ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබීය.
එය සිය ආණ්ඩුවේ "දූෂණයට එරෙහි සටනේ" තවත් වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.
මීට ඉහතදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ කොමිසමේ අතුරු වාර්තා කිහිපයක් දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොමිසමේ විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ එහි ලේකම් ලැසිල් ද සිල්වා පදවියෙන් ඉවත් කිරීම සංවාදයකට තුඩු දුන් අතර මීට ඉහතදී බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී දූෂණ සිදු වී ඇතැයි ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි විශ්වාස කරන බවය.
විමර්ශන පැවැත්වෙන අතරවාරයේ වත්මන් රජයේ සුළු ජාතික අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු පිළිබඳව තමන් සමග සාකච්ඡා කළ බව ද හිටපු ලේකම්වරයා මීට ඉහතදී බීබීසී යට පැවසීය.
අඟහරුවාදා (ජනවාරි 02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබූ වාර්තා 17ට අදාළ ආයතන 17 දකුණු පස වගුවේ දැක්වේ.
වාර්තාව භාරදීමේ අවස්ථාවට කොමිසමේ සාමාජිකයින් වන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී පේමතිලක ද සහභාගි වූහ.
මෙම වාර්තා 17 සමග රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා 34ක් ජනාධිපතිවරයා වෙත මේ වනවිට භාර දෙනු ලැබ තිබේ.
පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) තමන් වෙත භාර දෙනු ලැබූ මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.
මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවත් ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා කරුණු දක්වනු ඇතැයි විශ්වාස කෙරේ.
සබැඳි යොමු: