ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වියැකී යන ඉන්දියාවේ තනි-තිර සිනමා ශාලා තෙවන ඇසින්
- Author, චෙරිලන් මෝලන්
- Role, බීබීසී පුවත්, මුම්බායි
වරෙක තනි-තිර සිනමා ශාලා දහස් ගණනක් ඉන්දියාව පුරා විහිදී තිබිණි. බහුතිර සිනමා ශාලා බිහි වීම හේතුවෙන් ඒවා ක්‍රමයෙන් අභාවයට ගිය අතර දැන් ඉතිරිව ඇත්තේ ඒවායින් සිය ගණනක් පමණි. සිනමාවේදී හේමන්ත් චතුර්වේදි මිය යන සම්ප්‍රදායක අවසාන ශේෂයන් ගැන ගැන විස්තර කළේය.
ඉන්දියාවේ තනි-තිර සිනමා ශාලා විශාල ප්‍රේක්ෂක පිරිසකට අසුන් ගැනීම සඳහා ඉදිකරන ලද විශාල ගොඩනැගිලි වූ අතර ඒවා විවිධ ගෘහනිර්මාණ ශෛලීන්ගෙන් අනූන විය.
චතුර්වේදි සිය ව්‍යාපෘතිය 2019 වසරේදී ආරම්භ කළ අතර මේ වන විට ප්‍රාන්ත 15ක් පුරා සිනමා හල් 950ක් ඡායාරූපගත කර ඇත.
"ගෙවුණු වසර 25 තුළ තනි-තිර සිනමා ශාලා සංඛ්‍යාව 24,000 සිට 9,000 දක්වා අඩු වෙලා," ඔහු පවසයි. ඇතැම් ඒවා වෙළෙඳ සංකීර්ණ සහ ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ සැලසීම සඳහා කඩා ඉවත් කර ඇති අතර අනෙක් ඒවා ඔවුන්ගේ ගනුදෙනුකරුවන් [ප්‍රේක්ෂකයින්] අහිමි වීමෙන් නටබුන් බවට පත් වී ඇත.
"ඉන්දියාවේ සිනමා-නැරඹුම් සංස්කෘතිය නිර්මාණය වෙන්න හේතු වුණේ මේ සිනමා හල්. ඒවා ඉන්දියාව පුරා කුඩා ම නගරවල පවා සිටි මිනිස්සුන්ට චිත්‍රපට රස විඳින්න අවස්ථාව සැලසුවා," චතුර්වේදි පවසයි.
ඔහුට මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස ඇති වූයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහබාද් නගරයේ පිහිටි ඔහුගේ මහගෙදර වෙත ගිය අවස්ථාවකදී ය.
එහිදී ඔහු කුඩා කාලයේ නිතර ගිය 'ලක්ෂ්මි ටෝකීස්' නම් සිනමා ශාලාවට නැවත ගියේ ය. නමුත් එය දැන් වසා දමා ඇත. ගරාවැටුණු ගොඩනැගිල්ල තුළ රඟහල නම් කරන ලද දේවතාවියකගේ [ලක්ෂ්මි] ප්‍රතිමාවක් වූ නමුත් එය දූවිලිවලින් වැසී ගොස් තිබුණු අතර එහි එක් හස්තයක් ද නොමැති විය.
චතුර්වේදි පවසන්නේ නාගරීකරණය හේතුවෙන් නගරයට එහි ඉතිහාසයෙන් වැඩි කොටසක් අහිමි වන ආකාරය එම සිදුවීම තමාට අවබෝධ කර දුන් බව ය. එතැන් සිට ඉන්දියාවේ තනි-තිර සිනමා හල් පිළිබඳව වාර්තා කිරීමේ ඔහුගේ ගවේෂණය ආරම්භ විය.
උත්තර් ප්‍රදේශ්හි නිරංජන් ටෝකීස් 1940 ගණන්වල ඉදිකරන ලද නමුත් 1989 වසරේදී පමණ දේපළ පිළිබඳ ආරවුලක් හේතුවෙන් එය වසා දැමිණි.
එහි උච්චතම කාලවල, එය ඉඩකඩ සහිත, ආර්ට් ඩෙකෝ රටාවලින් හැඩ ගැන්වුණු සහ සන්බර්ස්ට් මොසෙයික් පොළොවක් සහිත ආකර්ෂණීය ගොඩනැගිල්ලක් විය. සිනමා හල දැන් නටබුන් බවට පත් වී ඇති නමුත් එහි ශ්‍රේෂ්ඨත්වයේ සලකුණු කාලයක් පුරාවට සිදු වූ විනාශයෙන් බේරී ඇත.
"ඒක අලහබාද් නගරයේ ප්‍රථම වායුසමනය කළ සිනමා හල කියලා විශ්වාස කරනවා," චතුර්වේදි පවසයි.
"ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවෙන් එළියට එද්දී ඒක ඇතුළෙන් එන වායුසමීකරණය කළ වාතය විඳගන්න එයාලගේ ආච්චිලා සීයලා චිත්‍රපටියක් ඉවර වුණා ම පිටවීමේ දොරටුව ගාව රැස් වුණු විදිය ගැන ප්‍රදේශවාසීන් මට කිව්වා."
රාජස්ථාන් ප්‍රාන්තයේ 'ගංගා ටෝකීස්' එකල පාලනයේ සිටි රජු විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ.
පසුගිය වසර 20 පුරාවට සිනමා ශාලාව වසා දමා තිබුණ ද දූවිලි සහිත මුළු සහ ගරා වැටුණු බිත්ති මත ෂම්මි කපූර්ගේ 1961 වසරේ ජනප්‍රිය වුණු ජංග්ලී (Junglee) සහ නාර්ගීස්ගේ අවසාන චිත්‍රපටය වූ 1967 වසරේ තිරගත වුණු රාත් ඕර් දින් (Raat Aur Din) යන චිත්‍රපටවල මුල් පෝස්ටර් ඇතුළු මතක සටහන් රැසක් කෙනෙකුට හමු විය හැක.
බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි 'විජයානන්ද ටෝකීස් 1914 වසරේදී ඉදිකරන ලද්දකි.
ප්‍රදේශයේ ජනප්‍රවාදවලට අනුව, ඉන්දියාවේ ප්‍රථම දිගු වෘතාන්ත චිත්‍රපටය වන 'රාජා හරිශ්චන්ද්‍ර' (Raja Harishchandra) නිර්මාණය කළ දාදාසාහේබ් ෆාල්කේ (Dadasaheb Phalke) මෙම සිනමා ශාලාව අසල ඉඩමක ගස් දෙකක් අතර බැඳි සුදු රෙද්දක් මත කළු සහ සුදු චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පුරුදුව සිට ඇත.
"චලනය වන රූප දැකලා මිනිසුන් බයට පත් වුණා කියලා සහ ඒක යක්ෂ බලවේගයක ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට මිනිස්සු හිතුවා කියලා සඳහන්. ඒ නිසා ඒ මිනිස්සු දාදාසාහේබ් ප්‍රතික්ෂේප කරලා, ඔහුගේ ප්‍රොජෙක්ටරය කඩලා ඔහුගේ චිත්‍රපටවලට ගිනි තැබුවා," චතුර්වේදි පවසයි.
"ඔහු සිනමාව නමැති නව තාක්‍ෂණයක් පෙන්වන බවට ත් එය 'ජාදූ ටෝනා' (යක්ෂ බලවේගයක්) නොවන බවට ත් ජනතාව දැනුවත් කරන්න පොලිසියට සිදුවුණා."
නාට්‍ය සහ සංගීත සංදර්ශන සඳහා බොහෝ රංග ශාලා තිබුණු 1800 ගණන්වල 'ප්ලේ හවුස්' ලෙස හැඳින්වූ ප්‍රදේශයක මුම්බායිහි 'රෝයල් ටෝකීස්' පිහිටා ඇත. 1900 ගණන්වල ඉන්දියාවට සිනමාව පැමිණීමෙන් පසු ඒවා [රංග ශාලා] චිත්‍රපට ශාලා බවට පරිවර්තනය විය.
"තාමත් ඉතුරු වෙලා තියෙන ඒ ශාලාවල තමන්ගේ ඉදිරිපත් කිරීමට කලින් හෝ ඒ අතර තුර නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට ඉන්න හදපු විශේෂිත ප්‍රදේශ වගේ ම තිරය පිටුපස වේදිකා පවා තියෙනවා," චතුර්වේදි පවසයි. "රෝයල් ටෝකීස් සිනමා ශාලාවේදී මට 1950 ගණන්වල සහ 1962 ගණන්වල පරණ ලිපි ශීර්ෂ දෙකක් හම්බ වුණා. 'ප්ලේ හවුස්' යන යෙදුම ඒ ප්‍රදේශයට භාවිත කළ බවට මම සොයා ගත්ත පළමු සහ එක ම භෞතික සාක්ෂිය තිබුණේ ඒවායේ," ඔහු සඳහන් කරයි.
ගුජරාටයේ පැරණි වධාවන් ප්‍රදේශයේ, සිත් ඇදගන්නාසුළු පසුබිමක් ඇති හුදකලා ටිකට් කවුළුවක් සහිත අබලන් ගොඩනැගිල්ලක් ඉතිරිව ඇත.
ජනප්‍රවාදවලට අනුව, වධාවන් රජු 1896 වසරේදී මුම්බායි (එවකට බොම්බේ ලෙස හැඳින්විය) සංචාරයකදී රුපියල් 10,000කට (ඩොලර් 121; පවුම් 99) කට ලුමියර් බ්‍රදර්ස් විසින් නිපදවන ලද මුල් චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් [cinématographe] වෙන් කරවා ගෙන තිබේ.
ඉන් වසර දහයකට පසු ප්‍රක්ෂේපණ යන්ත්‍රය ලැබී ඇත. එය විවෘත රංග ශාලාවේ ස්ථාපනය කරනු ලැබ ඇති අතර, චතුර්වේදි පවසන පරිදි එය ඉන්දියාවේ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කළ පළමු සිනමා ශාලාව බවට පත් වී ඇත. අද වන විට ඉතිරි වී ඇත්තේ එහි ප්‍රවේශ පත්‍ර කවුළුව පමණි.
මහාරාෂ්ට්‍රයේ ෂෝලාපූර් නගරයේ පිහිටි භග්වත් චිත්‍ර මන්දිර් 1935 වසරේදී ඉදිකරන ලද විශාල සිනමා ශාලාවකි.
වයස අවුරුදු පහේදී ලතා මංගේෂ්කාර් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ගායනාවක් ඉදිරිපත් කළේ එම ශාලාවේදී බව එහි හිමිකරුවෝ පවසති.
ඔවුහු එම පරිශ්‍රය තුළ ම තවත් සිනමා හල් තුනක් ඉදි කළහ. " ඉන්දියාවේ බහුතිර සිනමා ශාලා සංකල්පයේ නිර්මාතෘවරුන් ඔවුන් බව හිමිකරු ඉතා කැමැත්තෙන් කිව්වා," චතුර්වේදි පවසයි.
ඉන්දියාවේ තනි-තිර සිනමා හල් 36කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කළ ඩබ්ලිව්.එම්. නම්ජෝෂි විසින් ඡායා මන්දිර්, කලා මන්දිර් සහ උමා මන්දිර් යන මෙම සිනමා හල් තුන ඉදිකරන ලදී.
"සිනමා ශාලා හතර ම ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යන කාලයක් තිබුණු ආකාරය සහ ඔහු හා ඔහුගේ පියා එළිමහනේ ටිකට් ඉල්ලා කෑගසන විශාල ජනකාය විසුරුවා හැරීමට වහලයෙන් රතිඤ්ඤා විසි කළ ආකාරය ගැන අයිතිකරු මට කිව්වා," චතුර්වේදි සිහිපත් කරයි.
මුම්බායිහි නිශාත් සිනමා ශාලාව අලුත්වැඩියා කිරීම සඳහා දිගු කලක් වසා දමා තිබූ අතර බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුනරාගමනය සිදු වූ පඨාන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා පසුගිය දා එහි දොරටු විවෘත කරන ලදී.
ශාලාව ප්‍රේක්ෂකයින්ගෙන් කෙතරම් පිරී ගියේ ද යත්, දශක ගණනාවක් තිස්සේ භාවිත නොකළ නිසා ත් කොහේදැයි නොදැන සිටි නිසා ත් අයිතිකරුවන්ට අසල්වැසි සිනමා ශාලාවකින් 'හවුස්ෆුල්' පුවරුවක් ලබා ගැනීමට සිදු විය.
"චිත්‍රපටය නිකුත් වූ පසු බොහෝ අය මට පණිවිඩ එව්වේ ඒක ඉන්දියාවේ තනි-තිර සිනමා හල් නැවත පණ ගැන්වුවා කියලා. ඒ වගේ ම මට ඔවුන්ට කියන්න පුළුවන් එක ම දේ තමයි: පාඨාන්වලට පස්සේ මොකද වෙන්නේ? සිනමා හල් නැවත අභාවයට යයි ද?."