මිහායිල් ගොර්බචෝෆ්: සීතල යුද්ධය අවසන් කිරීමට උදව් කළ සෝවියට් නායකයා

Mikhail Gorbachev

සීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායිල් ගොර්බචෝෆ් (91) අභාවප්‍රාප්ත වී තිබේ.

1985 දී බලයට පත් වූ ගොර්බචෝෆ් සෝවියට් සංගමය ලෝකයට විවෘත කළ අතර එරටට අභන්තර ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.එහෙත් නූතන රුසියාව මතු වූ සෝවියට් සංගමයේ මන්දගාමී බිඳවැටීම වැළැක්වීමට ඔහුට නොහැකි විය.

කවුද මේ මිහායිල් ගොර්බචෝෆ්?

මිහායිල් ගොර්බචෝෆ් 20 වන සියවසේ වඩාත්ම බලගතු දේශපාලන චරිතයකි.

ඔහු වසර 70කට ආසන්න කාලයක් පැවති ආසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ විශාල ප්‍රදේශයක ආධිපත්‍යය දැරූ සෝවියට් සංගමය විසුරුවා හැරීමේ මුලසුන දැරීය.

එහෙත්, 1985 දී ඔහු සිය ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කරන විට, ඔහුගේ එකම අභිප්‍රාය වූයේ එකතැන පල් වූ තම රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ එහි දේශපාලන ක්‍රියාවලීන් නැවත සකස් කිරීම ය.

ඔහුගේ උත්සාහයන් සෝවියට් සංගමය තුළ පමණක් නොව, එහි පැරණි අසල්වැසි රාජ්‍යයන් හරහා ද කොමියුනිස්ට් පාලනය අවසන් කළ සිදුවීම් මාලාවක් සඳහා උත්ප්‍රේරකයක් විය.

මිහායිල් සර්ජියෙවිච් ගොර්බචෝෆ් 1931 මාර්තු 2 වන දින දකුණු රුසියාවේ ස්ටාව්රොපොල් ප්‍රදේශයේ උපත ලැබීය.

ඔහුගේ දෙමාපියන් දෙදෙනාම සාමූහික ගොවිපලවල සේවය කළ අතර තරුණ ගොර්බචෝෆ් ඔහුගේ නව යොවුන් වියේදී ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර ක්‍රියාත්මක කළේය.

1955 මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය.

Gorbachev as a child

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු හැදී වැඩුණේ දකුණු රුසියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ය

ඔහුගේ නව බිරිඳ රයිසා සමඟ ස්ටැව්රොපොල් වෙත ආපසු පැමිණි ඔහු ප්‍රාදේශීය පක්ෂ ව්‍යුහය හරහා වේගවත් නැගීමක් ආරම්භ කළේය.

ගොර්බචෝෆ් යනු සෝවියට් ධුරාවලියේ ඉහලින්ම සිටින වයස්ගත පුද්ගලයින් සමඟ වඩ වඩාත් නොඉවසිලිමත් වූ පක්ෂ ක්‍රියාකාරීන්ගේ නව පරම්පරාවෙන් කෙනෙකි.

1961 වන විට ඔහු තරුණ කොමියුනිස්ට් ලීගයේ ප්‍රාදේශීය ලේකම් වූ අතර පක්ෂ සම්මේලනයේ නියෝජිතයෙකු බවට පත් විය.

කෘෂිකාර්මික පරිපාලකයෙකු ලෙස ඔහුගේ භූමිකාව ඔහුට නව්‍යකරණයන් හඳුන්වා දීමට අවස්ථාව ලබා දුන් අතර මෙය පක්ෂය තුළ ඔහුගේ තත්ත්වය සමඟ ඔහුට කලාපය තුළ සැළකිය යුතු බලපෑමක් ඇති කළේය.

නැවුම් හුස්මක්

1978 දී ඔහු කෘෂිකර්මය සඳහා මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු ලෙස මොස්කව් වෙත ගිය අතර වසර දෙකකට පසුව ඔහු දේශපාලන මණ්ඩලයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

යූරි ඇන්ඩ්‍රොපොව් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලය තුළ, ගොර්බචෝෆ් විදේශ සංචාර ගණනාවක් සිදු කළ අතර, 1984 ලන්ඩනයේ සංචාරයක් ඇතුව, ඔහු අගමැති මාග්‍රට් තැචර්ට ඔහු කෙරෙහි හැඟීමක් ඇති කළේය.

බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා සිටියේ සෝවියට් සංගමය සමඟ අනාගත සබඳතා පිළිබඳව ඇය සුබවාදී බවයි. "මම ගොර්බචෝෆ් මහතාට කැමතියි," ඇය පැවසුවාය. "අපිට එකට වැඩ කරන්න පුළුවන්."

Mikhail Gorbachev & Margaret Thatcher

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු හා මාග්‍රට් තැචර්

1984 දී ඇන්ඩ්‍රොපොව් මිය යන විට ගොර්බචෝෆ් අනුප්‍රාප්තිකයා වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඒ වෙනුවට රෝගාතුරව සිටි කොන්ස්ටන්ටින් චර්නෙන්කෝ ප්‍රධාන ලේකම් විය.

වසරක් ඇතුළත ඔහු ද මිය ගිය අතර ඔහුගෙන් පසු දේශපාලන මණ්ඩලයේ ලාබාලතම සාමාජිකයා වූ ගොර්බචෝෆ් එම හිස්වූ තනතුරට පත් විය.

1917 විප්ලවයෙන් පසු උපත ලැබූ පළමු මහලේකම්වරයා ඔහු වන අතර ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් පාලන සමය තුළ එකතැන පල්වූ ආර්ථිකය ගොඩනැංවීමට ගොර්බචෝෆ් නැවුම් හුස්මක් ලෙස සැලකිනි.

ගොර්බචෝෆ්ගේ හැඩකාර ඇඳුම සහ විවෘත සෘජු හැසිරීම ඔහුගේ පූර්වගාමීන් මෙන් නොවීය. බිරිඳ රයිසා ද මහ ලේකම්වරයෙකුගේ බිරිඳකට වඩා ඇමරිකානු ජනාධිපති ආර්යාවකට සමාන විය.

නිදහස් වෙළෙඳපොළ

ඔහුගේ පළමු කර්තව්‍යය වූයේ කඩාවැටීමට ආසන්නව තිබූ සෝවියට් ආර්ථිකය නැවත පණ ගැන්වීමයි.

ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් කොමියුනිස්ට් පක්ෂයේම රැඩිකල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව තේරුම් ගැනීමට තරම් ඔහු බුද්ධිමත් විය.

ගොර්බචෝෆ්ගේ විසඳුම ලෙස රුසියානු වචන දෙකක් පොදු භාවිතයට ගෙන ආවේය. රටට "පෙරෙස්ත්‍රොයිකා" හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවත් එය සමඟ කටයුතු කිරීමට ඔහුගේ මෙවලම "ග්ලාස්නොස්ට්" - විවෘත භාවය බවත් ඔහු පැවසීය.

ශාන්ත පීටර්ස්බර්ග් ලෙස නම් කරන ලද ලෙනින්ග්‍රෑඩ්හි 1991 දී කොමියුනිස්ට් ප්‍රධානීන්නට ඔහු පැවසුවේ "ඔබ අනෙකුත් ආර්ථිකයට වඩා පසුගාමී ය" යනුවෙනි. "ඔබේ දුර්වල භාණ්ඩ අපකීර්තියකි."

එහෙත් 1985 දී පක්ෂ නියෝජිතයන් අමතා කළ කතාවකදී ඔහු පැහැදිලි කළ පරිදි, රාජ්‍ය පාලනය වෙනුවට නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් ආදේශ කිරීම ඔහුගේ අභිප්‍රාය නොවීය.

"ඔබගෙන් සමහරෙක් ඔබේ ආර්ථිකයේ ජීවිතාරක්ෂකයක් ලෙස වෙළඳපොළ දෙස බලයි. නමුත් සහෝදරවරුනි, ඔබ ජීවිතාරක්ෂකයින් ගැන නොව නැව ගැන සිතිය යුතුය, නැව සමාජවාදයයි."

ක්‍රමයේ එකතැන පල්වීම සමඟ කටයුතු කිරීමට ඔහුගේ අනෙක් ආයුධය වූයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රථම වතාවට මහජන නියෝජිතයින්ගේ කොංග්‍රසයට නිදහස් මැතිවරණ පැවැත්විණි.

අසීරුම පරීක්ෂණය

මර්දනකාරී පාලන තන්ත්‍රයේ ලිහිල් කිරීම, සෝවියට් සංගමයෙන් සමන්විත වූ විවිධ ජාතීන් අතර කැළඹීමක් ඇති කළේය. 1986 දෙසැම්බරයේ කසකස්ථානයේ ඇති වූ කැරලි නොසන්සුන් කාල පරිච්ඡේදයක පෙරගමන්කරුවෙකු විය.

ගොර්බචෝෆ්ට සීතල යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය විය, අතරමැදි න්‍යෂ්ටික බලකා සම්මුතිය හරහා සම්පූර්ණ ආයුධ පන්තියක් අහෝසි කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් සමඟ සාර්ථකව සාකච්ඡා කළේය.

සෝවියට් සාම්ප්‍රදායික හමුදාවන්හි ඒකපාර්ශ්වික කප්පාදුවක් නිවේදනය කළ ඔහු අවසානයේ ඇෆ්ගනිස්ථානයේ නින්දිත සහ ලේවැඟිරූ ආක්‍රමණය අවසන් කළේය.

Mikhail Gorbachev & Ronald Reagan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගොර්බචෝෆ් යටතේ සීතල යුද්ධය වේගයෙන් දිය වී ගියේය

එහෙත් ඔහුට දැඩි පරීක්ෂණය එල්ල වූයේ සෝවියට් සංගමය විසින් අකමැත්තෙන් ඈඳාගත් රටවලිනි.

විවෘතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙහිදී ස්වාධීනත්වය සඳහා වන ඉල්ලීම්වලට තුඩු දුන් අතර, එය මුලින් ගොර්බචෝෆ් විසින් බලහත්කාරයෙන් ඉවත දැමීය.

සෝවියට් සංගමය බිඳ වැටීම ආරම්භ වූයේ උතුරේ බෝල්ටික් ජනරජවල ය. ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව මොස්කව් වෙතින් නිදහස් වූ අතර, රුසියාවේ වෝර්සෝ ගිවිසුමේ මිත්‍ර පාක්ෂිකයින් වෙත රෝලර්කෝස්ටරයක් මෙන් එය ව්‍යාප්ත විය.

එය 1989 නොවැම්බර් 9 වන දින, මහජන පෙලපාලි වලින් පසුව, සෝවියට් දැඩිමතධාරීන් වන නැගෙනහිර ජර්මනියේ පුරවැසියන්ට බටහිර බර්ලිනයට නිදහසේ තරණය කිරීමට අවසර දීමත් සමඟ අවසන් විය.

ගොර්බචෙව්ගේ ප්‍රතික්‍රියාව වූයේ එවැනි නිර්ලජ්ජිත විරුද්ධත්වයට සම්ප්‍රදායික සෝවියට් ප්‍රතික්‍රියාව වූ යුද ටැංකි යැවීම නොව ජර්මනිය යලි ඒකාබද්ධ කිරීම ජර්මානු අභ්‍යන්තර කටයුත්තක් බව ප්‍රකාශ කිරීමයි.

1990 දී, ගොර්බචෝෆ්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී "නැගෙනහිර-බටහිර සබඳතාවල රැඩිකල් වෙනස්කම් සඳහා ඔහු ඉටු කළ ප්‍රමුඛ කාර්යභාරය සඳහා"එය පිරිනැමිණි.

නමුත් 1991 අගෝස්තු වන විට මොස්කව්හි කොමියුනිස්ට් පැරණි ආරක්ෂකයින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ අතර ගොර්බචෝෆ් කළු මුහුදේ නිවාඩුවක් ගත කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

පක්ෂයේ මොස්කව් හී ප්‍රධානියා වන බොරිස් යෙල්ට්සින් ඔහුගේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කුමන්ත්‍රණය අවසන් කළේය, පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගෙන ගොර්බචෝෆ්ගේ නිදහස වෙනුවෙන් ඔහුගේ දේශපාලන බලය සියල්ලම පාහේ ඉවත් කළේය.

Protests in 1991. The coup in that year signalled the end of Gorbachev's time in power
ඡායාරූප ශීර්ෂ වැකිය, 1991 විරෝධතා. එම වසරේ කුමන්ත්‍රණය ගොර්බචෝෆ්ගේ පාලන කාලය අවසන් වූ බව ඇඟවුම් කළේය.

මාස හයකට පසු ගොර්බචෝෆ් නික්ම ගිය අතර; කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලද අතර රුසියාව නව, අවිනිශ්චිත, අනාගතයක් ආරම්භ කළේය.

පසුකාලීනව මොකද වුණේ?

මිහායිල් ගොර්බචෝෆ් රුසියානු සහ ජාත්‍යන්තර කාරණා දෙකෙහිම වාචික කාර්යභාරයක් ඉටු කළ නමුත් විදේශයන්හි ඔහුගේ කීර්තිය සෑම විටම රුසියාවටත් වඩා ඉහළ මට්ටමක පැවතුනි.

1996 දී ඔහු රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට ඔහුට ලැබුණේ 5% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි.

1990 ගණන්වලදී ඔහු ජාත්‍යන්තර දේශන සංසදයකට ගොස් ලෝක නායකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන ගිය අතර රුසියානු නොවන බොහෝ දෙනෙකුට වීරෝදාර චරිතයක් වෙමින් සම්මාන සහ ගෞරව රාශියක් දිනා ගත්තේය.

1999 දී රයිසා ලියුකේමියාවෙන් මිය ගිය විට ඔහුට පෞද්ගලික පසුබෑමක් එල්ල විය. ඇයගේ නිරන්තර සහය ඔහුගේ දේශපාලන ප්‍රතිසංස්කරණවලට මානුෂීය ස්පර්ශයක් ලබා දුන්නේය.

Raisa & Mikhail Gorbachev

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රයිසා සිය සැමියා සමඟ ඉහළ චරිතයක් නිරූපණය කළාය

වඩ වඩාත් මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යන බවට චෝදනා කළ ඔහු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු විය.

"සියලු බලය විධායක බලය අතේ තිබීමෙන් දේශපාලනය වඩ වඩාත් අනුකරණ ප්‍රජාතන්ත්‍රවාදයක් බවට හැරෙමින් තිබේ" යනුවෙන් ගොර්බචෝෆ් පැවසුවේය.

කෙසේ වෙතත්, 2014 දී, ගොර්බචෝෆ් රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමට තුඩු දුන් ජනමත විචාරණය පක්ෂග්‍රාහී ව අදහස් පළ කළේය.

"මීට පෙර ක්‍රිමියාව ජනතාවගෙන් නොවිමසා, පක්ෂ නීති එනම්, සෝවියට් නීති මත පදනම්ව යුක්රේනයට සම්බන්ධ වී තිබුනද," ගොර්බචෝෆ් ප්‍රකාශ කලේ, "දැන් එම වැරැද්ද නිවැරදි කිරීමට ජනතාවම තීරණය කර ඇත" යනුවෙනි.

2021 මාර්තු මාසයේදී ගොර්බචෝෆ්ගේ 90 වැනි උපන්දිනයේදී, ජනාධිපති පුටින් ඔහුව ප්‍රශංසා කළේ "අපේ ජාතියේ සහ ලෝකයේ ඉතිහාසයට සැලකිය යුතු බලපෑමක් කළ නූතන යුගයේ වඩාත්ම කැපී පෙනෙන රාජ්‍ය නායකයෙකු" ලෙසය.

ගොර්බචෝෆ්ගේ දායාදය පිළිබඳ ඔහුගේම අදහස්? ඒකාධිපති රාජ්‍ය ක්‍රමය සහ සීතල යුද්ධය අවසන් කිරීම සහ න්‍යෂ්ටික අවි අඩු කිරීම නිවැරදි බව ඔහු පැවසීය.

එහෙත් කුමන්ත්‍රණය සහ සෝවියට් සංගමයේ අවසානය පිළිබඳ වැලපිල්ල තවමත් පවතී. බොහෝ රුසියානුවන් තවමත් සෝවියට් සංගමයේ බිඳවැටීමට ගොර්බචෝෆ්, වගකිව යුතු බව අදහස් කරයි.

ප්‍රායෝගික සහ තාර්කික දේශපාලනඥයෙකු වුවද, සෝවියට් සංගමයේ සහ ඉන් ඔබ්බෙහි මිලියන ගණනකට තවදුරටත් අවශ්‍ය නොවන මධ්‍යගත කොමියුනිස්ට් ක්‍රමයක් විනාශ නොකර තම ප්‍රතිසංස්කරණ ගෙන ඒම කළ නොහැකි බව වටහා ගැනීමට මිහායිල් ගොර්බචෝෆ් අසමත් විය.