ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් මුහුණ සටනට සුදානම්ද ?
- Author, පීටර් හොස්කින්ස්
- Role, ව්‍යාපාරික වාර්තාකරු
තාක්ෂණික ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට ප්‍රකෝටිපතියන් දෙදෙනෙකු වන ඊලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් මුහුණට මුහුණ සටන් කිරීම සඳහා එකඟ වී තිබේ.
තමන් සකර්බර්ග් සමග "කේජ් ෆයිට් එකකට" (ආවෘත ස්ථානයක මුහුණට මුහුණ සිදුකරන සටන) සූදානම් බව ඊලොන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන ට්විටර්හි පළ කර තිබිණි.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාගම්වල මව් සමාගම වන මෙටාහි අධිපති සකර්බර්ග්, ඊලොන් මස්ක්ගේ ට්විටර් සටහනේ ස්ක්‍රීන්ෂොට් එකක් පළ කර තිබුණේ, "මට තැන කියන්න" යනුවෙන් සටහනක් තබමිනි.
"ඒ ගැන වෙන කතා කරන්න දෙයක් නෑ," මෙටා සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසී පුවත් සේවයට පැවසීය.
සකර්බර්ග්ගේ එම ප්‍රතිචාරයට මස්ක් යළිත් ප්‍රතිචාර දක්වා තිබුණේ, "වේගස් ඔක්ටගන්" යනුවෙනි.
ඔක්ටගන් යනු Ultimate Fighting Championship (UFC) තරග සඳහා යොදා ගන්නා සටන් වළල්ල පිහිටි ස්ථානය යි. Ultimate Fighting තරගාවලිය පැවැත්වෙන්නේ, එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගස්හි ය.
මේ මස අගදී 52 වන වියට පා තබන මස්ක් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි: "මට තියෙනවා නියම සටන් උපක්‍රමයක්. මම ඒක හඳුන්වන්නේ, 'The Walrus' (මුහුදු සිංහයා) කියලා. ඒකෙදි මම කිසි දෙයක් කරන්නෙ නෑ, මගේ ප්‍රතිවාදියාගෙ ශරීරය මත වැතිරිලා ඉන්න එක හැර."
පසුව ඔහු මුහුදු සිංහයින් පිළිබඳ කෙටි වීඩියෝ පෙළක් ට්විටර් ඔස්සේ පළ කර තිබුණු අතර, ඉන් පෙනී ගියේ, ඇතැම් විට ඔහු සකර්බර්ග්ට කළ අභියෝගය සම්පූර්ණයෙන් බරපතළ එකක් නොවන්නට හැකි බව ය.
ඔහු තවදුරට ත් සඳහන් කර තිබුණේ, "මගේ දරුවෝ වඩාගන්න එක ත්, ඔවුන් උඩ දාලා අල්ලන එක ත් හැර මම කොහොමටවත් වෙනත් ව්‍යායාම කරන්නෙ නෑ," යනුවෙනි.
නමුත් මස්ක් ඊයේ (ජුනි 28) පරිගණක විද්‍යාඥයෙකු හා ජු ජිට්සු ශූරියෙකු වන ලෙක්ස් ෆ්‍රීඩ්මන් සමග සටන් පුහුණුවීමක් සිදුකර තිබූ බව ෆ්‍රීඩ්මන් ට්වීට්කර තිබුණි. සටන් කිරීමේ දී මස්ක් දැක්වූ, "ශක්තිය, බලය සහ කුසලතාව ගැන" තමා අතිශයින් පැහැදී සිටිනබව ෆ්‍රීඩ්මන් ට්විටර් පණිවිඩයේ සඳහන් කළේ ය.
ෆ්‍රීඩ්මන් මින් පෙර සකර්බර්ග් සමග ද ජු ජිට්සු පුහුණුවක යෙදී තිබූ අතර, මස්ක් හා පුහුණුවේ යෙදීමට ද තමා බලාපොරොත්තු වන බව එහිදී සඳහන්කර තිබුණි.
තිස් නව හැවිරිදි සකර්බර්ග් දැනටමත් මික්ස් මාර්ෂල් ආර්ට්ස් (MMA) සටන් කලාව පුහුණු වී ඇති අතර මෑතකදී ජු ජිට්සු තරගාවලියෙන් ද ජය ගත්තේ ය.
බීබීසී පුවත් සේවය ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ට්විටර් සමාගම සම්බන්ධ කර ගත්ත ද, ඔවුන් ප්‍රකාශයක් ලබා දුන්නේ නැත.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සටනින් ජය ගන්නේ කවුරුන් ද යන්න පිළිබදව විවාද කිරීම ත් සමග මේ දෙදෙනාගේ සංවාදය වෛරල් වී ඇති අතර, තවත් සමහරුන් සටන සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බව පෙන්වමින් හාස්‍යජනක පෝස්ටර් පළ කර තිබිණ.
උදාහරණයක් වශයෙන් ව්‍යාපාර උපදේශක සෙයි ටේලර් ට්විටර්හි අදාළ තාක්ෂණ ආයතන හිමිකරුවන්ගේ ඡායාරූප පළ කරමින් සටහන් කර තිබුණේ, "ඔබේ සටන්කරු තෝරා ගන්න," යනුවෙනි.
සටන් ක්‍රීඩා මාධ්‍යවේදී නික් පීට් බීබීසී ලෝක සේවයේ One වැඩසටහනට පැවසුවේ, UFC තරගාවලියේ සභාපති ඩේනා වයිට් "සටන පැවැත්වීම ගැන තළු මරමින් සිටිනවා විය හැකි" බව ය.
"බොහෝ විට ඊලොන් මස්ක් ඔහුගේ පෞරුෂය සහ ඔහුගේ විකේන්ද්‍රික චරිත ස්වභාවය නිසා එය සැබවින් ම සිදුවීමට ඉඩකඩක් ඇතැ යි තමා සිතූ," බව ඔහු පැවසීය. "ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් ඇඟවෙන්නේ, ඔහු කැමැත්තෙන් යමක් අත් නොහරින බවයි."
කෙසේ වෙත ත්, ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ඇත්තේ කවුරුන්දැ යි ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: "අනිවාර්යයෙන් ම සකර්බර්ග්! ඔහු අවුරුදු 12ක් බාලයි. ඔහු ගොඩක් පොඩියි. මම හිතන්නේ ඔහු අඩි 5යි 7යි, ඊලොන්ගේ උස අඩි 6ක් විතර ඇති. ඊලොන් සකර්බර්ග්ට වඩා බරින් වැඩියි."
"අවාසනාවට මස්ක් මහතාට කිසිදු පුහුණුවක් ලැබී නැහැ. සකර්බර්ග් බ්‍රසීලියානු ජු ජිට්සු පුහුණු කර ඇත්තේ මාස 18ක් පමණක් වුණ ත්, ඔහු පසුපසින් පැමිණ දෑත් අල්ලාගෙන හුස්ම හිර කිරීම ඔහුට එතරම් අමාරු දෙයක් වෙන්න බෑ."
බරපතල නොවන හෝ සිදු නොවන දේ ගැන ප්‍රකාශ නිකුත් කිරීමේ ඉතිහාසයක් මස්ක්ට ඇත.
උදාහරණයක් වශයෙන්, පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ, ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සිය සුරතල් සුනඛයා පත් කළ බවය.
නිව් යෝර්ක්, වොෂිංටන්, ෆිලඩෙල්ෆියා සහ බොල්ටිමෝර් යන නගර යා කරන 'හයිපර්ලූප්' දුම්රිය පද්ධතියක් සදහා "රජයේ අනුමැතිය වාචිකව හිමි වූ" බව ඔහු 2017 වසරේ දී ට්විටර් ඔස්සේ සදහන් කළේ ය. මෙය මෙතක් යථාර්ථයක් වී නැත.
2018 දී මස්ක් ටෙස්ලා සමාගම පුද්ගලික කිරීමට අදහස් කරන බවට ට්විටර් ඔස්සේ පළ කිරීමෙන් පසු නියාමකයෝ ඔහුට ටෙස්ලා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙසට බල කළහ.
ඔහු කළ මත විමසුමකදී ට්විටර් පරිශීලකයින් ඔහු ඉල්ලා අස්විය යුතු බවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මේ වසරේ ට්විටර් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීම ඇතුළුව මස්ක් ඔහුගේ සමහර ප්‍රකාශයන් සම්බන්ධයෙන් නිසි පියවර ගෙන තිබිණි.
කෙසේ වෙත ත්, ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට අවශ්‍ය බව 2022 නොවැම්බර් මාසයේ දී ඔහු පවසා තිබේ.
තාක්ෂණ එදිරිවාදිකම්
ට්විටර් සමග තරග කිරීම සඳහා නිර්මාණය කර ඇති ලිවීම පදනම් වූ සමාජ ජාලයක් සඳහා කාර්ය මණ්ඩල සැලසුම් මෙටා ගෙනහැර පෑ බව බීබීසීයට ලැබුණු ආරංචි මාර්ගවලින් තහවුරු විය.
මෙටා සමාගමේ ඡායාරූප පළ කිරීම සදහා ඇති යෙදුම වන Instagram හි ඔවුන් දැනටමත් ෆලෝ කරන ගිණුම් මේ නව ජාලය හරහා ද ෆලෝ කිරීමට පරිශීලකයින්ට හැකි ය.
Mastodon වැනි විමධ්‍යගත වේදිකාවන්ගෙන අනුගාමිකයින් ගෙන ඒමට සමාගමට ඉඩ සැලසිය හැකි ය.
මෙටා ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, එම ප්ලැට්ෆෝමය තවමත් සංවර්ධනය කරමින් ඇති බව ය.
BlueSky හෝ Mastodon යන දෙකට ම වඩා, දැනට P92 යනුවෙන් හැඳින්වෙන ලිවීම් පදනම් කර ගත් මෙම ජාලය ඊලොන් මස්ක්ගේ Twitter සමාගමට දැවැන්ත ප්‍රතිවාදියෙකු විය හැකි ය.