රැජිනගේ අවමංගල්‍යය පිළිබඳව ඔබට සවිස්තර මාර්ගෝපදේශයක්

Queen Elizabeth II

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අවසන් ගෞරව දැක්වීම පිණිස, දින ගණනක් පුරා වෙස්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ, අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ දේහය සඳුදා උදෑසන විශාල රාජ්‍ය අවමංගල්‍යයක කොටසක් ලෙස වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් අවසන් ගමන ආරම්භකර ඇත. දේහය මුලින් ම රැගෙන යන්නේ වෙස්ට්මිනිස්ටර් දේවමාලිගය වෙතට ය. එහිදී දහස් ගණනක් ඉදිරියේ පැවැත්වෙන දේව සභාවකින් අනතුරුව, සමීපතමයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආගමික මෙහෙයක් සඳහා වින්ඩ්සර් මාලිගය වෙතට ගෙන ගොස් සමීපතමයන් පමණක් සහභාගී වන භූමදානයකින් අවසන් කටයුතු නිම වනු ඇත.

එය මීට වසර 60 කට පමණ පෙර වින්ස්ටන් චර්චිල් වෙනුවෙන් පැවැත්වුණු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පසුව බ්‍රිතාන්‍ය විසින් අත් නුදුටු තරමේ හැඟීම්බර දිනයක් වනු ඇතැයි අනුමාන කෙරේ. රැජින විසින් සිය අවමංගල්‍ය සැලසුම්වලට, පුද්ගලික ඉල්ලීම් කිහිපයක් ද එකතු කර තිබුණු බව බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශ කර තිබේ.

සැප්තැම්බර් 19 සඳුදා දින සිදුවීම්වල පෙළ ගැස්මකි මේ.

Banner showing time 08:00

ලන්ඩනය මධ්‍යයේ, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දෙහය තැන්පත් කර තිබූ කාලය දැන් නිමාවට පැමිණ තිබේ. වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට මද දුරකින් පිහිටා ඇති වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ හිදී උදෑසන 11.00 ට පැවැත්වීමට නියමිත අවමංගල්‍ය දේව මෙහෙයට පෙර පැමිණෙන අමුත්තන් සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ හි දොරටු විවෘත කෙරේ.

රැජිනගේ ජීවිතය සහ සේවය සිහිපත් කර ඇයට ගෞරව දැක්වීම සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ එක් වීමට ලොව පුරා රාජ්‍ය නායකයින් ලන්ඩනයට පැමිණෙමින් සිටිති. එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ හිටපු අගමැතිවරු ද එයට එක්වී සිටිති.

රැජිනගේ ලේ ඥාතීන්ද ඇතුළුව යුරෝපය පුරා සිටින රාජකීය පවුල්වල සාමාජිකයින් අවමංගල්‍යය සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෙල්ජියමේ පිලිප් රජු සහ මැටිල්ඩා රැජින මෙන් ම ස්පාඤ්ඤයේ ෆිලිප්‍ රජු සහ ලෙටිසියා රැජින ද ඒ අතර වනු ඇත.

Banner showing time 10:44

මේ මොහොත වන විට අවමංගල්‍ය චාරිත්‍ර ආරම්භ වී තිබේ. බදාදා දහවල් සිට රැජිනගේ මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ පීඨයෙන් එය ඔසවා, ඇගේ අවමංගල්‍ය දේව මෙහෙය සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත ගෙනයාම ආරම්භ වී තිබේ.

Map showing route the Queen's coffin will take from Westminster Hall to Westminster Abbey

නාවිකයන් 142 දෙනෙකු විසින් ඇදගෙන යන රාජකීය නාවික හමුදාවේ රාජ්‍ය කාලතුවක්කු ප්‍රවාහන කරත්තය මත ඇගේ දේහය රැගෙන යනු ඇත. මෙම කරත්තය අවසන් වරට අවමංගල්‍යයක් සඳහා භාවිතා කෙරුණේ 1979 දී පැවති පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය උළෙලේදී ය. 1952 දී පැවති රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අවමංගල්‍යය වෙනුවෙන් ද මෙය භාවිතා කර තිබේ.

State Carriage

නව රජු සහ ඔහුගේ පුතුන්වන වන විලියම් කුමරු සහ හැරී කුමරු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම කාලතුවක්කු ප්‍රවාහන කරත්තය පසුපස අවමංගල පෙරහැරේ ගමන් කරනු ඇත.

ස්කොට්ලන්ත සහ අයර්ලන්ත රෙජිමේන්තුවල පයිප් නලා වාදකයන් සහ බෙර වාදකයන්, රාජකීය ගුවන් හමුදාවේ සාමාජිකයන් සහ නේපාල සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වන ගුර්කාවරුන්ගේ සාමාජිකයින් සමඟ උත්සවයේ පෙරමුණ ගනු ඇත.

අවමංගල පෙරහැර ගමන් කරන මාර්ගය දෙපස රාජකීය නාවික හමුදාව සහ රාජකීය මැරීන් භටයින් පෙළගැසී සිටිනු ඇති අතර, රාජකීය නාවික තූර්ය වාදක කණ්ඩායම සමඟින් ත්‍රිවිධ හමුදාවෙන් ම සැදුම් ලත් භට පිරිසක් පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ගෞරව සම්මාන මුරයක් පවත්වනු ඇත.

Banner showing time 11:00

රැජිනගේ අවමංගල්‍ය සේවය වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ආරම්භ වේ. අමුත්තන් 2,000ක් පමණ මෙයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය සාමාන්‍යයෙන් රජවරුන් හෝ බිසෝවරුන් සඳහා පමණක් සිදුකරණු ලබන රාජ්‍ය අවමංගල්‍යයක් වනු ඇති අතර, හමුදා පෙරහැරක් සහ ගෞවර සඳහා දේහය තැන්පත් කර තැබීම ආදී, රාජ්‍ය අවමංගල්‍යයක පවැත්වෙන සාම්ප්‍රදායික නීති දැඩිව අනුගමනය කරන්නක් වනු ඇත.

1953 දී රැජිනගේ රාජාභිෂේකය ඇතුළුව බ්‍රිතාන්‍යයේ රජවරුන්ගේ සහ රැජිනන්ගේ කිරුළු පැළඳීම් පැවැත්වූ ඓතිහාසික පල්ලිය වන්නේ ද මෙම අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන වෙස්මින්ස්ටර් දෙවමාලිගයයි. එළිසබෙත් කුමරිය 1947 වසරේදී පිලිප් කුමරු සමඟ විවාහ වූයේ ද මෙම දේවස්ථානයේදීම ය.

Inside Westminster Abbey

2002 දී මව් රැජිනගේ අවමංගල්‍යය පැවැත්වුණු නමුත්, 18 වන සියවසේ සිට අධිරාජිනියක වෙනුවෙන් අවමංගල්‍ය සේවයක් එහි පවත්වා තිබුණේ නැත.

වෙස්ට්මිනිස්ටර් පීඨාධිපති ඩේවිඩ් හොයිල් විසින් මෙම දේව මෙහෙය මෙහෙයවනු ලබන අතර, අවමංගල දේශනය කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් පැවැත්වීමට නියමිතව තිබේ. අගමැතිනි ලිස් ට්‍රස් ද මෙහිදී පාඨ කියවනු ඇත.

Banner showing time 11:55

අවමංගල්‍ය සේවය අවසානයේ විනාඩි දෙකක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට පෙර කෙටි බියුගල් වාදනයක් පැවැත්වෙනු ඇත.

රැජිනගේ පයිප් නලා වාදකයන් විසින් ජාතික ගීය සහ ශෝකී රාවයක් වාදනය කිරීමෙන් අනතුරුව මධ්‍යහනය පමණ වන විට අවමංගල මෙහෙය අවසන් වීමට නියමිතය.

Banner showing time 12:15

දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට හයිඩ් පාර්ක් කෝනර්හි වෙලින්ටන් ආරුක්කුව දක්වා පාගමනින් ගෙන යනු ලැබේ.

හමුදා භටයින් සහ පොලිසි නිලධාරීන්ගෙන් පෙළ ගැසී ඇති මාර්ගය ඔස්සේ පෙරහැර අගනුවර වීදි හරහා ඉතා සෙමෙන් ගමන් කරනු ඇත. විනාඩියකට වරක් බැගින් විනාඩියක කාල පරතරය සනිටුහන් කරමින් බිග් බෙන් ඔරලෝසුව නාද කෙරෙනු ඇති අතර, හයිඩ් පිටියේ සිට, සෑම මිනිත්තුවකට වරක් ම ආචාර වෙඩි මුර ද තැබෙනු ඇත.

මාර්ගයේ තැන් තැන්වල ඇති නියමිත නැරඹුම් ස්ථානවල සිට අවමංගල පෙරහැර නැරඹීමේ අවස්ථාව ජනතාවට හිමි වේ.

Rue to Windson

රාජකීය කැනේඩියානු පොලිසිය විසින් මෙහෙයවනු ලබන මෙම අවමංගල පෙරහැර කණ්ඩායම් හතකින් යුක්ත වන අතර, ඒ සෑම එකක් ම තමන්ගේම තූර්ය වාදක කණ්ඩායමකින් ද සමන්විත වේ. එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සන්නද්ධ සේවා සාමාජිකයින්, පොලිසිය සහ ජාතික අශ්වාරෝහක භටයන් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

රජු පෙරටුකොටගත් රාජකීය පවුලේ සාමාජිකයන් රැජිනගේ දේහය සහිත තුවක්කු ප්‍රවාහන කරත්තය පිටුපසින් නැවත වරක් ගමන් කරනු ඇත.

කැමිලා බිසව, වේල්ස් කුමරිය, වෙසෙක්ස් හි කවුන්ට්වරිය සහ සසෙක්ස් ආදිපාදවරිය ද මෝටර් රථවලින් අවමංගල පෙරහැර හා ගමන් කරනු ඇත.

13:00 ට පමණ දේහය රැගත් අවමංගල පෙරහැර වෙලිංටන් ආරුක්කුවට ගිය පසු, වින්ඩ්සර් මාලිගය වෙත ගෙනයන අවසන් ගමන සඳහා එය රාජ්‍ය අවමංගල්‍ය රථය වෙත මාරු කෙරෙනු ඇත.

Funeral possesion

වසර දහසකට ආසන්න කාලයක් පුරා රජවරුන් හතළිස් දෙනෙකු අඛණ්ඩව වාසය කළ වින්සර් මාලිගයට, රැජිනගේ ජීවිතයේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇය නව යොවුන් වියේ පසුවද්දී ලන්ඩනයට එල්ල වූ බෝම්බ තර්ජනය හේතුවෙන්, ආරක්ෂාව පතා ඇයව වින්සර් මාළිගයේ ජීවත් වීමට යවන ලද අතර වඩාත් මෑතකදී කොරෝනා වසංගත කාලයේදී ඇය එය ඇගේ ස්ථිර නිවස බවට පත් කර ගත්තා ය.

Banner showing time 15:00

අවමංගල්‍ය රථය, වින්ඩ්සර් මාළිගය දක්වා පැවැත්වෙන දිගු පාගමනට සම්බන්ද වේ. සැතපුම් තුනක් හෙවත් කිලෝමීටර 5ක දුරක් දිගු මෙම මාවත දෙපස සන්නද්ධ හමුදා සාමාජිකයින් රැඳී සිටීමට නියමිත ය.

අවමංගල පෙරහැර නැරඹීම සඳහා මහජනතාවට මෙම මාවතට පිවිසීමට අවසර දෙනු ලැබේ.

ඉන් මද වෙලාවකට පසුව, රජු සහ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වින්ඩ්සර් මාළිග චතුරස්‍රයට රැස්වීමට නියමිත ය.

Route showing final section of the Queen's funeral procession

මාළිගාවේ සෙබස්ටොපෝල් සහ ඇඳිරි නීති කුළුණුවල සීනු සෑම මිනිත්තුවකට වරක් ම නාද කරනු ලබන අතර මාළිගාවේ භූමියේ සිට තුවක්කු ආචාර වෙඩිමුර පැවැත්වෙනු ඇත.

Banner showing time 16:00

ඉන්පසු දෙවියන්ට භාර කිරීමේ පුජාව සඳහා දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙනයනු ඇත.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බෞතිස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා නිතර තෝරා ගන්නා ස්ථානයයි. සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරිය 2018 දී විවාහ වූයේ ත් එහි වන අතර, රැජිනගේ නැසීගිය සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේ ද එහිදී ය.

Inside St George's Chapel

ආරාධිතයන් අටසියකින් පමණ සමන්විත කුඩා, වඩා සමීප පුද්ගලයන් සහිත පිරිසක් සහභාගී වන මෙම දේව මෙහෙය කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ආශිර්වාදය ඇතිව, වින්ඩ්සර් හි පීඨාධිපති ඩේවිඩ් කොනර් විසින් මෙහෙයවීමට නියමිත ය.

රැජිනගේ පාලන කාලයේ අවසානය සංකේතවත් කරන සම්ප්‍රදායන් මෙම සේවාවට ඇතුළත් ය.

දේහය මත තබා තිබූ ඉම්පීරියල් ස්ටේට් ඔටුන්න සහ ක්‍රිස්තියානි ලෝකය සංකේතවත් කරන කුරුසය සහිත ගෝලය සහ යෂ්ටිය, රාජ්‍ය ආභරණවල භාරකරු විසින් අවසාන වතාවට රැජිනගෙන් ඉවත් කෙරෙනු ඇත.

අවසාන ගීතිකාව අවසානයේ, රජු විසින්, රැජිනට අයත් ග්‍රෙනේඩියර් ආරක්ෂක භටයන්ගේ කඳවුරු වර්ණය හෝ ධජය දේහය මත තබනු ඇත. ග්‍රෙනේඩියර් ආරක්ෂකයින් යනු රජු වෙනුවෙන් චාරිත්‍රානුකූල රාජකාරි ඉටු කිරීමට යොදවා සිටින ආරක්ෂකයින් අතරින් ජ්‍යෙෂ්ඨතම කණ්ඩායම ය.

ඒ සමගම, චේම්බර්ලයින් සාමිවරයා වන, හිටපු MI5 ප්‍රධානී බාරොන් පාකර්, ඔහුගේ කාර්යාලීය යෂ්ටිය "කඩා" දේහය මත තැන්පත් කරනු ඇත. එය රාජකීය ගෘහයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස රැජිනට ඔහු කළ සේවයේ අවසානය සංකේතීයව සනිටුහන් කරනු ඇත.

පසුව රැජිනගේ දේහය රාජකීය සුරක්ෂිතාගාරයට පහත් කරනු ලබන අතර රැජිනගේ පයිප් නලාකරු විසින් ආශීර්වාද වාදනයක් සහ 'God Save the King' හෙවත් 'දෙවියන් විසින් රජු රකීවා' ගීයේ පෙර වාදනයක් සිදු කරනු ඇත. වින්ඩ්සර් හි නලාකරුගේ මෙම ඉදිරිපත් කිරීම, රැජින විසින් සිය අවමංගල්‍යය සඳහා පෞද්ගලිකව ඉල්ලා සිටි දෙයක් බව බකිංහැම් මාලිගය පවසා තිබේ.

Banner showing time 16:45

භාර කිරීමේ මෙහෙය අවසානයේ, රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් දේවස්ථානයෙන් පිටව යනු ඇත.

Banner showing time 19:30

සවස පවුලේ දේව මෙහෙයකදී, ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටි හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේදී රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා අසලින් ම තැන්පත් කිරීමට නියමිත ය.

ඇගේ සොහොන මත පිහිටුවීමට නියමිත කිරිගරුඬ පුවරුව මත, ELIZABETH II 1926-2022 ලෙස කැටයම් කරනු ඇත.

Banner of the Queen