු ගොඩගැනීම සඳහා ලබන වසරේ දී ගවේෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව නාජලෙට් පැවසූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

රොයිටර්ස් පුවත් සේවයට අනුව, නාජලෙට්ගේ ප්‍රංශ ජාතික බිරිඳ ඈන් එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි දිවි ගෙවන අතර, ඔහුගේ දරුවෝ ප්‍රංශයෙන් පිටත ජීවත්වෙති.

සබ්මැරීනයේ ගමන් ගත් පස් දෙනා ම "සැබෑ ගවේෂකයින්' - ඕෂන්ගේට්

ටයිටන් සබ්මැරීනය තුළ සිටියදී මියගිය පුද්ගලයන් පස් දෙනා "සැබෑ ගවේෂකයන්" බව දිය යට සංචාරය ක්‍රියාත්මක කළ සමාගම පවසා තිබේ.

ඔවුන් සියලුදෙනා "ත්‍රාසජනක අත්දැකීම් සඳහා විශේෂ කැමැත්තක්" තිබූ තැනැත්තන් බව ඕෂන්ගේට් සමාගම ප්‍රකශයක් නිකුත් කරමින් පැවසුවේ ය.

ඔවුන් මියගියේ සබ්මැරීනය ව්‍යසනකාරී ලෙස අභ්‍යන්තරයට හැකිලී යාමමෙන් බවට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විශ්වාස කරයි.

සබ්මැරීනයේ කොටස් බ්‍රහස්පතින්දා සොයා ගන්නා ලද්දේ ටයිටැනික් නෞකාවේ ඇණියේ සුන්බුන්හි සිට දළ වශයෙන් මීටර් 487ක් දුර තිබිය දී ය.

බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පැවසුවේ, හමුවූ සුන්බුන් ටයිටන් සබ්මැරීනයේ බවට විශ්වාස කරන බව ය.

ටයිටන් සබ්මැරීනය විනාශ වීමට හේතුව කුමක් ද යන්න අපැහැදිලි නමුත්, එය ව්‍යසනකාරී ලෙස අභ්‍යන්තරයට හැකිලී යනු එක්සත් ජනපද නාවික හමුදාවට ඇසී ඇතැ යි හෙළිදරව් වී තිබේ.

ටයිටන් සබ්මැරීනය ගොඩබිම සමග සම්බන්ධතා නැති වී ටික වේලාවකට පසුව "පිපිරීමකට අනුරූප වන ධ්වනි විෂමතාවක්" ඔවුන්ගේ උපකරණවල සටහන් වූ බව, නාවික හමුදාවේ නිලධාරියෙක් සීබීඑස් ප්‍රවෘත්ති වෙත පැවසුවේ ය.

යාත්‍රාව අතුරුදහන් වීම, එක්සත් ජනපද, කැනේඩියානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට හේතු විය.

ඕෂන්ගේට් සමාගම පැවසුවේ, "මෙම ගවේෂකයන් පස්දෙනා සොයා ගැනීමට ඔවුන්ගේ කැපවීම සහ අප කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම සඳහා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කිරීම" අගය කරන බව ය.

සුන්බුන් සොයා ගත්තේ කෙසේ ද?

සුන්බුන් සොයා ගනු ලැබුවේ, දූරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන දිය යට ගමන් කළ හැකි සෙවුම් යන්ත්‍ර (ROV) විසිනි.

සබ්මැරීනයේ අග ප්‍රදේශයේ කොටසක් (tail cone) ඇතුළුව, ඒවා ටයිටන්හි සුන්බුන්බව තහවුරු කිරීමට බලධාරීන්ට ඉඩ සැලසූ කොටස් කිහිපයක් සොයා ගැනිණි.

සුන්බුන් එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම - විශේෂයෙන් ප්‍රධාන බඳ කොටස සාදන ලද කාබන් ෆයිබර් මඟින් ව්‍යසනයට හේතුව පිළිබඳව යම් ඉඟියක් ලබා ගත හැකි බව විශේෂඥයින් බීබීසීය වෙත පැවසීය.

"මේක සබ්මැරීනයේ ප්‍රධාන සැකිල්ලේ තිබුණු බරපතළ ගැටලුවක් නිසා සිද්ධ වුණා කියලා හිතුවොත්, මේ සබ්මැරීනය අයිෆල් කුළුණේ බරට සමාන, ඇදහිය නොහැකි තරම් ඉහළ පීඩනයකට, එහෙමත් නැති නම් ටොන් දස දහස් ගණනක පීඩනයකට නතු වෙලා තියෙනවා," සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය බ්ලෙයාර් තෝන්ටන් පැවසීය.

"අපි මේ කතා කරන්නේ ප්‍රධාන සැකිල්ල ඉතා ප්‍රබල ලෙස අභ්‍යන්තරයට පිපිරීම ගැන."

මෙම සතිය මුල දී බලධාරීන් පැවසුවේ, කැනේඩියානු ගුවන් යානා දිය යටින් නිකුත් වූ ශබ්ද නිරීක්ෂණයකර ඇති බව ත්, ඇතැම් විශේෂඥයින් අනුමාන කළ පරිදි එය සබ්මැරීන මඟීන් තවමත් ජීවතුන් අතර සිටින බවට සලකුණක් විය හැකි බව ත් ය.

වෙරළාරක්ෂක බලකාය දැන් විශ්වාස කරන්නේ, එම ශබ්ද සහ මුහුදු පත්ලේ සුන්බුන් සොයාගත් ස්ථානය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ය.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළේ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටා ඇත.