රජයේ රෝහල්වල තවමත් හිඟ ඖෂධ මෙන්න මේවා යි

"ඊයෙ පොඩි දරුවෙක් හදිසියේ වාට්ටුවට එක්කගෙන ආවා හවස යාලුවත් එක්ක පුංචි බයිසිකලයකින් ඉංග්‍රීසි පන්ති යද්දි වේගයෙන් ආව කාර් එකක් වැව් කණ්ඩිය ළඟදි හප්පාගෙන ගිහින්. රියදුරා බීමත්ව ඉඳලා තියෙන්නේ. පුතාලා දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවෝ. දෙන්නා එවලෙම රෝහල්ගත කළා."
"එක්කෙනෙක් සර්ජිකල් ICU එකේ. අනිත් කෙනා වාට්ටුවට දැම්මා. ICU පුතාට අමාරුයි. වාට්ටුවේ පුතාව බලපු ඩොක්ටර් එවලෙම තාත්තට ඉක්මනින් බෙහෙත් එකක් ලියලා දුන්නා. ඩොක්ටර් ඒක ලියන්න කලින් හැම තැනකින්ම ඕඩර් කරල ගන්න බැලුවා. අනේ ඒක කොහෙවත් නැහැ. එතකොට තමයි ඩොක්ටර් කිව්වේ තාත්තා මේක ඉමර්ජන්සි එකක්, මම හැම තැනකින්ම බැලුවා මේක ගන්න තැනක් නැහැ. පුළුවන්ද පිටින් ගන්න බලන්න. තාත්තා කොළේ අතට අරන් දුවගෙන ගියා. තාත්තා පුතාගෙ අම්මට නැත්නම් බිරිඳට කෝල් එකක් ගත්තා. ඔයාගේ කරාබු දෙක තියන්න පුළුවන්ද ? උකස් ගන්න තැනට ඉක්මනින්. රත්නෙ මාමගේ වීල් එකේ නැඟලා එනවද ? පුතාට බෙහෙත් එකක් ගන්න." මේ රජයේ රෝහලක සේවය කරන හෙදියක් තම මුහුණු පොතේ තබා තිබූ සටහනක්.
මේ හෙළිවන්නේ රටේ පවතින ඖෂධ හිඟය මෙන්ම ජනතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාව ගැන සැබෑ තත්ත්වයයි.
දේශපාලන හා ආර්ථික අර්බුදය මැද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බරපතලම ගැටලුව ඖෂධ හිඟය යි.
එය බරපතලම අර්බුදය බවට පත්වන්නේ ඖෂධ නොමැති වුවහොත් රෝගී ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම නිසාවෙනි.
ඖෂධ නිසි වේලාවට ඇනවුම් නොකිරීමත්, ඩොලර් අර්බුදය හේතුවෙන් මුදල් ගෙවීම සඳහා ණයවර ලිපි නිකුත්කර ගැනීමට නොහැකිවීමත් හමුවේ ශ්‍රී ලංකාව මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙනු ලැබීය.
මේ වන විට ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා විදෙස් රටවල්, සංවිධාන හා වෙනත් පරිත්‍යාගීලීන්ගේ ප්‍රදානයන් මත බොහෝසෙයින් යැපීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
හිඟ ඖෂධ මොනවා ද?
මෙරට හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා සහ දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග ගණනාවක ප්‍රමාණාත්මක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එම රෝගීන් මේ වන විට විශාල අනතුරකට මුහුණ දී ඇතිබව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ ය.
වෙනත් පුද්ගලයෙකුගේ වකුගඩුවක් රෝගියෙකුට බද්ධ කළ විට එය ශරීරයෙන් ප්‍රතික්ෂේප නොවීම සඳහා ලබාදිය යුතු ඖෂධ මේ වන විට හිඟ බව ද අජිත් තිලකරත්න සඳහන් කළේ ය.
"වකුගඩු රෝගීන්ගේ රතු රුධිරාණු අඩුවෙනවා. හිමොග්ලොබීන් ප්‍රමාණය ඉහළ දමන්න වෛද්‍යවරු ඒ සඳහා එන්නත් ලබා දෙනවා. දැන් ඒ එන්නත්වල යම් අඩුවක් තියෙනවා," ඔහු පැවසුවේ ය.
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය ක්ෂණිකව පහත දැමීම සඳහා භාවිත කරන ද්‍රාව්‍ය ඉන්සියුලින් ද හිඟව පවතින අතර, එම ඖෂධ ගර්භනී මව්වරුන් සඳහා බහුලව නිර්දේශ කරනු ලබන්නකි.
අපස්මාර රෝගීන් භාවිත කරන ඇතැම් ඖෂධවල ද හිඟයක් පතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කළේ ය.
"ෆිට් එක හැදෙන රෝගීන් අවුරුදු දෙකක් විතර එම ඖෂධ එක දිගටම භාවිත කළ යුතු යි. අවුරුදු දෙක කියන එක තීරණය වෙන්නේ අවසන් වරට රෝගය හැදිලා වසර දෙකකට පස්සේ තමා වෛද්‍යවරයා සලකා බලන්නේ ඒ ඖෂධ භාවිත කරන එක නතරකරනවා ද නැද්ද කියලා.
"කවුරුහරි අවුරුද්දක් බෙහෙත් බොනවා හරියට. එයාට ෆීට් එක එන්නේ නැහැ. දැන් එයා හොස්පිටල් එකට ගියාට එයාට බෙහෙත හම්බවෙන්නේ නැහැ. එයා ළඟ බෙහෙත් තිබුණා නම් තව අවුරුද්දක් රෝගය පාලනය කර ගත්තොත් එයාගේ බෙහෙත් පාවිච්චිය ක්‍රමිකව අඩුකර ගන්න පුළුවන්. හැබැයි දැන් එයාට බෙහෙත් හම්බවෙන්නේ නැත්නම් එයාට ආයිත් එකපාරක් හරි ෆිට් එක හැදුනොත් එතන ඉඳලා ආයිත් අවුරුදු දෙකක් බෙහෙත් බොන්න වෙනවා. ඒක මහා විශාල හානියක්. රෝගීන්ට වෙන හානියක්. අවුරදු දෙකකින් බෙහෙත් නතර කරගන්න තිබ්බ මිනිහට අපි අවුරුදු තුනක් බෙහෙත් පොවනවා."
ජලභීතිකා එන්නත් ද හිඟව පවතින අතර එම තොග ලැබීමට නියමිතව ඇත.
පවතින තත්ත්වය හමුවේ ජලභීතිකාව වළක්වා ගන්නේ කෙසේ ද?
පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධවල ද හිඟතාවන් ඇතිවී ඇතැ යි දැනටමත් ජනතාව දැනුවත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ මොහොතේ බොහෝදෙනා අතර කතාබහට ලක්වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවමකර ගැනීමට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය සතුන් එන්නත් කිරීම බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Health Promotion Bureau
ජලභීතිකා වෛරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන්, සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් සපාකෑමෙන් ජලභීතිකාව වැළඳෙයි.
ඒ හරහා ශරීරයට ඇතුලු වූ වෛරසය, රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මඟින් අඩපණකිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුෂුම්නාව වෙත ගමන්කර ස්නායු පද්ධතිය අඩපණ කර දමයි.
රෝග ලක්ෂණ ඇතිවීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගතවිය හැකි අතර, රෝග ලක්ෂණ ඇතිවීමෙන් දින කිහිපයක් තුළ රෝගියා අනිවාර්යයෙන් මරණයට පත්වීම මෙහි ඇති භයානකත්වය යි.
මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ සුරතල් සතුන් වෙත වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප්‍රකාශ කළේ ය.
සුරතල් සතුන් සඳහා ලබාදෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් එය ලබාදීම වැදගත් බව එම කාර්යංශය සඳහන් කළේ ය.
නිවසේ සිටින සුරතල් සතුන්ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබාදිය යුතු බූස්ටර් ජලභීතිකා මර්දන එන්නත් මාත්‍රා ද නිසිකලට ලැබෙන බවට වගබලාගත යුතු අතර, සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරගන්නා අතරේම ඔවුන් දඩාවතේ යෑම වළක්වාගැනීම ද කළ යුතු බව එම කාර්යංශය වැඩිදුරටත් පැවසීය.
වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද ජලභීතිකාව බෝවීමේ අවදානම සහිත සතුන්ගේ සපාකෑම්වලින් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන අතර, මේ දුෂ්කර අවස්ථාවේ සියලු දෙනා එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත්, ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික අවදානමෙන් ගලවාගැනීමට පිටිවහලක් වනු ඇතැ යි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය
ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහාය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවධානය යොමුවී ඇතැ යි එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් ප්‍රකාශ කළේ ය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය දීමට සිය සංවිධානයේ අවධානය යොමුවී ඇති බව යි.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධනයේ මූලස්ථානයේ මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු මෙරට නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කළ බව ඔහු පැවසුවේ ය.
මේ අතර ඉන්දියාව, ප්‍රංශය ඇතුළු විවිධ රටවලින් ලැබී ඇති ආධාර හේතුවෙන් දැනට පවතින ඖෂධ හිඟය 30%කින් පමණ පියවා ගැනීමට හැකිවී ඇතැ යි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ප්‍රංශයෙන් හා ඉන්දියාවෙන් ආධාර
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රංශය මෙරටට පරිත්‍යාග කරනු ලැබීය. ඊට ශ්වසන රෝග සඳහා වන ඖෂධ හා නිර්වින්දන ඖෂධ තොගයක් ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී කීය.
ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග සිදුකිරීම මෙන්ම, සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට ද බලාපොරොත්තු වන බව ප්‍රංශ බලධාරීන් පවසා ඇත.
මේ අතර ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් මැයි 27 වන දින මෙරටට භාරදෙනු ලැබීය. ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්න ය.
සාගර් IX මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට භාරදීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ ටොන් 5600ක ලෑන්ඩින් නෞකාවක් වන ඝාරියල් නෞකාව යොදවා තිබිණ.
ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සහ රෝහල් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් 2022 මාර්තු මාසයේ දී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙරට වෛද්‍ය ක්ෂේත්රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙන ලද බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතා සපුරාලනු ඇත.
මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, සහ යාපනය ශික්ෂණ රෝහල වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබා දෙනු ඇත.
2022 අප්‍රේල් 29 වන දින ද පේරාදෙණිය රෝහල සඳහා විශාල වෛද්‍ය සැපයුම් තොගයක් INS ඝාරියල් නෞකාව විසින් දිවයිනට රැගෙන එන ලදී.
මෙම මානුෂීය ආධාර තොගය මූල්‍යාධාර, විදේශ විනිමය සහය, ද්‍රව්‍යමය ආධාර ආදි විවිධ අයුරින් ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීමට ඉන්දියාව ගන්නා ප්රයත්නයන්හි කොටසක් බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.











