ළමා මරණවලට හේතුවූ ඉන්දියානු කැස්ස සිරප් ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගැම්බියාවේ ළමුන් 66 දෙනෙකු මියයාමට කැස්ස සිරප් හතරක් හේතුව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම සිරප් "වකුගඩු උග්‍රලෙස ආසාදනයට හා ළමා මරණ 66 ක් සමඟ සම්බන්ධ විය හැකි බව" එහි සඳහන් වේ.
මෙම ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන Maiden Pharmaceuticals විසින් වන අතර, ඒවායේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීමට සමාගම අපොහොසත් වී ඇත.
එසේම, බීබීසීය Maiden Pharmaceuticals සමාගමෙන් මේ පිළිබඳව විමසීම් කර ඇති අතර, එම සමාගම තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.
ඉන්දීය නිලධාරීන් පවසන්නේ සිරප් සහ මරණ අතර සම්බන්ධය පිළිබඳ සාක්ෂි හෙළි කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යන ඖෂධ වර්ග මේ යටතේ හඳුනාගෙන ඇත.
මෙම නිෂ්පාදන හතර ගැම්බියාවේ දී හඳුනාගෙන ඇති නමුත්, "අවිධිමත් වෙළඳපළ හරහා, වෙනත් රටවලට හෝ කලාපවලට ද මේවා බෙදා හැර තිබිය හැක", යනුවෙන් WHO සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් සඳහන්ය.. සඳ
මෙම ඖෂධ භාවිතය නිසා විශේෂයෙන් ළමුන් බරපතල තුවාල වලට හෝ මරණයට පත් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ගැම්බියාවේ වෛද්‍ය බලධාරීන් විසින් ජූලි මස අගදී වයස අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර වකුගඩු ආබාධ ඇතිවීමේ වැඩි වීමක් අනාවරණය කර ගැනීමෙන් පසුව WHO ඒ වෙනුවෙන් මැදිහත් වුණි.
එතැන් සිට ගැම්බියා රජය සියලුම පැරසිටමෝල් සිරප් භාවිතය අත්හිටුවා ඇති අතර, ඒ වෙනුවට පෙති භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.
තහනමෙන් පසු මරණ සංඛ්‍යාව අඩු වී ඇති නමුත් පසුගිය සති දෙක තුළ තවත් මරණ දෙකක් වාර්තා වී ඇති බව ගැම්බියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මුස්තාපා බිටේ බීබීසී හි ෆෝකස් ඔෆ් ඇෆ්‍රිකා වැඩසටහනේ දී පැවසීය.
ගැම්බියාව සතුව දැනට පවතින ඖෂධ ආරක්ෂිත ද යන්න පරීක්ෂා කළ හැකි රසායනාගාරයක් නොමැති බවත්, එබැවින් ඒවා පරීක්ෂා කිරීම සඳහා පිටරට යැවීමට සිදු වූ බවත් ඔහු පැවසීය. තත්ත්ව පාලන රසායනාගාරයක් සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා ගැම්බියාව ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව බිටේ මහතා පැවසීය.
නිෂ්පාදන සාම්පල වලින් ලද රසායනාගාර විශ්ලේෂණය අනුව, "ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් පිළිගත නොහැකි ප්‍රමාණයන් අඩංගු බව තහවුරු වේ" WHO පවසයි.
මෙම ද්‍රව්‍ය විෂ සහිත වන අතර, "උදරයේ වේදනාව, වමනය, පාචනය, මුත්‍රා පිට කිරීමට නොහැකි වීම, හිසරදය, වෙනස් වූ මානසික තත්ත්ව සහ මරණයට හේතු විය හැකි උග්‍ර වකුගඩු ආබාධ ඇතුළත් විය හැකිය," WHO තවදුරටත් පවසයි.
පාචනය සහ වමනය ඇති කළ හැකි E.Coli බැක්ටීරියාව ද සුළු ප්‍රමාණ වලින් සොයාගෙන ඇති බව බිටේ පැවසීය.
නිශ්චිත සංඛ්‍යාවක් නොදක්වා, ගැම්බියාවේ සෞඛ්‍ය නිලධාරීන් පසුගිය මාසයේ කියා සිටියේ ළමුන් දුසිම් ගණනක් මියගොස් ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් බදාදා ජිනීවාහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය: "මේ දරුවන්ගේ ජීවිත අහිමි වීම ඒ දරුවන්‍ගේ පවුල්වලට ඇතිවුණු කම්පාවට ම සීමා වෙන්නේ නැහැ."
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායතනයේ විද්‍යුත් තැපෑලක් උපුටා දක්වමින් AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, නිෂ්පාදකයා විසින් දූෂිත ඖෂධ ලබා දී ඇත්තේ ගැම්බියාවට පමණක් වන බව ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය පෙන්වා දී ඇති බව යි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ, "නිෂ්පාදකයා වෙනත් නිෂ්පාදනවල එකම දූෂිත ද්‍රව්‍ය භාවිතා කර ඒවා දේශීයව බෙදා හැරීම හෝ අපනයනය කිරීම" නිසා මෙය "ගෝලීයව පැතිරයාමක්" සිදු විය හැකි බවයි.












