ක්‍රිස්ටිනා ෆර්නාන්දෙස්: ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ආජන්ටිනා උපජනපතිනි ඝාතන තැත වරදියි

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්‍රිස්ටිනා ෆර්නාන්දෙස්: ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ආජන්ටිනා උපජනපතිනි ඝාතන තැත වරදියි

ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිවරිය, ඇය ඝාතනය කිරීමට පැමිණි තුවක්කුකරුවෙකුගේ ආයුධය ක්‍රියාත්මක නොවීම නිසා 'අනූ නවයෙන්' දිවි ගලවාගත්තාය.

ආධාරකරුවන් පිරිසක් වටකරගෙන සිටි ක්‍රිස්ටිනා ෆර්නාන්දෙස් ද කිර්ච්නර්, උණ්ඩ පිරවූ ගිනිඅවිය සමග මුහුණට මුහුණ පැමිණි මොහොත වීඩියෝ දර්ශනවල දැක්වේ.

දූෂණ චෝදනාවලට ලක්ව සිටින හිටපු ජනාධිපතිනිය අධිකරණයේ සිට නිවස බලා යමින් සිටියදී මෙය සිදුවිණි. ඇය තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන්නී ය.

තුවක්කුකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැ යි එරට පොලිසිය පවසයි. එරට මාධ්‍ය පවසන පරිදි මොහු 35-හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකි.

මෙම ඝාතන ප්‍රයත්නය පිටුපස ඇති චේතනාව කුමක්දැ යි හඳුනාගැනීමට පොලීසිය තැත්කරයි. වර්ෂ 2007 සිට 2015 දක්වා ආර්ජන්ටිනාවේ ජනපතිනියවූ වාමාංශයට ලැදි මෙම දේශපාලනඥවරිය, ඉන්පෙර වසර හතරක් එහි ජනාධිපති ආර්යාවබවට පත්ව සිටියා ය.

ගිනිඅවිය තුළ උණ්ඩ පහක් තිබී ඇතිමුත්, කොකා ගැස්වූ විට පත්තුවී නැතිබව ජනාධිපති ඇල්බෙර්තෝ ෆර්නාන්දෙස් හෙළිකළේ ය.

ෆර්නාන්දෙස් ද කිර්ච්නර් පැමිණෙන අවස්ථාවේ දී, රැස්ව සිටි සෙනග අතරින් ගිනිඅවිය මතුවනු සමාජ මාධ්‍යයන්හි සංසරණයවන වීඩියෝවන්හි දැක්වෙයි. මුල දී ඇය සිදුවන දේ පිළිබඳ ව්‍යාකූලව සිටිනබව පෙනුනු අතර, බිම වැටුණු යමක් අහුලාගැනීමට නැවෙනු පෙනෙන්නට තිබේ.

තවත් වීඩියෝ පටයක පෙනෙන්නට තිබෙන්නේ, ෆර්නාන්දෙස් ද කිර්ච්නර්ගෙන් අඟල් කීපයක දුරකට ළංවීමට සමත්වූ සැකකාර තුවක්කුකරුගෙන් ඇය මුවාකිරීමට අවට සිටි ජනයා උත්සාහ කරන ආකාරය යි. ජනපතිව සිටිය දී රාජ්‍යයට වංචා කිරීම සහ මහජන මුදල් වංචා කිරීමේ උපක්‍රමයකට සම්බන්ධවීම යන චෝදනාවලට මුහුණදී සිටින ඇයට සහාය දැක්වීම සඳහා පසුගිය රාත්‍රී කිහිපය තුළ දීම ජනයා ඇගේ නිවසින් පිටත රැස්ව සිටියහ.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් තිබි ආයුධය සොයාගැනීමට සමත්වූබව පොලිස් ප්‍රකාශකයෙකු මින් මඳ වේලාවකට පෙර රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

Presentational white space

බ්‍රහස්පතින්දා රාත්‍රියේ දී ජාතිය අමතමින් ජනාධිපති ෆර්නාන්දෙස් මෙසේ පැවසීය: "ක්‍රිස්ටිනා ජීවතුන් අතර ඉන්නේ, තවමත් තාක්ෂණිකව තහවුරු කරලා නැති කුමක් හෝ හේතුවක් නිසාවෙන්, උණ්ඩ පහක් දාලා තිබුණු තුවක්කුව කොකාගැස්සුනේ නැති නිසා." ජනපති ෆර්නාන්දෙස්, ෆර්නාන්දෙස් ද කිර්ච්නර් සහ ඇගේ ස්වාමිපුරුෂයා යන දෙපළම ජනපතිව සිටි සමයන්හි, ඔවුන්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානීධුරය හෙබවූ තැනැත්තා ද වේ.

ඔහු ප්‍රහාරකයා හෙළාදුටු අතර, 1983 දී රට ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණීමෙන් පසු සිදුවූ "ඉතා බැරෑරුම්" සිදුවීම්වලින් එකක්වන්නේ ෆර්නාන්දෙස් ද කිර්ච්නර්ට ජීවිතයට එල්ලවූ ප්‍රහාරයබව ද පැවසීය.

"අපි [එකිනෙකා එක්ක] එකඟ නොවෙන්න පුළුවන්, අපි අතරේ ගැඹුරු මතභේද තියෙන්න පුළුවන්, නමුත් වෛරී ප්‍රකාශවලට ඉඩක් තියෙන්න බැහැ, මොකද, ඒකෙන් ප්‍රචණ්ඩත්වයට උපත දෙනවා. ප්‍රචණ්ඩත්වයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් සහජීවනයෙන් පවතින්න බැහැ," ජනපති ෆර්නාන්දෙස් ප්‍රකාශ කළේ, ආජන්ටීනියානුවන්ට "ජීවිතය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා උපජනපතිවරියට සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා" සිකුරාදා (සැප්. 2) දිනය ජාතික නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි.

ආර්ජන්ටිනාවේ ආර්ථික ඇමති සර්ජියෝ මාසා, මෙම වෙඩි තැබීමේ උත්සාහය "ඝාතනතැතක්" ලෙස හැඳින්වීය.

"සංවාදයට ඉහළින් වෛරය සහ ප්‍රචණ්ඩත්වය පවතිනකොට, සමාජයන් විනාශවෙලා ගිහින් මේ වගේ තත්ත්වයන් ඇතිවෙනවා: ඝාතන තැතක්," ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

Cristina Fernández de Kirchner gives a speech.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිස්ටිනා ෆර්නාන්දෙස් ද කිර්ච්නර් 2007 - 2015 සමයේ ආජන්ටිනාවේ ජනපතිධුරය ඉසිලුවා ය

ෆර්නාන්දෙස් ද කිර්ච්නර් තවමත් මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

2007 - 2015 සමයේ ජනපතිනියව සිටිය දී රාජ්‍යයට වංචා කිරීම, සහ ඇගේ බල ප්‍රදේශයවූ පැටගෝනියාව තුළ වංචනික ලෙස පොදු කටයුතු කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවේ.

නඩු විභාගයේ දී ඇය වරදකාරියබවට ඔප්පුවුවහොත්, හිටපු ජනාධිපතිනියට වසර 12ක සිරදඬුවමක් හා ජීවිතාන්තය දක්වා බලපැවැත්වෙන දේශපාලන තහනමක් පැනවිය යුතුයැ යි අභිචෝදකයින් ඉල්ලා ඇත.

එනමුත් ෆර්නාන්දෙස් ද කිර්ච්නර් සෙනෙට් සභාවේ සභාපතිනිය ද වන නිසා පාර්ලිමේන්තු නිර්මුක්තිය ද අත්විඳින්නී ය. රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇගේ දඬුවම බලාත්මක කළහොත් හෝ, 2023 අවසානයේ දී පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරණයේ දී සෙනෙට් සභාවේ ආසනය ඇයට අහිමිවුවහොත් මිස, ඇයට සිර දඬුවම් විඳීමට සිදුනොවනු ඇත.

ෆර්නාන්දෙස් ද කිර්ච්නර් ජනපතිධුරය දැරූ කාලයෙන් පසු තවත් බොහෝ දූෂණ නඩුවලට මුහුණදී තිබේ. මේ නඩු විභාගයේ තීන්දුව ලබාදීමට මාස කීපයක් ගතවනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

Police officers stand guard as forensics work is carried out following the attempted shooting.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීමේ ප්‍රයත්නයෙන් පසු අධිකරණ වෛද්‍ය කටයුතු සිදුකෙරෙනබැවින් පොලිස් නිලධාරීහු ආරක්‍ෂාව සඳහා පැමිණ සිටිති