ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රැඟුම් පාලක මණ්ඩලයට එරෙහිව බොලිවුඩ් සිනමාවත් සටනේ
හින්දි සිනමාවේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ නව චිත්‍රපටය 'උද්තා පන්ජාබ්' (Udta Punjab) බොලිවුඩ් සිනමාවේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ සිනමා නිර්මාණ ලැයිස්තුවේ අට වන ස්ථානය ලබා ගෙන සිටියි.
කෙසේ වෙතත් මින් මාසයකට පෙර ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් එල්ල වූ දැඩි වාරණ හමුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වේ යැයි උද්තා පන්ජාබ් නිෂ්පාදකයෝ දැඩි කනස්සල්ලට පත් වූහ.
චිත්‍රපට ප්‍රදර්ශන බලපත් නිකුත් කිරීමේ ඉන්දීය බල මණ්ඩලය විසින් 'උද්තා පන්ජාබ්' නිෂ්පාදකයන්ට චිත්‍රපටයේ දර්ශන 94ක් කපා දමන ලෙස නිර්දේශ කිරීමත් සමග බොලිවුඩ් ජේෂ්ඨයෝ එරට රැඟුම් පාලක මණ්ඩලය ඉතා 'අතාර්කික' බවට චෝදනා ඉදිරිපත් කරමින් විවේචන එල්ල කිරීමට පටන් ගත්හ.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයෙකු වටා ගෙතුණු 'උද්තා පන්ජාබ්' චිත්‍රපටයේ ඉවත් කළ යුතු බවට ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් නිර්දේශ කෙරුණු දර්ශන සියල්ලම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම්, පරුෂ වචන ඇතුළත් දර්ශන සහ සිනමා නිර්මාණය සම්පූර්ණ කිරීමට ඉතාමත් වැදගත් සංවේදී දර්ශනයි.
කෙසේ වෙතත් රැඟුම් පාලක මණ්ඩලයේ නිර්දේශ වලට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කළ අනුරාග් කාශ්‍යප් ඇතුළු 'උද්තා පන්ජාබ්' නිෂ්පාදකවරු මුම්බායි අධිකරණයේදී සිය නිර්මාණය එළි දැක්වීමට අවසර ලබා ගැනීමට සමත් විය.
'විශ්මයට පත් වුනා'
ශාහිඩ් කපූර් විසින් පණ පොවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විශාල පිරිසක් ඉදිරියේ මුත්‍රා පහ කරන දර්ශනයක් පමණක් කපා දමන මෙන් නියෝග කළ මුම්බායි අධිකරණය, රැඟුම් පාලක මණ්ඩලයේ අනිකුත් සියලුම නිර්දේශ බැහැර කළ අතර චිත්‍රපටය ප්‍රදර්ශනයට සුදුසු බවට තීන්දුවක් ලබා දුන්නේය.
'උද්තා පන්ජාබ්' මංගල දර්ශනය පැවැත්වීමට දින දෙකකට පෙර නීති විරෝධී ලෙස එහි පිටපතක් පිට වී තිබුනත් චිත්‍රපටය නැරඹීමට ඉන්දීය සිනමා හල වලට ඇදෙන ජනකාය තමන් විශ්මයට පත් කළ බවයි ශාහිඩ් කපූර් බීබීසියට කියා සිටියේ.
චිත්‍රපටයේ නිර්මානාත්මක ගුණය ආරක්ෂා කර ගැනීමට දර්ශන ඉවත් කිරීමකින් තොරව 'උද්තා පන්ජාබ්' ප්‍රදර්ශනය කළ යුතු බවට ඉදිරිපත් වූ පිරිස් සහ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ ක්‍රියා කලාපය අනුමත කළ කණ්ඩායම් අතර වූ විරසකය කෙතරම් දුරට පතිරුනේද යත් ඉන්දීය විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පවා විවාදයට මැදිහත් විය.
සමාජයේ දැවෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කරන කලා නිර්මාණයක් පිළිබඳව ජනතාව අතර ඇතිවන විශාල මත භේදාත්මක විවාද තුළින් සමාජය කොතෙක් දුරට අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඒ චිත්‍රපටය දායක වනවාද යන්න මේ වන විට ඇතැම් ඉන්දීය ව්‍යාපාර අධ්‍යයන ආයතන වල දේශන පවා පැවැත්වෙයි.
'චිත්ත ධෛර්යයක්'
'උද්තා පන්ජාබ්' එම ව්‍යාපාර අධ්‍යයන දේශකයන්ගේ ප්‍රධාන උදාහරණය බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් එක් චිත්‍රපටයක් සිය නිර්මාණාත්මක ගුණය ආරක්ෂා කර ගැනීමට කළ සටනින් ජය ගැනීම සම්පූර්ණ බොලිවුඩ් සිනමාව රැඟුම් පාලක මණ්ඩලයේ මර්ධනයෙන් තොර වීමක් ලෙස තමන් නොදකින බවයි උද්තා පන්ජාබ් ප්‍රධාන චරිතයකට පණ පොවන ප්‍රවීණ නිළි ආලියා බාත් පවසන්නේ.
ඇය වැඩි දුරටත් කියා සිටියේ මේ මර්ධනය සිනමාවක් ලෙස ජය ගැනීමට නම් ඒ සටන නොනවත්වා ඉදිරියට ගෙන යාමට අවශ්‍යය බවයි.
ඉන්දියාවේ රැඟුම් පාලක මණ්ඩලය සවි බල ගැන්වෙන 1952 පිහිටවූ සිනමාකරණය පිළිබඳ නීතිය ඉතාමත් නොපැහැදිළි හිඩැස් සහිත එකක් බැවින් එය නිර්වචනය කිරීමට රාජකාරිය පැවරුණු බලධාරීන් අසීමිත බලයක් භුක්ති විඳින බවයි ආලියා බාත් පවසන්නේ.
ඇතැම් චිත්‍රපට වලට වයස් සීමා පැනවීම අවශ්‍යය වුනත් මෙවන් අතාර්කික, නිර්මාණාත්මක හැකියාවන් මර්ධනය කරන රැඟුම් පාලක මණ්ඩලයක් ඉන්දීය සිනමාවට අනවශ්‍ය බවයි යොවුන් තරුව වැඩි දුරටත් තර්ක කරන්නේ.
උද්තා පන්ජාබ් චිත්‍රපටය ලද ජයග්‍රහණය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් නිර්මාණකරුවන්ට අසාධාරණ සහ අතාර්කික රැඟුම් පාලක මණ්ඩල නිර්දේශ වලට එරෙහිව සිය නිර්මාණ වෙනුවෙන් සටන් කිරීමට විශාල චිත්ත ධෛර්යයක් සපයනු ඇති බවයි සිනමා විචාරකයෝ පවසන්නේ.
ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය සමග දිගින් දිගටම ගැටෙන ඉන්දීය සිනමා නිර්මාණ සම්බන්ධයෙන් බොලිවුඩ් තරු සමග බීබීසි ආසියානු මාධ්‍ය ජාලයේ හරුන් රාශිඩ් කළ සාකච්ඡාවක් ඇසුරෙන් පවිත්‍රා පෙරේරා සකස් කළ ලිපියකි.