සුලේමාන් ටයිටන් සබ්මැරීනයට සිය රූබික් කැටය ගෙන ගියේ ඇයි? මවගේ හෙළිදරව්ව

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ටයිටැනික් සබ්මැරීනයේදී ජීවිතක්ෂයට පත් වූ සුලේමාන් ඩවූඩ් තත්. 20කටත් අඩු කලෙක දී රූබික් කැටයක් සකසන අයුරු
    • Author, නොමියා ඉක්බාල් සහ චෙල්සි බේලි
    • Role, බීබීසී පුවත්, සේන්ට් ජෝන්ස් නිව්ෆවුන්ඩ්ලන්ඩ්

ටයිටන් සබ්මැරීනය තුළ දී ජීවිතක්ෂයට පත් වූ තරුණ සුලේමාන් ඩවූඩ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට අවශ්‍යව තිබූ නිසා, ඔහු ඔහුගේ රූබික් කැටය ද එහි රැගෙන ගොස් ඇතැ යි ඔහුගේ මව බීබීසීය වෙත පැවසුවා ය.

දහනව හැවිරිදි මෙම යෞවනයා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට අයැදුම් කර තිබුණු අතර, අනතුරින් මියගිය ඔහුගේ පියා වන ෂෙහෙසාදා එම අවස්ථාව රූගත කිරීම සඳහා කැමරාවක් ද රැගෙන ගොස් තිබිණි.

ටයිටන් සබ්මැරීනය සමග සබඳතා බිඳ වැටුණු බවට පණිවිඩය ලැබෙන අවස්ථාවේ දී, ක්‍රිස්ටීන් ඩවූඩ් සහ ඇගේ දියණිය සිටියේ සබ්මැරීනයේ සහායක පෝලා ප්‍රින්ස් නෞකාවේ ය.

"ඒ වේලාවේ ඒක මට හරියට තේරුම් ගියෙ නෑ. හැබැයි ඊට පස්සේ දේවල් නරක අතට හැරුණා," ඇය පැවසුවා ය.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සැමියා සමග යාමට තමා ද සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගමන අවලංගු කළ බව, ඩවූඩ් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාවේ දී ඇය පැවසුවා ය.

"ඊට පස්සේ මම ඒ ගමන යන අදහස අත්හැරලා එයාලට [සුලේමාන්] එක්ක යන්න යන්න ඉඩ දුන්නා. මොකද ඇත්තට ම එයාට මේ ගමන යන්න ලොකු උවමනාවක් තිබුණා," ඇය පැවසුවා ය.

සුලේමාන් සහ ඔහුගේ පියා ෂෙහෙසාදා ඩවූඩ් සමග ටයිටන් සබ්මැරීනයේ ගමන්ගත් තව ත් තිදෙනෙක් මියගියහ: ටයිටන් සබ්මැරීනය හිමි ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වූ 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් වූ 58 හැවිරිදි හේමිෂ් හාඩින්ග් සහ හිටපු ප්‍රංශ නාවික කිමිදුම්කරුවෙක් මෙන් ම කීර්තිමත් ගවේෂකයෙක් වූ 77 හැවිරිදි පෝල්-ඔන්රි නාජලෙට් එම පිරිස අතර වූහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'සුලේමාන් එයාගේ රූබික් කැටය නැතිව කොහෙවත් ගියේ නෑ' - ක්‍රිස්ටීන් ඩවූඩ්

ඩවූඩ් ඇගේ පුතු ගැන සිහිපත් කරමින් සඳහන් කළේ, සුලේමාන් රූබික් කැටයට කෙතරම් ඇලුම් කළා ද යත් ඔහු එය සෑම තැනක ම රැගෙන ගිය බව ත්, තත්පර 12ක් වැනි කාලයක දී සංකීර්ණ මට්ටමේ ප්‍රහේලිකාවක් විසඳා නරඹන්නන් විස්මයට පත් කිරීමට ඔහුට හැකියාවක් තිබුණු බව ත් ය.

"එයා කිව්වා, 'අඩි 3,700ක් මුහුද යට, ටයිටැනික් නැවේ ඉඳලා මම රූබික් කැටේ හදනවා,' කියලා"

සුලේමාන් එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයෙකි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික ෂෙහෙසාදා ඩවූඩ් පාකිස්ථානයේ ධනවත් ම පවුලකින් පැවත එන්නෙකි.

දහහත් හැවිරිදි දියණිය ඇලීනා ඇතුළු ඔහුගේ පවුල, පෝලා ප්‍රින්ස් යාත්‍රාව වෙත ගොඩවූයේ පියවරුන්ගේ දිනයේදී ය.

සැමියා සහ පුතු ටයිටන් සබ්මැරීනයට ගොඩවීමට පෙර ඔවුන් එකිනෙකා වැළඳගෙන විහිළු තහළු කළ බව ඩවූඩ් පැවසුවා ය.

"මම ඇත්තට ම එයාල ගැන හරි ම සතුටින් හිටියේ, මොකද සෑහෙන කාලෙක ඉඳලා ඒ දෙන්නා මේ ගමන යන්න බලන් හිටියේ," ඇය පැවසුවා ය.

ඩවූඩ් ඇගේ සැමියා පිළිබඳව විස්තර කරමින් පැවසුවේ, අවට ලෝකය ගැන ඔහු තුළවූ කුතුහලය බෝවෙනසුළු එකක් වූ බව ය. ඔහු, රාත්‍රී ආහාරයෙන් පසු ඔහුගේ පවුලට වාර්තා චිත්‍රපට නැරඹීමට ඉඩ සැලසූ අන්දමේ පුද්ගලයෙකි.

"එයාට දරුවෙකුට වගේ උද්වේගයට පත්වෙන්න පුළුවන්කම තිබුණා," ඇය පැවසුවා ය.

සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම අපේක්ෂාසහගතබවේ සිට අපේක්ෂාභංගත්වයට පත්වන අවස්ථාවේ දී ද ඩවූඩ් සහ ඇගේ දියණිය සිටියේ පෝලා ප්‍රින්ස් යාත්‍රාවේ ය.

Suleman Dawood, wearing a Rubik's Cube costume

ඡායාරූප මූලාශ්‍රය, Courtesy Dawood family

ඡායාරූප ශීර්ෂ වැකිය, රූබික් කැටයක් ලෙස සකසන ලද ඇඳුමකින් සැරසී සිටින සුලේමාන් ඩවූඩ් ඡායාරූපයක පෙනී සිටින අයුරු

"මම හිතන්නේ අපි පැය 96 සීමාව පහු කරද්දී මගේ බලාපොරොත්තුව නැතිවුණා," ඩවූඩ් පැවසුවා ය.

ඇය ඇගේ පවුලේ සාමාජිකයින් වෙත පණිවිඩයක් යැවීම සිදු කළේ එම අවස්ථාවේදී බව ඇය පැවසුවා ය. "මම කිව්වා: 'වෙන්න පුළුවන් නරක ම දේට මුහුණදෙන්න මම ලෑස්ති වෙනවා,' කියලා. ඒ වෙලාවේ තමයි මගේ බලාපොරොත්තු සුන් වුණේ."

නමුත් ඇලීනා ඊට වඩා වැඩි කාලයක් බලාපොරොත්තුසහගතව සිටි බව ඇය පැවසුවා ය. "වෙරළාරක්‍ෂක බලකායෙන් කෝල් එක එනකල් එයා බලාපොරොත්තු නැතිකර ගත්තේ නෑ - එයාලා සුන්බුන් හොයාගත්තා කියලා අපිට කියන තුරු."

ඔවුහු සෙනසුරාදා නැවත සේන්ට් ජෝන්ස් වෙත ගිය අතර ඉරිදා දිනයේ ෂෙහෙසාදා සහ සුලේමාන් වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවක් පැවැත්වූහ. යාඥාව ජීවිතක්ෂයට පත් වූ පස්දෙනා ම වෙනුවෙන්යැ යි ඉමාම්වරයා පැවසූ අවස්ථාවේ ඇය සංවේදී වූ බව ඩවූඩ් පැවසුවා ය.

ඇයත්, ඇගේ දියණියත් සුලේමාන්ට ගෞරවය පිණිස රූබික් කැටය අවසන්වන තෙක් සකස් කිරීමට උගෙනීමට උත්සහ කරන බව ත්, සැමියාගේ වැඩකටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදහස් කරන බව ත් ඇය පැවසුවා ය.

Shahzada Dawood (R) and son Suleman

ඡායාරූප මූලාශ්‍රය, Courtesy Dawood family

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂෙහෙසාදා ඩවූඩ් සහ පුත් සුලේමාන්

"එයා ගොඩක් දේවල්වලට සම්බන්ධ යි, එයා ගොඩක් මිනිස්සුන්ට උදව් කළා, මම හිතන්නේ මට ඇත්තට ම ඒ කරගෙන ආව දේවල් දිගට ම කරගෙන යන්නත්, ඒවා වඩාත් පුළුල් කරන්න ඕන... ඒක මගේ දුවට ත් ගොඩක් වැදගත් වේවි."

ඛේදවාචකය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීම ඩවූඩ් ප්‍රතික්ෂේප කළා ය. නමුත් මෙම සිදුවීම ඇය සහ දියණිය පිළිගන්නේ කෙසේදැ යි විමසූ විට ඇය පැවසුවේ: "එහෙම දෙයක් තියෙනවා ද? මම දන්නේ නෑ."

"මට එයාල නැතුව පාලු යි," ඇය පැවසුවේ දිගු සුසුමක් හෙළමිනි. "මට ඇත්තට ම, කියා ගන්න බැරි තරම්, එයාල නැතුව පාලු යි."