දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය: ගැහැණු සයිකොපැත් කෙනෙකුගේ ජීවිතය කුමනාකාර ද?

දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය (psychopathy) යනු සිත්ඇදගන්නාසුළු වනවා සේම පිළිකුලක් ද දනවන ආබාධයකි - ඒ, "දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකු හඳුනාගන්නේ කෙසේ ද" යන්න සාකච්ඡා කෙරෙන වෛරල් වූ TikTok වීඩියෝ මඟින් නිදර්ශනය කර ඇති ආකාරය යි. නමුත් දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය වටා ඇති අපකීර්තිය නිසා එය කුමක්දැ යි අවබෝධ කරගැනීම - විශේෂයෙන් කාන්තාවන් තුළ ඇතිවූ විට - අපහසු කෙරෙයි.

වික්ටෝරියා තම පෙම්වතාට බිරිඳක් සිටිනබව දැන සිටියා ය. නමුත් වසර කිහිපයකට පසු, ඔහුට තවත් පෙම්වතුන් සිටිනබවට ඇයට සැක පහළවිය.

ඒ ගැන කිසිදු සාක්ෂියක් නැතත්, ඔහුගේ ශරීර භාෂාව හේතුවෙන් මෙසේ සැක මතුවූබව ඇය පවසයි. ඔහු කියූ කතන්දර එකිනෙකට එකක් ගැලපුණේ නැත. ඔහු අසත්‍යයක් පවසන විට ඔහුගේ මුහුණෙහි වෙනසක් ඇතිවිය.

"සංවාද සම්බන්ධයෙන් ගත්තොත් මට විශිෂ්ට මතකයක් තියෙනවා," ඇය පවසයි. "එයා කොහෙත්ම හොඳ බොරුකාරයෙක් නම් නෙවෙයි. එයාගේ බිරිඳට [එයාගේ හොර වැඩ] අහුවුණේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බැහැ."

වික්ටෝරියාගේ මනස තුළ, ඔහුට දිය යුතු දඬුවම් ලැයිස්තුවක පිටු පෙරළී ගිය අතර ඉන් එක පිටුවක ඈ නතරවිය. එම දඬුවම සඳහා වැයවන්නේ සුළු කාලයක් වනවා සේම, තමා කිසිවක් නොදන්නා ලෙස හැසිරීමට ඇයට සිදුවේ.

මීළඟ මාස කිහිපය පුරාවට ඔහු සමග ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන ගිය වික්ටෝරියා, තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප ඔහුගේ බිරිඳට යැවුවා ය.

මහත් පීඩාවට පත්වූ ඔහු එවැනි දෙයක් සිදුකරනු ඇත්තේ කවුරුන්දැ යි විමසමින් ඇය හමුවීමට ආවේ ය. ඔහුගේ බිරිඳ මහත් ශෝකයට පත්ව සිටියා ය. තමා වෙනත් කාන්තාවන් සමග ද ලිංගික සබඳතා පවත්වමින් සිටිනබවට ඔහු වික්ටෝරියාට පාපොච්චාරණය කළේ ය. ඔහු ඇය සැක නොකළ අතර, ඇය ඔහු සැනසුවා ය.

මීළඟට, සබඳතාව එපාවීමෙන් එය අවසන් කිරීමට සූදානම් වූ ඇය, ඔහුගේ බිරිඳට අවසන් පින්තූර ගැලරියක් යැවුවා ය. එහි අවසන් ඡායාරූපය, ඔවුන් දෙදෙනාම දන්නා පුද්ගලයා සමග ඇය ද පෙනී සිටින ඡායාරූපයකි. එම මහා පිපිරුමත් සමග වික්ටෝරියා සදහටම ඔවුන්ගේ දිවියෙන් ඉවත්ව ගියා ය.

ඇය මෙම කතාව වෙනත් පුද්ගලයින් හා පැවසීමට හුරුව සිටි අතර, ඇගේ බරක් පතලක් නැති ස්වභාවය ඔවුන් තුළ චකිතයක් ඉපදවිය. "ඒ අය මගෙන් ඇහුවා, 'ඇයි ඔයා එයාගේ වයිෆ්ට එහෙම දෙයක් කළේ? එහෙම දුකක් ලබන්න තරම් ඒ ගෑණු කෙනා ඔයාට මොනවා ද කළේ? එයා ඔයාට රිද්දුවේ කොහොමද?'" ඇය පවසන්නී ය. "එතකොට මම හිතුවා, 'හොඳයි, ජීවිතේ අසාධාරණ යි' කියලා."

ඇය කතාව මඳකට නවතයි.

"මං හිතන්නේ, ඒක මට තිබ්බ ආන්තික මනෝව්‍යාධි ලක්ෂණේකට හොඳ උදාහරණයක්. නිර්දයකම."

දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය (psychopathy) නිල මානසික සෞඛ්‍ය රෝග විනිශ්චයක් නොවන අතර, මානසික ආබාධ පිළිබඳ සංඛ්‍යානමය අත්පොත වන Diagnostic and Statistical Manual of Mental Disordersහි පස්වන සහ නවතම සංස්කරණයේ ලැයිස්තුගතකර ද නැත. එනමුත් සායනික පරිසරය තුළ මෙම යෙදුම බහුලව භාවිතාවේ.

පොදු අවබෝධය වන්නේ, එය ස්නායු මනෝචිකිත්සක (neuropsychiatric) ආබාධයක් වනබව යි. මෙහිදී පුද්ගලයෙකු බොහෝවිට සමාජවිරෝධී සහ ඇතැම්විට සාපරාධී හැසිරීම් පෙන්වන තරමට ඔහුගේ සහකම්පන සහ අනුතාප මට්ටම් පහත් ය. මෙම යෙදුම 1900 ගණන්වල මුල්භාගයේ දී යුරෝපයේ සහ එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් විසින් භාවිතා කෙරුණු අතර, 1941 වන විට ප්‍රධාන ධාරාවට එක්විය.

වොෂින්ටන් ඩීසීහි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥවරියක සහ ස්නායු විද්‍යාඥවරියක වන ඇබිජේල් මාෂ් මෙසේ පවසයි: "ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය කියනා යෙදුමට නිර්වචනයක් ලබාදෙන්න බොහෝ විවාද සිදුකරලා තිබෙනවා."

"ඔබ කතා කරන්නේ අධිකරණ මනෝවිද්‍යාඥයෙකුට ද, නැත්නම් අපරාධ විද්‍යාඥයෙකුට ද කියන එක මත, ඔබට දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය සම්බන්ධයෙන් ලැබෙන පැහැදිලි කිරීම පුළුල් ලෙස වෙනස්වෙන්න පුළුවන්."

ආචාර්ය මාෂ් පවසන්නේ, අපරාධ මනෝවිද්‍යාඥයින් මිනිසුන් දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය ඇති හෝ නැති තැනැත්තන් ලෙස වර්ග කරන්නට පෙළඹෙන්නේ ඔවුන් ප්‍රචණ්ඩකාරී සහ ආන්තික හැසිරීම් ප්‍රදර්ශනය කරනවිට පමණක්බව යි. කෙසේ වෙතත්, ඇයට අනුව මෙම තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකි අන්දමේ වෙනත් අඩු නාට්‍යානුරූපී හැසිරීම් ද සහිතව, විරුද්ධ අන්තයන් දෙකක් ලෙස නොව වර්ණාවලියක් වශයෙන් පෙන්නුම් කරයි.

සාමාන්‍ය ජනගහණයේ සෑම පුද්ගලයන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු, දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය සඳහාවන නිර්ණායක සපුරාලන්නේය යන්නට සාමාන්‍යයෙන් මනෝවිද්‍යාඥයින් සහ මනෝවෛද්‍යවරුන් එකඟවෙයි. නමුත් ආචාර්ය මාෂ් පවසන්නේ ජනගහණයෙන් 30%ක් පමණ දෙනා යම් තරමකට හෝ දුශ්චරිතාත්මක මනෝව්‍යාධි ලක්ෂණ පෙන්නුම් කරනබව යි.

දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය පිළිබඳ බොහෝ පර්යේෂණ සිය අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ජනතාව කෙරෙහි නොව අපරාධකරුවන් කෙරෙහිබව ඇය පවසයි. ඇතැම් අධ්‍යයනයන්ගෙන් පෙනීයන්නේ මෙම තත්ත්වය කාන්තාවන්ට වඩා පිරිමින් අතර බහුල වග නමුත්, ඒ, මේ සඳහා වන සම්මත පරීක්ෂණය නිර්මාණය කෙරුනේ 1970 ගණන්වල පිරිමි සිරකරුවන් හා පර්යේෂණ කළ කැනේඩියානු මනෝවිද්‍යාඥයෙකු විසින් නිසා විය හැකියැ යි ආචාර්ය මාෂ් තර්ක කරයි.

අධ්‍යයනයන් විශාල සංඛ්‍යාවක් විශ්ලේෂණයකර ඇති, මැඩ්රිඩ් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂිකාවක වන ඇනා සන්ස් ගාෂියා BBC වෙත කියා සිටියේ, සාමාන්‍යයෙන් දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය පෙළෙන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට සහ අපරාධ සිදුකිරීමට අඩු නැඹුරුවක් දක්වන නමුත් අන්තර්පුද්ගල බලපෑම් නිර්මාණය කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේයැ යි පර්යේෂකයන් විසින් අනාවරණයවී ඇතිබව යි.

ප්‍රධාන ලක්ෂණ

ආචාර්ය ඇබිජේල් මාෂ් සම-ආරම්භකයෙකු වන PsychopathyIs.org වෙබ් අඩවියට අනුව, ආන්තික දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකු තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි:

  • අන්තර්පුද්ගල සබඳතා වෙත දක්වන නිර්දය හා ආත්මාර්ථකාමී ප්‍රවේශය
  • අන් අයගේ දුක හෝ පීඩාව සඳහා සහකම්පනයක් දැක්වීමට අපොහොසත්වීම
  • අන් අයට රිදවීමෙන් හෝ නීති කඩකිරීමෙන් පසු පසුතැවිලි නොවීම
  • අනන්‍යතාව හෝ ආත්මභාවය පිළිබඳ ඉතා කුඩා හැඟීමක් පමණක් තිබීම
  • අවශ්‍ය දෑ ලබාගැනීම සඳහා අනෙකුන්ට වක්‍රව බලපෑම් කිරීම
  • අවදානම් හෝ අනතුරුදායක ක්‍රියාකාරකම්වල යෙදීම
  • පිටතට ඉතා සිත් ඇදගන්නාසුළු වීම

වික්ටෝරියා පවසන්නේ, ඇය ද අනෙකුන්ට වක්‍රව බලපෑම් කිරීමේ හැසිරීමක් පෙන්වීම ඇරඹුවේ ඇය මැලේසියාවේ දී ගෙවූ ළමා කාලය තුළ විනෝදයෙන් සිටීමේ මාර්ගයක් ලෙස බව යි.

පියාගේ බීමත්කම නිසා ඇගේ ගෘහ ජීවිතය අසතුටුදායකවූ අතර, ඇය පාසලේ දී අධ්‍යාපනික වශයෙන් ඉහළ ස්ථානයක පසුවුව ද, බොහෝ විට අලසකමින් දිවි ගෙවා තිබුණි. විනෝදය ලැබීම සඳහා, ඇය කිසිවෙකුටත් හෙළි නොකරනබවට පොරොන්දුවීමෙන් පසු යහළුවන් ඇයට පැවසූ රහස් - කවුරුන් කාට වෛර කළේ ද, කවුරුන් කා කෙරෙහි ඇල්මක් දැක්වීද වැනි - එකිනෙකාට හෙළිකළා ය. ද්විතීයික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඇතිවූ ඇතැම් ආතතිකර තත්ත්වයන් බොහෝවිට ඇයට සම්බන්ධවී තිබිණි. වික්ටෝරියා, තම වැරදි සඳහා වගකීම භාරගැනීමට අන්‍යයින් පොළඹවන්නේ කෙසේදැ යි ද හෝ, කරදරයෙන් මිදීමට කුමක් කිව යුතුදැ යි ද යන්න දැන සිටියා ය. සම වයසේ මිතුරන්ගෙන් එල්ලවූ බලපෑම් නිසා තමා ඇයට හුණු කූරකින් දමාගැසූබව ගුරුවරියකට ඒත්තු ගන්වන්නට ඇය සමත්විය.

"ඇයට අසන්න අවශ්‍යවෙලා තිබුණේ ඒක," ඇය පවසයි. "ඇයට අවශ්‍යවෙලා තිබුණේ දක්ෂ දරුවා නරක දරුවෙක් නෙවෙයි, නමුත් පහසුවෙන් මෙහෙයවන්න පුළුවන් දරුවෙක් කියලා විශ්වාස කරන්න යි."

ඝන, තැඹිලි පැහැ, වැනෙන බළල් වලිගයක් හදිසියේම වීඩියෝ ඇමතුම් තිරයෙන් මතුවී වික්ටෝරියාගේ කම්මුල මෘදු ලෙස කිතිකැවූ හෙයින් ඇගේ කතාවට බාධාවක් එල්ලවිය.

"මෙයාගේ නම ජිබරිෂ් (තේරුමක් නැති දෙඩවිලි)," ඇය තිරයෙන් එපිට මේසය මත සිටින සිරුරක් සුරතල් කිරීමට අත දිගු කළා ය.

ඒ ඔහුගේ සත්‍ය නමදැ යි මම ඇසීමි.

"එයාට ගොඩක් නම් තියෙනවා," ඇය පිළිතුරු දුන්නා ය.

මෑතකදී "දුශ්චරිතාත්මක මනෝව්‍යාධි අභියෝගය" යන මාතෘකාව යටතේ වීඩියෝ කිහිපයක් TikTokහි වෛරල්වී ඇති අතර, ඒවා මිලියන 20කට වැඩි නැරඹුම් වාර ගණනක් රැස්කරගෙන තිබේ. ඒවා, "දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකු හඳුනාගන්නේ කෙසේදැ"යි නරඹන්නන් හා සාකච්ඡා කරයි. "Psychopath" යන හෑෂ්ටැග් එක බිලියන දෙකකට අධික දර්ශන වාර සහිත, ඇප් එක තුළ වඩාත්ම ජනප්‍රිය එකකි. එම හෑෂ්ටැග් එක යටතේ, දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයින්ගේ නඩු විභාගවල දර්ශන ඇතුළුව විෂයයන් කිහිපයක් සලකුණු කිරීමට භාවිතාකරන අතර, ඇතැම්විට අයහපත් හැසිරීම් සඳහා භාවිතා කෙරෙන අපහාසයක් ලෙස ද යොදාගැනේ. මෙහිදී පැහැදිලි වන දෙය නම්, ජනයා දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය, සහ එය ඇති තැනැත්තන් සිත් ඇදගන්නාසුළුයැ යි මෙන්ම පිළිකුල්සහගත විෂයයක් ලෙස ද සලකනබව යි.

වික්ටෝරියාට මෙම වීඩියෝ පිළිබඳ අප්‍රසාදයක් නැත.

"දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකුවීමේ කොටසක් තමයි මිනිස්සු හිතන පතන දේ ගැන සැලකිල්ලක් නොදක්වන එක. ඒනිසා මේවායින් මට ප්‍රශනයක් නැහැ," ඇය පවසයි. "නමුත් එයින් පෙන්නුම් කරන්නේ මෙම තත්ත්වයේ සම්පූර්ණ වර්ණාවලිය ගැන මිනිස්සුන්ට තියෙන්නේ කොච්චර පටු අවබෝධයක් ද කියන එක."

ඇය ව්‍යතිරේකයක් ලෙස සලකන්නේ, දුශ්චරිතාත්මක මනෝව්‍යාධිකයන් සතුන්ට හිංසා කිරීමට වැඩි නැඹුරුවක් දක්වනවා ද යන්න සාකච්ඡා කරන වීඩියෝ ය.

"අපෙන් වැඩිදෙනෙක් මිනිසුන්ට වඩා සතුන්ට කැමැතියි," ඇය කෙටියෙන් පවසන්නේ, තිරයට නොපෙනෙන ස්ථානයක සිට පුරු පුරු ගානා ජිබරිෂ් දෙස බලමිනි.

වික්ටෝරියා සඳහන් කරන "අප" යනු ඇය වැනි කාන්තාවන්ගෙන් සැදි ඔන්ලයින් ප්‍රජාවකි. එය බොහෝදුරට කේන්ද්‍රගතවන්නේ දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය සහිත වඩාත් ප්‍රසිද්ධ කාන්තාවන්ගෙන් අයෙකු වන, ලේඛිකා එම්. ඊ. තෝමස්ගේ බ්ලොග් අඩවිය වටා ය.

ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයයේ අධිකරණ මනෝවිද්‍යාඥ ජෝන් ඊඩන්ස් විසින් දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය සඳහා තක්සේරු කරනු ලැබූ තෝමස්, එම පරීක්ෂණයෙන් 99%කට වඩා ලකුණු ලබාගත්තා ය.

තෝමස්ගේ Sociopath World බ්ලොග් අඩවිය, දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය සමග දිවිගෙවීම කෙබඳු ද යන්න විස්තර කරයි. ඇය "දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකු" වෙනුවට "සමාජ මනෝව්‍යාධියෙකු" (sociopath) යන යෙදුම භාවිතා කර ඇත්තේ එය වැඩිදෙනෙකු තේරුම්ගනු ඇති යෙදුමක් ලෙස ඇයට හැඟුණු නිසාවෙනැ යි ඇය පවසයි. මනෝවිද්‍යාඥ ඇබිජේල් මාෂ් පවසන්නේ එය ඇතැම් විට "දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙකු" යන වචනය වටා ඇති අපකීර්තිය පිළිබඳව දැනුවත් පුද්ගලයන් විසින් භාවිතා කෙරෙනබව යි.

සාහිත්‍ය නියෝජිතයෙකු තෝමස්ගේ බ්ලොග් අඩවිය දුටු අතර එය පොතක් ලිවීමේ ගිවිසුමකට හේතුවිය: 'A Life Spent Hiding in Plain Sight' 2012 දී ප්‍රකාශයට පත්වූ අතර එය භාෂා 10කට වැඩි ගණනකට පරිවර්තනය කෙරිණි. නිළි ලිසා එඩල්ස්ටයින් රංගනයෙන් දායකවන චිත්‍රපටයක් මේ වන විට නිපදවෙමින් පවතියි.

"මම මාව දකින්නේ සූත්‍රයක් ලෙස මිස පුද්ගලයෙකු ලෙස නෙවෙයි," තෝමස් පවසන්නී ය. "ඒක හරියට මම ප්‍රතිඵලය ගණනය කිරීමෙන් පස්සේ මට කියන්න පුළුවන් මොනවා ද, කරන්න පුළුවන් මොනවා ද කියන එක තීරණය කරන්න පාවිච්චි කරන එක්සෙල් ස්ප්‍රෙඩ්ෂීට් එකක් වෙලා ඉන්නවා වගේ."

තෝමස් ගෙනහැර පෑ එක් උදාහරණයක් වන්නේ, යමෙකුගෙන් යමක් අවශ්‍යවූ විට තමා ඔවුනට ආදරය කරනබව පැවසීම ය.

තමා "අන්‍යයින් පොළඹවන්නියක" ලෙස විස්තරකර නොගන්නා ලෙසත්, ඒ වෙනුවට කුඩාකල සිටම මිනිසුන්ට බලපෑම් කිරීමට තමන් දැනසිටියේයැ යි පවසන ලෙසත් තම නියෝජිතයා තමාට පවසනබව ඇය සඳහන් කරයි. නමුත් ඇය මෙම උපදෙස් නොසලකාහරියි. අන්‍යයින් පෙළඹවීම ඇගේ ප්‍රමුඛ දුශ්චරිතාත්මක මනෝව්‍යාධි ලක්ෂණය වන අතර, එය තමාට දක්ෂ නීතිඥවරියකවීමට ඉවහල්වූබව ඇය පවසයි.

ඇය කතාකරන විට ඇගේ උච්චාරණ ඌරුව හරිහැටි හඳුනාගැනීමට අසන්නන්ට නොහැකි ය. ඇය ඊශ්‍රායලයෙන් හෝ නැගෙනහිර යුරෝපයෙන් පැමිණියක විය හැකියැ යි ඔවුන් සිතුව ද, ඇය සිය මුළු ජීවිත කාලයම ගතකර තිබෙන්නේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ය.

"ඔබට උච්චාරණ ඌරුවක් ලැබෙන්නේ ඔබ අනන්‍යතාවක් ඇතිකර ගැනීමට සමාජගතවීමෙන්. මට කවදාවත් අනන්‍යතාවක් ලැබිලා නැහැ," ඇය පවසයි. "මට තියෙන්නේ ඇත්තටම දුර්වල ආත්ම හැඟීමක්."

ඇය ඇගේ දෛනික සිතුවිලි ඇගේ බ්ලොග් අඩවිය හරහා බෙදාහදාගන්නා අතර, දුශ්චරිතාත්මක මනෝව්‍යාධි ගති ඇති වෙනත් පුද්ගලයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වයි.

ඇයගේ බොහෝ පාඨකයින් ඇයගේ පළකිරීම් සහ වීඩියෝවලින් සහනයක්, ආරක්ෂාවක් ලබනබව ඇය කියා සිටියි. ඇය පවසන්නේ, ඒ, එය ඔවුන්ට තමාගේම හැසිරීම් රටාව හඳුනාගැනීමට, විනිශ්චයෙන් නිදහස්ව අත්දැකීම් බෙදාගැනීමට හැකි ස්ථානයක් නිසාවෙන්බව යි.

ආචාර්ය මාෂ්, "හැමෝම දුශ්චරිතාත්මක මනෝව්‍යාධි ගති ලක්ෂණ ඇති එක්කෙනෙක්ව හරි අඳුනනවා"යි පවසන්නී ය. ඇය සම-ආරම්භ කළ Psychopathy Is නම් ලාභ නොලබන සංවිධානය දුශ්චරිතාත්මක මනෝව්‍යාධියෙන් පෙළෙන තැනැත්තන්ට හා ඔවුන්ගේ සමීපතමයන්ට සහාය ලබාදෙන ඔන්ලයින් වේදිකා කිහිපයෙන් එකකි.

මිනිසුන්ට තමා ගැන ස්වයංතක්සේරුවක් සිදුකර ගෙන, ඉන්පසු සිදුකළ යුතු දේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකිවන පරිදි පරීක්ෂණ මෙවලම් සැපයීම සහ දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය වටා ඇති රහසිගතභාවය ඉවත් කිරීම මෙහි අරමුණබව වෛද්‍ය මාර්ෂ් පවසයි.

"දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය කියන්නේ ප්‍රවර්ගයක් නොවේ, සන්තතියක්," ඇය පවසයි. "එය විවිධ මට්ටම්වලින් ජනගහණය පුරා පැතිරිලා තියෙනවා. ඇතැම් පුද්ගලයො අඛණ්ඩ විනාශයක් සිදුකරන අතරේ, ඇතැමුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ රෝග ලක්ෂණ කළමනාකරණයකර ගැනීම විතරයි. අපි එය විවෘතව සාකච්ඡා නොකරනකොට වෙන්නේ ,ඉන් ඇතිවෙන හිස්තැන TikTok ට්‍රෙන්ඩ්ස්වලින් පිරෙන එක."

වික්ටෝරියා සහ එම්. ඊ. තෝමස් සිය ආබාධය පාලනයකර තබාගැනීමට උපකාර ලෙස භාවනාව, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරය සහ ඔවුන්ගේ ඔන්ලයින් ප්‍රජාවේ මිතුරන්ගේ සහාය භාවිතා කරයි.

"හැංගිලා ඉන්න සිද්ධවෙන්නේ නැති එක හොඳක්," තෝමස් පවසයි. "නමුත් 'දුශ්චරිතාත්මක මනෝව්‍යාධිය' කියන වචනයට තවමත් අපකීර්තියක් තිබෙන්නේ. තව කිරීමට බොහෝ වැඩ, විවෘත සංවාද තියෙනවා. යථාර්ථය වෙන්නේ අපිත් ඉන්නවා කියන එක."