'තමන්ට සිදුවෙච්ච ලිංගික හිංසනයන්ට එරෙහිව යුක්තිය ඉල්ලන එකෙන් ක්‍රීඩිකාවො මොකක් හරි අපරාධයක් සිද්ධ කරලා ද?'

    • Author, මෙරිල් සෙබෙස්තියන්
    • Role, බීබීසී පුවත්

ප්‍රමුඛ පෙළේ ඉන්දීය මල්ලවපොර ක්‍රීඩකයින් සිය අඛණ්ඩ විරෝධතාවේ කොටසක් ලෙස, ඔවුන් දිනූ පදක්කම් ඉන්දියාවේ ශුද්ධ වූ ගංගා නම් ගඟට වීසිකිරීමේ සැලසුම් කල් දමා තිබේ.

අඟහරුවාදා (මැයි 30) අපරභාගයේ දී ඔවුන් සිය පදක්කම් ගඟට වීසිකිරීමට නියමිතව සිටි නමුත්, මේ වන විට වාර්තා වන පරිදි, ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට දින පහක කාලයක් ලබා දී ඇත.

මල්ලව පොර ක්‍රීඩිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කළබවට ඔවුන් චෝදනා එල්ල කරන ඔවුන්ගේ සම්මේලනයේ ප්‍රධානියාට ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කරමින්, ඔහු අත්අඩංගුවට ගන්නා මෙන් කලෙක පටන් මල්ලවපොර ක්‍රීඩකයින් ඉල්ලමින් සිටියේ ය.

නමුත් ප්‍රධානියා මෙම චෝදනා ප්‍රතික්ෂේපකර ඇත.

ඔවුන්, දිල්ලි අගනුවර පිහිටි යුධ ස්මාරකයක් වන 'ඉන්දියා ගේට්'හි දී දින සීමාවක් නැති උපවාසයක් සිදුකිරීමට ද සැලසුම්කර තිබේ.

"මේ පදක්කම් අපේ පණ, අපෙ ආත්මය... මේ පදක්කම් තව දුරටත් අපේ බෙල්ලෙ එල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා අපට හිතෙනවා," අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් මල්ලව පොර ක්‍රීඩකයෝ පවසා සිටියහ.

මෙම ප්‍රකාශය බෙදාගත් විරෝධතාකරුවෝ අතර, ඔලිම්පික් පදක්කම්ලාභී සාක්ෂි මලික් හා බජ්රන්ග් පූනියා ද, දෙවරක් ලෝක ශූරතාව දිනූ පදක්කම්ලාභී විනේෂ් පෝගත් ද සිටිති.

අඟහරුවාදා, කඳුළු පිරි නෙතින් යුත් මල්ලපොර ක්‍රීඩකයින් උතුරු ඉන්දියාවේ හරිද්වාර් නගරයේ දී ගංගා නම් ගඟ අසලට රැස්වූ අවස්ථාවේ දී නාට්‍යාකාර සිදුවීම් සිදුවූ නමුදු, බලවත් BKU ගොවි සංවිධානයේ නායකයා ඔවුන් හමුවී විරෝධතාව කල් දැමීමට ඔවුන් පොළඹවාගත්බව මාධ්‍ය වාර්තා කළේ ය.

පියවරක් ගැනීම සඳහා රජයට දින පහක් තිබේයැ යි සංවිධානයේ නායක නරේෂ් තිකායිත් ප්‍රකාශ කළබවට වාර්තා වෙයි.

"ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙ දී අපි ඔලුව උස්සගෙන ඉන්නේ මේගොල්ලො නිසයි," තිකායිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

"ඒගොල්ලන්ට ලැජ්ජාවෙන් ඔලුව නවාගෙන ඉන්න වෙන්නේ නෑ කියන එකට අපි වගබලා ගන්නවා."

මුල දී සිය පදක්කම් ජනපතිවරයාට හා අගමැතිවරයාට ආපසු ලබාදීමට තමා තීරණයකර සිටියේයැ යි මල්ලව පොර ක්‍රීඩකයෝ පැවසූමුත්, ඔවුන් සිය විරෝධතා ගැන කිසිවක් නොපැවසීම හෝ නොවිමසීම නිසාවෙන් ක්‍රීඩකයෝ කළකිරීමට පත්ව සිටිති (නායකයින් දෙදෙනාම මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත්කර නැත).

"අපි ඒවා [පදක්කම්] ගඟට දැම්මට පස්සෙ, අපට තවත් ජීවත්වෙන්න හේතුවක් නැහැ. ඉතින් අපි ඉන්දියා ගේට් එකට ගිහිල්ලා මැරෙනකල් උපවාසයක් කරනවා," ප්‍රකාශයෙහි සඳහන්විය.

ඉරිදා (මැයි 28), ඔවුන්ගේ විරෝධතාවේ කොටසක් ලෙස ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමේ දී රඳවා ගැනුණු කීපදෙනා අතර මලික්, පූනියා සහ පෝගත් ද සිටියි.

පොලිසිය විසින් ඔවුන් නවත්වනු ලැබූ අතර බස්වලට නංවා එම ප්‍රදේශයෙන් පිටකරනු ලැබුණි. මෙය සිදුවූයේ, එම අවස්ථාවේ දී අගමැති මෝදි විසින් විවෘත කෙරෙමින් පැවැති නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇදගෙනගොස් බස්රථවලට පටවා රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන වෛරල් වූ අතර, එය ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයට ලක්විය.

අඟහරුවාදා නිකුත් කළ ප්‍රකාශය මඟින් මල්ලව පොර ක්‍රීඩකයින් ඔවුන්ට එරෙහි පොලිස් ක්‍රියාමාර්ග හෙළාදුටු අතර, තමාට "අපරාධකරුවන්" ලෙස සලකනු ලැබූබව ප්‍රකාශ කළේ ය.

"තමන්ට සිදුවෙච්ච ලිංගික හිංසනයන්ට එරෙහිව යුක්තිය ඉල්ලන එකෙන් ක්‍රීඩිකාවො මොකක් හරි අපරාධයක් සිද්ධ කරලා ද?" ඔවුහු විමසූහ.

දිල්ලි පොලිසිය, මල්ලවපොර ක්‍රීඩකයින්ට එරෙහිව කැරලිගැසීම ඇතුළු කාරණා මුල්කොට නඩු පවරා තිබේ. ඔවුන් දිල්ලියේ පිහිටි ජාතික උරුම අඩවියක් වන ජන්තර් මන්තාර්හි ක්‍රීඩකයින් පැවැත්වූ විරෝධතා ද එතැනින් ඉවත් කළේ ය. දිල්ලියේ ජන්තර් මන්තර් යනු විරෝධතා දැක්වීම සඳහාම වෙන්කර ඇති ස්ථානයකි.

ඉන්දීය මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානී බ්‍රිජ් භූෂන් සිංට එරෙහිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය විරෝධතා ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 23 වන දා ය.

බලවත් දේශපාලකයෙකු හා පාලක භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිං ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේපකර ඇති අතර, විරෝධතාවන් සිදුකෙරෙන්නේ දේශපාලන පෙළඹවීම් මතබව පවසයි. දිල්ලි පොලිසිය විසින් ඔහු ප්‍රශ්නකර ඇතිමුත් තවමත් අත්අඩංගුවට ගෙන නැත.

සඳුදා (මැයි 29) ක්‍රීඩා අමාත්‍ය අනුරාග් ඨාකූර් පැවසුවේ, දිල්ලියේ ඔවුන් වෙත නියම කරන ලද ස්ථානවල විරෝධතා පැවැත්වීමෙන් මල්ලව පොර ක්‍රීඩකයින් වළකා නොමැතිබව යි.

දිල්ලි පොලිසිය විමර්ශන කටයුතු අවසන් කළ පසු උචිත පියවර ගනු ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය. තවමත් පොලිසිය වෙත ප්‍රකාශ ලබා දී නැති නම් ලබාදෙන්නැ යි ද ඇමතිවරයා මල්ලව පොර ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.