Vision Pro: ඇපල් සමාගමේ නවතම ඔග්මෙන්ටඩ් රියැලිටි හෙඩ්සෙට් එක එළිදකියි

The Apple Vision Pro headset was seen in a video announcement on Monday

ඡායාරූප මූලාශ්‍රය, APPLE

    • Author, ජේම්ස් ක්ලේටන්, කැලිෆෝනියාවේ ඇපල් පාර්ක් සිට
    • Role, බීබීසී පුවත්

දශකයට ආසන්න කාලයකින් පසු ප්‍රථම වරට පැවති උපාංග හඳුන්වාදීමේ ප්‍රධාන වැඩසටහනේදී ඇපල් සමාගම බොහෝ දෙනෙකු දැඩි උනන්දුවකින් බලා සිටි ඔග්මෙන්ටඩ් රියැලිටි හෙඩ්සෙට් එකක් වන 'Apple Vision Pro' එළිදක්වා තිබේ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් පැවසුවේ, මෙම නව හෙඩ්සෙට් එක "සැබෑ ලෝකය සහ අතථ්‍ය ලෝකය (virtual world) කිසිදු බාධාවකින් තොරව එකිනෙක මුසු කරන" බව ය.

ඔවුන්ගේ නවතම iPhone මෙහෙයුම් පද්ධතිය මෙන් ම MacBook Air සඳහා යාවත්කාලීන කිරීම් (updates) ද නිකුත් කරන බව සමාගම එහිදී නිවේදනය කළේ ය.

මෙම හෙඩ්සෙට් එක පැය දෙකක කාලයක් බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 3,499 කි (රු. ලක්ෂ 10ක් පමණ). එය ලබන වසරේ මුල දී එක්සත් ජනපදයට නිකුත් කිරීමට නියමිත ය.

දැනට වෙළෙඳපොළේ ඇති වර්චුවල් රියැලිටි හෙඩ්සෙට්වලට වඩා එය සැලකිය යුතු ලෙස මිලෙන් අධික ය. පසුගිය සතියේ මෙටා සමාගම අමෙරිකානු ඩොලර් 499ක (රු. 146 000ක් පමණ) වටිනාකමකින් යුතු සිය Quest 3 හෙඩ්සෙට් එක එළිදැක්වීය.

සිලිකන් නිම්නයේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන්වන තාක්ෂණයක් වන කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ඇපල් සමාගම සඳහන් නොකළ තරම් ය.

කැලිෆෝනියාවේ කුපර්ටිනෝහි පිහිටා ඇති එම සමාගමේ මූලස්ථානය වන ඇපල් පාර්ක්හි පැවති තාක්ෂණික සමුළුවකදී කරන ලද මෙම එළිදැක්වීම අතරතුර සමාගමේ කොටස්වල මිල ගණන් සුළු වශයෙන් පහත වැටිණි.

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා සහභාගි වී සිටි මාධ්‍ය ආයතන අතර බීබීසීය ද වූ අතර තාක්‍ෂණ සංස්කාරක සොයී ක්ලයින්මන් එම හෙඩ්සෙට් එක අත්හදා බැලූ ලොව පළමුවැන්නන්ගෙන් එක් අයෙකු බවට ද පත් විය.

"සමාගමේ වර්තමාන ප්‍රධානී ටිම් කුක් 2011 අවුරුද්දේ සමාගම භාරගත්ත දවසේ ඉඳලා, ඇපල් වොච් එක හැරුණු විට, ඉස්සර වගේ ලෝකය වෙනස් කරන නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න ඇපල් සමාගමට බැරි වෙලා හිටියේ," ඇය පැවසුවා ය.

"මේ පාර ඇපල් සමාගම සාර්ථක ද?"

'ස්කී ගොගල්ස්'

වෙළෙඳපොළේ ඇති මේ හා සමාන හෙඩ්සෙට්වලට වඩා 'Apple Vision Pro' පෙනුමෙන් වෙනස් ය. එය වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකකට වඩා ස්කී ගොගල්ස් (හිම මත ලිස්සා යාමේදී පළඳින ඇස් ආවරණ කන්නාඩි වර්ගයක්) යුගලක් සිහිගන්වයි.

මෙම නව උපාංගයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීමට ඇපල් සමාගම "ඔග්මෙන්ටඩ් රියැලිටි" (augmented reality) යන යෙදුම භාවිත කළේ ය.

මික්ස්ඩ් රියැලිටි (mixed reality) ලෙස ද හඳුන්වනු ලබන ඔග්මෙන්ටඩ් රියැලිටි (augmented reality) මඟින්, අප අවට පරිසරය තුළට අතථ්‍ය වස්තු (virtual objects) මුහුකර පෙන්වයි. එමඟින් තිරයක් දෙස බැලීමෙන් යථාර්ථ පරිසරය, වර්චුවල් රියැලිටි සමග මුහු කිරීමට අපට හැකියාව ලබා දෙයි.

"ඒක නිකම් හරියට ඔබේ ජංගම දුරකතනය වගේ. හැබැයි ඔබ කොහේ හිටිය ත්, හරියට ම ඔබේ ඉස්සරහ තියෙන විශාල, දීප්තිමත්, පැහැදිලිව දිස්වෙන දෙයක් ඒක," ක්ලයින්මන් පැවසුවා ය.

උපන්දින සාදවල දී ඔබේ පවුලේ සාමාජිකයින් සතුටින් කාලය ගත කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන වැනි දෑ නැරඹීමට ඔබට අවස්ථාව ලබාදීම හෝ පුළුල් පරාසයක් ආවරණය වන පරිදි ඔබ ලබාගත් ඡායාරූප (panoramic photos) ජීවමාන ප්‍රමාණයට සකසාදීම ආදී අත්දැකීම් ලබාදෙන මෙම උපාංගය, ඇය පවසන පරිදි පරිගණක ක්‍රීඩා අරඹයා නිර්මාණය කර ඇති වෙළෙඳපොළේ ඇති අනෙකුත් හෙඩ්සෙට්ස් මෙන් නොව, "ඔබේ දෛනික ජීවිතයට බෙහෙවින් බද්ධ වී ඇති" උපාංගයක් ලෙස ඉදිරිපත් කර ඇත.

Apple image showing how the Vision Pro's new app store will appear while using the headset

ඡායාරූප මූලාශ්‍රය, APPLE

ඡායාරූප ශීර්ෂ වැකිය, හෙඩ්සෙට් එක භාවිත කරන්නන් සඳහා Vision Proහි නව ඇප් ස්ටෝර් එක දිස්වන අයුරු

Vision Pro භාවිත කරන්නන්ට යෙදුම් (apps) වෙත ප්‍රවේශ වීමට, චිත්‍රපට නැරඹීමට සහ අතථ්‍ය ලෝකයක ලේඛන කටයුතුවල නිරත වීමට හැකි ය. නමුත්, මේ වන විට මේ ආකාරයේ පැළඳිය හැකි තාක්‍ෂණික උපාංග සඳහා විශාල වෙළඳපොළක් ඇති බවට සාක්ෂි නොමැත.

"අන්තිමේ බැලුවොත්, ඒක කොහොමත් VR හෙඩ්සෙට් එකක්," ක්ලයින්මන් පැවසුවා ය. "ඇපල් සමාගමට සිද්ධ වෙනවා ලබන අවුරුද්දේ මුල බෙදාහරිද්දී මේ හෙඩ්සෙට් එකට විවිධ වර්ගයේ අන්තර්ගතයන් විශාල වශයෙන් එකතු කරන්න."

"අනිත් දේ තමයි මේකේ මිල - ඩොලර් 3,499ක් කියලා කියන්නේ ලොකු ගාණක්."

සාමාන්‍ය ජනතාව මෙම හෙඩ්සෙට් එක වෙත කෙතරම් ආකර්ෂණය වේ ද යන්න ගැන මැක්රියුමර්ස් (MacRumors) වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක හාට්ලි චාල්ටන්ට එතරම් විශ්වාසයක් නොවීය.

"ඒක ප්‍රධාන ධාරාවේ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගන්නේ නැති පළවෙනි හේතුව තමයි ඒකෙ අධික මිල. අනිත් එක තමයි පළමු පරම්පරාවේ උපාංගයක් විධියට තියෙන අඩුපාඩු, හරියට ඒකෙ වෙන ම වයර් එකකින් සම්බන්ධ වෙන බැටරි පැක් එක වගේ," ඔහු පැවසීය.

නමුත් ඔහු පැවසුවේ, ඇපල් සමාගම නව උපාංග පිළිබඳව ඇති "සැකසංකා ජය ගැනීම" සම්බන්ධයෙන් වාර්තා තබා ඇති බව ත්, ඔවුන්ට "තමන්ගේ තාක්ෂණික භාණ්ඩ එකතුවට නව උපාංගයක් එකතු කර ගැනීමට මුදල් යෙදවීම සඳහා" මිනිසුන් දිරිමත් කර ඇති දිගු ඉතිහාසයක් ඇති බව ත් ය.

The Apple Vision Pro headset was on display after the announcement

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා පැවති සමුළුවේදී මාධ්‍යවේදීන්ට සහ තාක්ෂණවේදීන් හෙඩ්සෙට් එක කෙටි කාලයකට දැක ගැනීමට හැකි විය

සිය ඉදිරිපත් කිරීමේදී කුක් පැවසුවේ, හෙඩ්සෙට් එක පරිශීලකයින්ට "ඩිජිටල් අන්තර්ගතයන් ඔබේ භෞතික අවකාශයේ තිබෙන අයුරින් දැකීමට, ඇසීමට සහ අන්තර් ක්‍රියා කිරීමට" ඉඩ සලසන බව ය.

එය ඔබගේ අත්, ඇස් සහ කටහඬ භාවිතයෙන් පාලනය වේ. එනම්, 'සිලෙක්ට්' කිරීමට ඔබගේ ඇඟිලි එක් කර ටැප් කිරීම සහ 'ස්ක්‍රොල්' කිරීමට ඇඟිලි භාවිතයෙන් ඉහළට හෝ පහළට ගෙන යාම ආදී චලන මඟින් එය පාලනය කළ හැකි ය.

මෙම එළිදැක්වීම සිදුවන්නේ මෙටා සමාගම සහ ලෙනෝවෝ සමාගම ඔවුන්ගේ පෙර පැවති වර්චුවල් රියැලිටි හෙඩ්සෙට්වල නව ආකාරයක් හඳුන්වා දීමෙන් සතියකට පසුව ය. කෙසේ වෙතත්, ඒවා සැබෑ ලෝකයේ දර්ශන මත වස්තූන් අධිස්ථාපනය (superimpose) නොකරයි.

මෙටා සමාගම මික්ස්ඩ් රියැලිටි සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කර ඇති නමුත්, මේ වන විට එම ක්ෂේත්‍රය පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක ය.

ජාත්‍යන්තර දත්ත සංස්ථාවට (International Data Corporation) අනුව, හෙඩ්සෙට් වෙළෙඳපොළේ ගෝලීය විකුණුම්වල පසුගිය වසරේ 54%ක පහත වැටීමක් සිදුවී තිබේ.

ඇපල් සමාගම අවසාන වරට නිකුත් කරන ලද ප්‍රධාන උපාංගය වූයේ 2015 වසරේදී නිකුත් කළ Apple Watch එක ය.

ෆොරෙස්ටර් රිසර්ච් ආයතනයේ තෝමස් හසන් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, ඇපල් සමාගමේ නව හෙඩ්සෙට් එක පාරිභෝගිකයා අතරට යාමට යම් කාලයක් ගත වනු ඇති බව ය.

"පසුගිය අවුරුදු කීපයේ දී AR/VR තාක්ෂණය ගැන මෙටාවර්ස් සහ ඒ වගේ දේවල් හරහා ඕනෑවට වඩා ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ," ඔහු පැවසීය. "ඒක නිසා තමයි මම හිතන්නේ ඒකට තව ටිකක් කල් යයි කියලා.

"එහෙම කිව්වට, මම මෙහෙම ඔබට කිව්වොත්, මීට අවුරුදු 10කට 15කට කලින් ජංගම දුරකතනයක් ගන්න ඩොලර් 2,000කට ආසන්න මුදලක් ගෙවන්න මිනිස්සුන්ට සූදානම් වෙන්න කියලා, මම හිතන්නේ නැහැ බොහෝ අය ඒ ගාණ ගෙවන්න කැමතියි කියාවි කියලා."

iOS 17

Vision Pro එළිදැක්වීමට අමතරව, ඇපල් සමාගම විසින් සිය iPhone මෙහෙයුම් පද්ධතියේ නවතම අනුවාදය වන iOS17 ද එළිදක්වන ලදී.

ඒ සමග පැමිණෙන යාවත්කාලීන කිරීම්වල, "contact posters" - එනම්, ඔබ පුද්ගලයෙකු ඇමතූ විට ඔහුගේ දුරකතනයේ දිස්වන ඔබේ පින්තූරයක් හෝ රූපයක් සහ "live voicemail" - එනම්, වොයිස්මේල් එකක් ලද සැණින් එය එම අවස්ථාවේ දී ම ඔබට කියැවිය හැකි ටෙක්ස්ට් එකක් බවට පරිවර්තනය වීම ආදිය ඇතුළත් වේ.

එම ක්‍රියාවලිය Apple Messages භාවිතයෙන් හුවමාරු කරගන්නා ශ්‍රව්‍ය පණිවිඩ සඳහා ද අදාළ වේ.

Apple's iOS 17 Check-In feature

ඡායාරූප මූලාශ්‍රය, APPLE

ඡායාරූප ශීර්ෂ වැකිය, Apple's iOS 17 Check-In feature

තව ද ඇපල් සමාගම විසින් Check-In නම් විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් ඔබ නිවසට පැමිණ ඇතැ යි ස්වයංක්‍රීයව ම ඔබේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට පවසනු ඇත.

ඔබගේ ගමන සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇත්නම්, ඔබ තව ම ත් ආරක්ෂිතව නිවසට පැමිණ නැති බව අන් අයට පැවසීමට පවා එයට හැකියාවක් ඇත.

මෙම නව මෙහෙයුම් පද්ධතිය එළඹෙන සරත් ඍතුවේදී නිකුත් කෙරෙනු ඇත.

අතිරේක වාර්තාකරණය ෂියෝනා මැකලම්, ලිව් මැක්මෑන් සහ ටොම් ගර්කන් විසිනි