ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නජීබ් රසාක්: මැලේසියාවේ හිටපු අගමැති අවසන් අභියාචනය අසාර්ථක වීමෙන් පසු සිර දඬුවම් ආරම්භ කරයි
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා වසර 12 ක සිර දඬුවම ක්‍රියාත්මක කරමින් ඔහුව සිරගත කොට තිබේ.
69 හැවිරිදි ඔහුට ඇති චෝදනා වන්නේ රජය සතු අරමුදලක් වන '1Malaysia Development Berhad (1MDB)' සම්බන්ධ දූෂණ අපචාර වංචා චෝදනාවන්ය.
ඔහු 2020 ජූලි මාසයේදී වරදකරු වූ නමුත් අභියාචනය නිසා ඇප මත නිදහස්ව සිටියේය.
තම දඬුවම ප්‍රමාද කරන ලෙස නජීබ් කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගින් දිගටම තමාට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
2020 දී, උසාවියක් ඔහුව චෝදනා හතකට වරදකරු කර ඇත. ඊට පදනම්ව ඇත්තේ SRC ඉන්ටර්නැෂනල් වෙතින් රිංගිට් මිලියන 42ක් (ඩොලර් මිලියන 9.4ක්) ඔහුගේ පුද්ගලික ගිණුම් වෙත මාරු කර ගැනීමයි.
ඔහුට වසර 12 ක සිරදඬුවමක් සහ රිංගිට් මිලියන 210 ක (ඩොලර් මිලියන 46.8ක) දඩයක් නියම විය.
නීතීඥයන් තර්ක කළේ නජීබ්ගේ ගිණුම්වල ඇති අරමුදල් රාජ්‍ය අරමුදලෙන් අයථා ලෙස පරිහරණය කිරීමක් නොව, සෞදි රජ පවුල විසින් පරිත්‍යාග කළ මුදල් බවට ඔහු විශ්වාස කරන බවයි.
මූල්‍ය උපදේශකයින් විසින් ඔහුව නොමඟ යවා ඇති බවත්, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ මැලේසියාවේ චෝදනා ලැබ එහෙත් තමන් නිර්දෝෂීයැයි පවසන පලාගිය මූල්‍ය සම්පාදකයකු වන ජෝ ලෝ ඊට මුල්ව ඇති බවත් ය.
අඟහරුවාදා නිදහස ලබා ගැනීම සඳහා වූ ඔහුගේ අවසාන උත්සාහයේදී, නජීබ්ගේ නීතීඥයා විසින් අගවිනිසුරු ටෙන්කු මයිමුන් තුවාන් මැට් විනිසුරු මඬුල්ලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. එය අවසාන තීන්දුවක් ලබාදීම වළක්වාලීමේ උත්සාහයක් ලෙස සැලකේ.
අගවිනිසුරුවරියගේ සැමියා නජීබ් විවේචනය කරමින් 2018 දී ෆේස්බුක් සටහනක් තබා ඇති බැවින් ඇය පක්ෂග්‍රාහී විය හැකැයි ඔවුහු කියා සිටියහ.
කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණේ එම සටහන නජීබ්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට පෙර තැබූවක් බැවිනි.
සිය තීන්දුවේදී අගවිනිසුරුවරිය පැවසුවේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ නජීබ් චෝදනා හතටම වරදකරු බවත්, අභියාචනය "කිසිදු සත්‍යතාවයකින් තොර" බවත්ය.
"විත්තිකාර පාර්ශවයේ ප්‍රකාශ කෙතරම් නොගැලපෙන ඒවා ද යත්, නඩුව සම්බන්ධයෙන් ද සාධාරණ සැකයක් මතු වේ" යැයි ඇය පැවසුවාය.
අඟහරුවාදා එලෙස අවසන් වූයේ 1MDB සම්බන්ධ නඩු පහෙන් පළමුවැන්න පමණි
නජීබ්ගේ බිරිඳ වන රොස්මා මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැර හැරීමේ චෝදනාවලට ලක්ව සිටින අතර, එම චෝදනාවලට ඇය නිවැරදිකරු බවට ඇය පවසා ඇත.
සූර්ය හයිබ්‍රිඩ් ව්‍යාපෘතියකට සම්බන්ධ දූෂණ චෝදනාවලට ඇය වෙනම මුහුණ දෙන අතර, මෙම නඩුවේ තීන්දුව මහාධිකරණය විසින් සැප්තැම්බර් 1 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇත.
තහංචි බිඳී ඇති සුවිශේෂී අවස්ථාවක්
මෙය සුවිශේෂී අවස්ථාවකි.
බලය කිසිවකුට වගනොකියන, තනතුරු වල ජ්‍යෙෂ්ඨත්වය දැඩි ලෙස ක්‍රියාත්මක වන කලාපයක නජීබ් රසාක් තරම් ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් සිරගත වීම ඉතාමත් විරල අවස්ථාවකි.
1998 දී සිය අත්තනෝමතික පාලනයට එරෙහි මහජන විරෝධතාවලින් පසු ඉල්ලා අස්වූ ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝ පවා සිරගත කෙරුණේ නැත. මැලේසියාව එම පසුබිම වෙනස් කර ඇත.
නජීබ්ට ඉතිරිව ඇත්තේ නීතිමය මාර්ග කිහිපයක් පමණි. ඔහුට අභියාචනය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි නමුත් ඉන් වාසියක් ලද හැකි ද යන්නට ඇති විභවතාව ඉතාම අල්පය.
නමුත් ඔහු තවදුරටත් වේදිකාවෙන් සමුගත්තා යැයි සිතිය නොහැක. මන්ද, නජීබ් රසාක් මැලේසියානු සමාජයේ ඇතැම් ජන කොටස් අතර ජනප්‍රිය අයෙකු වන අතර, ඔහුට තවමත් ඔහුගේ UMNO පක්ෂයේ බලය පවතී. එම පක්ෂයට ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරියට පැමිණීමට අවකාශ ඇති අතර, ඉන්පසු ඔහුට රාජකීය සමාව ලැබිය හැක.
2018 මැතිවරණයෙන් දුෂණ චෝදනා හේතුවෙන් නජීබ් දැවැන්ත පරාජයක් අත්කරගැනීමත් සමඟ UMNO වෙත වසර 61ක් තිබූ බලයේ ඒකාධිකාරය අහිමි වීමෙන් පසු මැලේසියානු දේශපාලනය වඩාත් අස්ථාවර වී ඇත.
විශාල ධනයකට හා සුඛෝපභෝගී ජීවිතයකට හුරුවී ඇති ඔහුට දැන් ටික කලක් බන්ධනාගාරයක ජීවිතය ගෙවීමට සිදුවනු ඇත.