ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතීක් අහමඩ්: ඉන්දියානු මාෆියා ප්‍රධානියෙකු වූ දේශපාලකයෙකුගේ නිර්ලජ්ජිත ඝාතනය
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
මිනිත්තුවකට අඩු කාලයක් තුළ දී සියල්ල සිදුවී අවසන්විය.
සෙනසුරාදා (අප්‍රේල් 15) රාත්‍රියේ පටිගත කෙරුණු දර්ශනවලින්, අපරාධ කල්ලි නායකයෙකු බවට පත්වූ දේශපාලක අතීක් අහමඩ් ප්‍රයාග්රාජ් (අතීතයේ අලහබාද්) නගරයේ රෝහලක් අසල දී පොලිස් ජීප් රථයක පිටුපස සිට පිටතට පැමිණෙනු දැක්වෙයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අපරාධකරුවෙකු ද වන, ඇඟපතින් ද තරබාරු අහමඩ්ට ජීප් රියෙන් බැසීමට ඔහුගේ සොයුරු අෂ්රෆ් හා පොලිස් නිලධාරියෙකු උපකාර කරනු එහි පෙන්වයි. දෙසොයුරන්, ඔවුන්ගේ මාංචුවලට අමුණන ලද දම්වැලක් මඟින් මෙහෙයවනු දැක්විණි.
පොලිස් කොස්තාපල්වරුන්ගෙන් සැදි වළල්ලකින් වටවී ඉදිරියට යෑම ඇරඹු දෙදෙනා ප්‍රාදේශීය රූපවාහිනී වාර්තාකරුවන් විසින් වටකර ගැනෙනු විඩියෝවෙන් දිස්වෙයි - ඔවුන් අතර, මාධ්‍යවේදීන් මෙන් පෙනී සිටි තුවක්කුකරුවන් ද සිටියි.
ඉන් තත්පරයකට පසු, අහමඩ්ගේ හිස අසලට ගිනිඅවියක් දිගු කෙරෙනු පෙනෙන අතර, ඔහු බිමට ඇද වැටෙද්දී ඔහුගේ සුදු පැහැ තලප්පාව හිසින් ගැලවී යයි. ඉන් මොහොතකට පසු, ඔහුගේ සොයුරාට ද වෙඩි තබනු ලැබෙයි.
තුවක්කුකරුවන් දෙදෙනා සහ තවත් තැනැත්තෙකු එකෙණෙහිම පොලීසියට ද බාරවෙයි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය මේ පිළිබඳ විමර්ශනයක් දියත් කිරීමට අණකර ඇතත්, සෙනසුරාදා සවස සිදුවූ සාහසික ඝාතනය හේතුවෙන් ප්‍රමුඛ පෙළේ ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ දේශපාලකයින්ගෙන් විවේචන ප්‍රවාහයක් ගලා ඒම ඇරඹී තිබේ. ඝාතනය මඟින් පෙන්නුම් කෙරෙන්නේ එහි නීතිය සහ සාමය බිඳවැටී ඇතිබවයැ යි ඔවුහු පවසති.
දේශපාලකයෙකු වන නීතීඥ කපිල් සිබාල් පවසන්නේ උත්තර් ප්‍රදේශ්හි "ඝාතන දෙකක්" සිදුව ඇතිබව යි - "පළවෙනි එක අතීක්ගෙයි ඔහුගෙ සහෝදරයා අෂ්රෆ්ගෙයි, දෙවැනි එක නීතියේ ආධිපත්‍යයේ."
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වන වික්‍රම් සිං බීබීසීයට පැවසුවේ, අහමඩ්ගේ මරණය සිදුවීම නොපිළිගතහැකි දෙයක් බවකි. "අත්අඩංගුවේ ඉඳිද්දී මැරෙන එක කොහොමත් නරක යි. [අත්අඩංගුවේ ඉඳිද්දී] ඝාතනය වෙන එක ඊට වඩා අන්ත යි."
අහමඩ් ආන්දෝලනාත්මක මිනිසෙකුයැ යි පැවැසීම ඇත්තෙන්ම අවතක්සේරුවකි.
මේ 60 හැවිරිදි මිනිසා ප්‍රයාග්රාජ්හි දරිද්‍ර පවුලක උපත ලබා, පාසැල් අධ්‍යාපනය ද අතරමඟ දී හමාර කළත්, කාලය ගෙවෙද්දී ඔහු මහා ධනයක් එක්රැස්කර ගෙන දේශපාලන අනුග්‍රහය සහ බලය ද භුක්ති විඳිමින්, ඔහු උපන් නගරය සහ ඉන් ඔබ්බට බලපෑම් කළ හැකි දැවැන්ත බලයක් ලබාගත්තේ ය.
ඔහු 1989 වසරේ සිට ප්‍රාන්ත සභාව සඳහා එම නගරයෙන් පස්වරක් තේරී පත්ව ඇති ඔහු 2004 වසරේ දී පූල්පූර් මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.
සිං ඔහු විස්තර කරන්නේ, "දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න අත දිගහැර වියදම් කරපු - ඒ කිව්වේ, [දුප්පතුන්ගේ] විවාහ මංගලෝත්සවවලට ගෙවපු, ඊද් උත්සවය කාලෙ ඔවුන්ට මුදල් දීපු, දුප්පත් ගෑණු අයට එයාලගේ ළමයින්ට ඉස්කෝලෙ යුනිෆෝම්, පොත්පත් ගන්න උදව් කරපු... රොබින් හුඩ් ජාතියෙ, ඩොක්ටර් ජෙකීල් - මිස්ටර් හයිඩ් ජාතියෙ චරිතයක්," වශයෙනි.
නමුත් මේ චරිතයේ ගැඹුර ලෝකයට දිගහැරුණේ අහමඩ් වෙත පැහැරගැනීමේ, මිනී මැරීමේ, කප්පම් ගැනීමේ සහ ඉඩම් අත්පත්කර ගැනීමේ චෝදනා එල්ලවූ පසු ය.
ඔහුට එරෙහිව පැමිණිලි 100ක් පමණ ලියාපදිංචි වුණු අතර, ඔහු තවත් බොහෝ සිදුවීම්වලට සම්බන්ධවුවත්, "වින්දිතයෝ පැමිණිල්ලක් දාන්න බැරි තරම් බයවෙලා හිටියා," ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
අහමඩ් දශක දෙකක් තිස්සේ වරින් වර බන්ධනාගාරයේ කල් ගතකළ ද, ඔහු උත්තර් ප්‍රදේශ්හි පාතාලය කෙරෙහි සිය පාලනය දිගටම පවත්වාගෙනයෑමට සහ තමන්ගේ මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත්විය.
නමුත් ප්‍රාදේශීය සමාජවාදී පක්ෂය ඔහු හා පැවැති සබඳතා කපාහැරීමෙන් සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්තයේ බලයට පැමිණීමෙන් පසු අහමඩ්ගේ බලය හීනවීම ඇරඹිණි.
2017 දී ඔහු පහරදීමේ චෝදනාවක් මත සිරබාරයට ගැනුණු අතර, පසුව බටහිරදිග ප්‍රාන්තයක් වන ගුජරාත්හි බන්ධනාගාරයකට මාරුකර යවනු ලැබුණි.
පසුගිය පෙබරවාරියේ දී ඔහුට එරෙහි නවතම පියවර ගනු ලැබුණේ, 2005 වසරේ දී ප්‍රාදේශීය පක්ෂයක් වන බහුජන් සමාජ් පක්ෂයේ නීති සම්පාදකයෙකු වූ රාජු පාල්ගේ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ උමේෂ් පාල්, මිනිසුන් කණ්ඩායමක් විසින් ඝාතනය කෙරෙනු දැක්වෙන විඩියෝ පටයක් නිකුත්වීම හේතුවෙනි. පාල්ගේ ඝාතනයට සම්බන්ධබවට අහමඩ් සොහොයුරන්ට චෝදනා එල්ලවී තිබේ.
පෙබරවාරි ඝාතනය විඩියෝවකට හසුවීම නිසා ඇරඹි සිදුවීම් දාමය හේතුවෙන් අහමඩ් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ආධාරකරුවන් කීපදෙනෙකුගේ මරණ වරෙන්තුව ලියැවිණි. දැනට පළාගොස් සිටින ඔහුගේ බිරිඳගේ හිස සඳහා ත්‍යාගයක් නියමවී ඇතිවා සේම ඔහුගේ පුත්‍රයින්ගෙන් දෙදෙනෙකු බන්ධනාගාරගතව පසුවන අතර, තවත් බාලවයස්කාර පුතුන් දෙදෙනෙකු රජයේ ආරක්ෂක නිවෙස්වල වෙසෙයි.
අහමඩ් ප්‍රයාග්රාජ් වෙත ගෙන එනු ලැබුණේ එම නඩුවේ චෝදනාවන්ට මුහුණදෙනු පිණිස ය. තමාගේ ජීවිතයට පොලීසියෙන් තර්ජනයක් එල්ලවී තිබෙනබවට ඔහු ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම පසුගිය මාසයේ දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඔහුගේ සොයුරා ද ප්‍රයාග්රාජ් වෙත ගෙනැවිත් තිබුණේ එම ප්‍රාන්තයේම වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි බන්ධනාගාරයකිනි.
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 13) ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා වූ අසාඩ් සහ ඔහුගේ සහායකයෙකු පොලීසිය විසින් ඊනියා ගැටුමක දී ඝාතනය කෙරිණි - ඔවුන් වෙඩි තබා ඝාතනය කෙරුණේ සැලසුම්සහගත ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසැ යි බොහෝ චෝදනා එල්ලවෙමින් පවතියි.
ඉරිදා උදයේ (අප්‍රේල් 16) ප්‍රයාග්රාජ්හි බොහෝ ප්‍රදේශ මළවුන්ගේ නගරයක් වැනි විය. මුස්ලිම් ජාතිකයින් වසරේ ඊද් උත්සවය සමරන බැවින් සාමාන්‍යයෙන් මෙම කාලයට බොහෝ කාර්යයබහුල වන පැරණි නගරයේ ප්‍රධාන බසාරයන් හිස්වගොස් තිබුණි.
සෑම වීථියකම පාහේ පොලිස් වෑන් රථ සහ නිලධාරීන් යොදවා තිබුණු අතර නගරයේ බොහෝ කොටස්වල අන්තර්ජාල සබඳතාව ද ඇණහිට තිබුණි. එසේම, ඝාතනයන් සම්බන්ධයෙන් කිසිදු දෙයක් පැවසීමට හෝ මාධ්‍යයන් සමග කතාබහ කිරීමට ප්‍රදේශවාසීන් මැළිකමක් දැක්වීය.
තම නම පවසනවාට අකැමැති වූ 40 හැවිරිදි මුස්ලිම් මිනිසෙකු බීබීසීය වෙත පැවසුවේ ජනයා කම්පනයට පත්ව සිටිනබවකි.
"මීඩියා ඉස්සරහ, පොලීසියත් ඉන්න තැන කාවවත් මරා දාන්නෙ කොහොමද? එයා දඬුවම් ලබපු අපරාධකාරයෙක්බව මම පිළිගන්නවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ එයාට එහෙම වෙඩි තියලා දාන්න පුළුවන් කියලා. නීතියෙ ආධිපත්‍යය තියෙන්නෙ මොකටද?" ඔහු විමසීය.
"අපි හුඟදෙනා කල්පනා කරනවා එයාව මරලා දැම්මෙ එයා මුස්ලිම් නිසා ද කියලා. මං දන්නෙ නෑ ඒක ඇත්ත ද කියලා, හැබැයි මේ සිද්ධිය නිසා නගරෙම හොඳටම බයවෙලා ඉන්නෙ. අපට එහෙම වෙන්න වටින්නේ නෑ."
කෙසේ නමුත්, අයෝධ්‍යා නගරයේ හනුමාන්ගධී හින්දු දේවස්ථානයේ ප්‍රධානී, මහාන්ත් රාජු දාස් පවසන්නේ එවැනි සිදුවීම් දෙස පක්ෂග්‍රාහී කාචයකින් නොබැලිය යුතුබව යි.
"අපරාධකාරයින්ට ආගමක් හෝ කුලයක් නෑ. මම සියලු දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා, මේ අපරාධය දිහා හින්දු-මුස්ලිම් කාචයකින් බලන්න එපා,"යි පැවසූ ඔහු, "මේක කණගාටුදායක සිදුවීමක්. මේකෙන් ප්‍රාන්තයෙ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්න මතුකරනවා,"යි ද පැවසීය.
"තවමත් ප්‍රාන්තේ ඇතුළෙ මාෆියා කල්ලි ගොඩක් ඉන්නවා. නමුත් ඔවුන් මෙහෙම මරාදාන්න හොඳ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ පාපයන් තේරුම් යන විදියට හිරබාරයේ තියාගන්න ඕන."
අතිරේක වාර්තාකරණය අන්කිත් ශ්‍රිනිවාස්, ප්‍රයාග්රාජ් සිට