ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ෆේස්බුක් පෝස්ට් ෆිල්ටර් කරන රස්සාව නිසා මගේ මානුෂීයබව නැති වුණා'
- Author, ක්‍රිස් වැලන්ස්
- Role, තාක්ෂණ වාර්තාකරු
මෙම ලිපියේ ඇති කරුණු මඟින් පාඨකයින් කම්පනයට පත්විය හැකි ය.
ෆේස්බුක්හි තිරය පිටුපස සිටින දහස් ගණනක් මොඩරේටර්වරු (moderators) එහි නීති කඩ කරන පෝස්ට් ඉවත් කරමින්, භාවමය කම්පනයකට ලක්විය හැකි අන්තර්ගතයන්ගෙන් (graphic content) පරිශීලකයින් ආරක්ෂා කරති. බීබීසීය කෙන්යාවේ සිටින එක් මොඩරේටර්වරයෙකු සමග සංවාදයක යෙදුණු අතර ඔහු සිය මව් සමාගම වන මෙටා (Meta) සමාගමට එරෙහිව නීති මඟට පිවිස සිටියි.
ෆේස්බුක්හි පළ කෙරෙන පෝස්ට්ස් නිරීක්ෂණය කිරීමේ රාජකාරි ඇරඹූ සිය පළමු දිනයේ ම දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන ට්‍රෙවින් බ්‍රව්නි මිනිසෙකු සියදිවි නසා ගන්නා අයුරු නැරඹීය.
"ප්‍රශ්නය වුණේ [සියදිවි නසා ගැනීම] නොවේ. ප්‍රශ්නය වුණේ, ඒ මනුස්සයා එක්ක වීඩියෝ එකේ හිටපු වයස අවුරුදු තුනක පිරිමි දරුවා. ඉතින් ඒ දරුවා බිමට වෙලා එයාගේ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කර කර හිටියේ වෙන්නේ මොකක් ද කියලවත් හරි හැටි අවබෝධයක් නැති වගේ."
යම් වැරදි දෙයක් සිදු වන බව වටහා ගෙන තම පියාට කතා කිරීමට දරුවාට විනාඩි දෙක තුනක් ගතවිය. එවිට ඔහු හඬන්නට විය. අවසානයේ දී වැඩිහිටියෙකු කාමරයට ඇතුළු වූ අතර පටිගත කිරීම නතර විය.
"මට අසනීප ගතියක් දැනුනා. දන්නවද, මම වමනෙ දදා හිටියේ. මොකද මට තේරුනේ නැහැ ඇයි මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ කියලා," බ්‍රව්නි පැවසීය.
ඔහුගේ රාජකාරිය අතරතුර, බ්‍රව්නි ළමා අපයෝජනවල සිට වධ හිංසා පැමිණවීම සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දක්වා මිනිස් වර්ගයා සිදු කරන අයහපත් ක්‍රියා දැක තිබේ.
තම අත්දැකීම් තම හැඟීම් හීන කළ බවට ඔහු විශ්වාස කරයි. ඔහුගේ කටහඬේ ඇති වෙව්ලන ස්වභාවය සහ ඔහු තුළ ඇති අනුකම්පාව අඟවන්නේ ඔහු තවමත් අන් අය ගැන ගැඹුරින් සැලකිලිමත් වන බව ය. නමුත් තම මනුෂ්‍යත්වයේ කොටසක් නැති වී ගොස් ඇතැ යි බ්‍රව්නි විශ්වාස කරයි.
"මොක ද මූලිකව ම මට මරණය සහ මරණයට පත්වීම දැකීම බොහෝ සෙයින් හුරුපුරුදු නිසා. ඒක මට සාමාන්‍ය දෙයක් බවට පත් වුණා," ඔහු පවසයි. ඔහුට අවශ්‍ය යැයි හැඟෙන පරිදි මරණ තවදුරටත් ඔහුට බලපාන්නේ නැත.
විශේෂයෙන් වසංගත සමය තුළ බොහෝ දෙනෙකු ඉන්ටර්නෙට් මත විශ්වාසය තැබූ වකවානුවේ සිදුවූ ලෙස, බ්‍රව්නි මොඩරේටර්වරුන් දකින්නේ පරිශීලකයින් ආරක්ෂා කිරීමේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස ය. ෆේස්බුක්, ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන ආකාරය ද ඔහුගේ සිත ඇද බැඳගනියි.
සමා (Sama) නම් සමාගමක් විසින් මෙහෙයවනු ලබන නැගෙනහිර අප්‍රිකාව සඳහා වන ෆේස්බුක්හි ප්‍රධාන පරිපාලක මධ්‍යස්ථානය ජනවාරි මාසයේ දී සමාජ මාධ්‍ය ආයතන වෙත තමන් අන්තර්ගතයන් සමාලෝචන සේවා සැපයීම නවත්වන බව නිවේදනය කළේ ය.
කෘත්‍රිම බුද්ධිය සඳහා දෘශ්‍ය තොරතුරු අර්ථ නිරූපණය කිරීම, විශ්ලේෂණය කිරීම සහ තේරුම් ගැනීමට පුහුණු කිරීමට උපකාර වන වීඩියෝ නම් කිරීමේ කාර්යය කෙරෙහි අවධානය යොමු කළ බැවින්, පසුගිය මාසයේදී සමා සමාගම බ්‍රව්නි ඇතුළුව මොඩරේටර්වරුන් 260 දෙනෙකු සේවයෙන් පහ කළේ ය.
"මේ රස්සාව වෙනුවෙන් මම මගේ තිබුණු මානුෂීයබව කැප කළා. මම හිතන්නේ නෑ ඔයාට ඔයාගේ ආත්මයට වඩා දෙයක් දෙන්න පුළුවන් කියලා, ඊට ත් පස්සේ මේ වගේ පන්නලා දාන්න," බ්‍රව්නි පැවසීය.
ඔහු සහ ඔහුගේ පෙම්වතිය විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඔහු අනාගතය ගැන සැලකිලිමත් වන අතර ම, දකුණු අප්‍රිකාවේ සිටින ඔහුගේ පවුලේ අය ඔහු යවන මුදල් මත යැපෙති.
බ්‍රව්නි පවසන්නේ, තමන්ට සිදු කිරීමට තිබුණේ කුමක්දැ යි දැන සිටියේ නම් තමා එම රැකියාව භාර නොගන්නා බව ය. නමුත් ඊට තමන් දක්ෂ බැවින් එය තමාට වැදගත් කාර්යයක් ලෙස හැඟෙන බව ත් එහිදී තමන්ට වඩා ත් ජ්‍යෙෂ්ඨ තනතුරකට උසස්වීමක් ලැබුණු බව ත් ඔහු පැවසීය. තම රැකියාව අඛණ්ඩව කරගෙන යාමට ඔහුට අවශ්‍ය නමුත් ඔහු තම මානසික සෞඛ්‍යය සඳහා වැඩි සහයෝගයක් අපේක්ෂා කරයි.
ඔහු ෆේස්බුක්හි මව් වන මෙටා සමාගම, සමා සහ මෙටාහි නව කොන්ත්‍රාත්කරු වන ලක්සම්බර්ග් පදනම් කර ගත් මේජරල් (Majorel) සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින Foxglove නම් ප්‍රචාරක කණ්ඩායමක සහාය හිමි 184 දෙනෙකුගෙන් සමන්විත මොඩරේටර් කණ්ඩායමෙන් කෙනෙකි.
මෙටා ඉන් මිදීමට උත්සහ කර ඇති නමුත් බ්‍රහස්පතින්දා දුන් තීන්දුවකින් දැන් අදහස් වන්නේ සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව නඩු පැවරිය හැකි බව ය.
Foxgloveහි අධ්‍යක්ෂවරයෙකු වන කොරී ක්‍රයිඩර් මෙම තීරණය "අතිශය වැදගත් සිදුවීමක්" ලෙස හැඳින්වූ අතර, "කෙසේ හෝ ධනවත්, කිසිදු තාක්‍ෂණික දැවැන්තයෙකු නීතියට ඉහළින් සිටිය යුතු නැත," යනුවෙන් පැවසීය.
මෙටා සහ සමා සමාගම්වලට එරෙහිව දුන් අතුරු තීන්දුවකින් දැනටමත් අදහස් වන්නේ, මොඩරේටර්වරුන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කළ නොහැකි අතර නඩුවේ අවසන් තීන්දුව ලැබෙන තුරු ඔවුන්ට වැටුප් ගෙවිය යුතු බව ය.
සේවා කොන්දේසි පිළිබඳ පැමිණිලි සහ වෘත්තීය සමිතියක් පිහිටුවීමට ගත් උත්සහයට පළිගැනීමක් ලෙස තමන් සේවයෙන් පහ කළ බව මොඩරේටර්වරු පවසති.
තමන් අසාධාරණ ලෙස වෙනස්කොට සැලකීමට ලක්වූ බවට ත්, "කලින් [සමා] සමාගමේ සේවය කළ පදනම මත" මේජරල්හි සේවය කිරීම ප්‍රතික්ෂේප කළ බවට ත් ඔවුන් චෝදනා කරන බව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.
බීබීසීය විසින් දකින ලද, මොඩරේටර්වරුන් තම නීති කණ්ඩායම සමග හුවමාරු කර ගත් කෙටි පණිවිඩවලට අනුව, මේජරල්හිහි රැකියාවක් සඳහා අයැදුම් කිරීමට උනන්දුවක් දක්වන මොඩරේටර්වරුන්ට තෙවන පාර්ශවීය බඳවා ගන්නෙකු පවසා ඇත්තේ: "මේජරල් සමාගම, සමා සමාගමෙන් එන අපේක්ෂකයින් පිළිගන්නේ නෑ. ඒක නෑ ම තමයි."
නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන බව පවසමින් මෙටා සමාගම අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් මෙටා සමාගම සඳහා එහි කොන්ත්‍රාත්කරුවන්ට පුහුණු වෘත්තිකයන් සමග පැය 24 පුරා ම සේවා ස්ථානයේ සහය ලබා දීම සහ රැකියාවේ පළමු දිනයේ සිට පෞද්ගලික සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය අවශ්‍ය වේ.
නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මේජරල් සමාගම අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.
සමා සමාගමේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, කෙන්යාවේ ඉහළ ම වැටුප් ලබන රැකියා 12 අතරට එන මොඩරේටර්වරුන්ට සාධාරණ, එරටට ගැලපෙන ලෙස වැටුප් ගෙවූ බව ය.
එම සමාගම පැවසුවේ, "සමාගම් පරිශ්‍රය තුළ සිටින බලපත්‍රලාභී සහ පුහුණුව ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයන්, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් සහ අතථ්‍ය උපදේශන ඇතුළු පුළුල් මානසික සෞඛ්‍ය සේවා තමන් සැපයූ බව සහ ඊට අමතරව, සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිලාභ භාවිත කරමින් තමන් තෝරා ගන්නා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවීමට සේවකයින්ට නිදහස ලබා දෙන" බව ය.
එම සමාගම සේවක යහපැවැත්ම සඳහා ලබා දෙන සේවය සේවා නියුක්තියේ අවසන් දිනයෙන් පසු මාස 12ක් දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
තම සමාගමට එරෙහි චෝදනා අසත්‍යයැ යි ඔප්පු වී ඇති බව ත්, "හිටපු මොඩරේටර්වරුන් ඔවුන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා නඩු පවරන්නේ - වෙනත් සමාගම්, සමා සමාගමට සාපේක්ෂව වැටුප් සහ ප්‍රතිලාභවලින් කොටසක් ලබා දෙන නිසා" බව ත් සමා සමාගම පැවසීය.
වාරණ නියෝගය හේතුවෙන් සමාගමට සිය සේවකයින්ට මව් රටවල් වෙත යාමට නොමිලේ ගුවන් ගමන් සූදානම්කර දීම වැනි සේවය අවසන් කිරීමේ දී ලබා දෙන ප්‍රතිලාභ සඳහා මුදල් වැය කළ නොහැකි වීම ගැන තම කලකිරීම ප්‍රකාශ කරමින් මොඩරේටර්වරුන් කිහිප දෙනෙකු විසින් සමා සමාගම වෙත යවන ලද ඊමේල් පණිවිඩ බීබීසීය දැක තිබේ. ඊමේල් දෙකක් සමාහි සේවා කොන්දේසි වර්ණනා කරන අතර එක් අයෙක් උසාවි ක්‍රියාමාර්ගය පිළිබඳ තම අසතුට ප්‍රකාශ කරයි.
දුර්වල සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් හිටපු මොඩරේටර්වරයෙකු වන ඩැනියෙල් මොටෝන්ග්ට මෙටා සමාගමට එරෙහිව එහි නඩු පැවරිය හැකි බවට කෙන්යානු අධිකරණයක් පෙබරවාරියේ දී තීන්දු කළේ ය.
ඉතියෝපියාවේ සිවිල් යුද්ධයේදී වෛරය සහ ප්‍රචණ්ඩත්වය සමාජ මාධ්‍යවල පැතිරීම සඳහා එහි ඇල්ගොරිතම උදව් කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් මෙටා සමාගම නයිරෝබිහි නීතිමය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දෙමින් සිටියි.