ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියානු ප්‍රචාරණයේ නවතම සංකේතය වූ බබුෂ්කා Zගේ අනන්‍යතාව හෙළිවෙයි
වයෝවෘද්ධ යුක්රේන කාන්තාවක් යුක්රේන සොල්දාදුවන් හමුවේ රතු සෝවියට් ධජයක් ලෙළවන වීඩියෝවක් ක්‍රෙම්ලිනයේ ප්‍රචාරක කටයුතුවල නව මුහුණත බවට පත්විය. සිද්ධිය පිටුපස ඇති සත්‍යය තහවුරු කරගැනීමට BBCය "බබුෂ්කා Z" සොයා ගියේ ය.
"මාව ඔච්චර ප්‍රසිද්ධියට පත්කරන්න ඕනේ කියල මම හිතන්නේ නෑ. මම සාමාන්‍ය කාන්තාවක්. මට තේරෙන්නේ නැහැ ඇයි මම ප්‍රසිද්ධියට පත්වුණේ කියලා."
බබුෂ්කා Z (බබුෂ්කා යන වදන රුසියානු භාෂාවෙන් "මිත්තණිය" යන අරුත් දෙයි) ලෙස ප්‍රසිද්ධියට පත් වූ මෙම කාන්තාවගේ අන්වර්ථ නාමයේ Z අකුරින් අදහස් වන්නේ රුසියානු සන්නාහ සන්නද්ධ වාහනවල බොහෝවිට පින්තාරු කෙරෙන Z සංකේතය යි. BBCය අන්තර්ජාලයේ පළවූ ඇගේ ඡායාරූප පෙන්වූ විට ඇය තුෂ්නිම්භූත වූවා ය. "මම මේ එකක්වත් දැක්කේ නැහැ," ඇය කියා සිටියි.
ඇය රතු සෝවියට් කොඩියක් අතැතිව යුක්රේන සොල්දාදුවන් දෙදෙනෙකු දෙසට ගමන් කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
ඇයට උදව් කිරීමට සහ ආහාර මල්ලක් පිරිනැමීමට ඔවුන් පැමිණි බව සොල්දාදුවන් ඇයට පවසයි. ඉන්පසු ඔවුන් ඇගෙන් කොඩිය උදුරාගෙන බිම දමා, පයින් පාගා දමයි. එය අපහාසයක් ලෙස සැලකූ ඇය තමාට ලැබුණු ආහාර මල්ල ඔවුනටම නැවත ලබාදෙයි. "දෙවන ලෝක සංග්‍රාමයේ දී මේ කොඩිය වෙනුවෙන් මගේ අම්මා තාත්ත ජීවිතේ පිදුවා," ඇය කෝපයෙන් පවසයි.
ක්‍රෙම්ලිනයට මෙය වටිනා සිදුවීමක් විය. රුසියානු ප්‍රචාරණයට පුද්ගල-කේන්ද්‍රීය සිදුවීම් සොයාගත හැකි වන්නේ කලාතුරකිනි. ඔවුහු මෙම කාන්තාව සෝවියට් සංගමය බිඳවැටීම ගැන කණගාටු වන, රුසියානුවන් විමුක්තිකාමීන් ලෙස සලකන යුක්රේනියානුවෙකුගේ දුර්ලබ උදාහරණයක් ලෙස දුටුවෝ ය.
රුසියානු භාෂාව කතා කරන කලාපවල බොහෝ යුක්රේනියානුවන් පවා ආක්‍රමණය හෙළා දකියි. එසේ තිබිය දී ඇය සෝවියට් ධජය ලෙළවීම රුසියාවේ ක්‍රියාවන්ට යුක්රේන ජනතාව සහයෝගය පළ කරන බවට සාක්ෂියක් ලෙස භාවිතා කෙරිණ.
දෙවන ලෝක යුද සමයේ "රුසියා මාතාව" යන තැපැල්පත දැක තිබූ සෑම රුසියානු ජාතිකයෙකුටම ධජයේ සහ බබුෂ්කාගේ ක්‍රියාවේ සංකේතමය වටිනාකම දැනෙයි.
ක්‍රෙම්ලිනයේ ප්‍රොපගැන්ඩාව තම වැඩ පටන්ගත්තේ ය. දින කිහිපයකින්ම ඇගේ රුව - එනම්, සාම්ප්‍රදායික ලෙස හිස වැසෙන සේ ලේන්සුවක් බැඳගත්, ෆෙල්ට් බූට් සහ ඝන සායක් හැඳගත් සෝවියට් සමයේ සාමාන්‍ය කාන්තාවකගේ රුවක් - මොස්කව් සහ සයිබීරියාවේ සිට ඈත නැගෙනහිර සඛාලින් දූපත දක්වාම පැතිර ගියේ ය.
බිතුසිතුවම්, දැන්වීම් පුවරු, තැපැල්පත්, මූර්ති, සහ වාහනවල බම්පර් ස්ටිකර් හරහා ඇය දැන් අමරණීය වී සිටියි. ඇය වෙනුවෙන් ගීත සහ කවි ලියැවී තිබේ. බෝම්බ හෙළා සමතලා කෙරුණු යුක්රේන නගරයක් වන මරියුපෝල්හි ඇගේ පිළිරුවක් විවෘත කිරීමට ද රුසියානු නිලධාරීහු කටයුතු කළහ.
මෑතක් වන තුරුම බබුෂ්කා Zගේ සැබෑ අනන්‍යතාව කිසිවෙකු දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම, ඇය ජීවතුන් අතර සිටීදැ යි කිසිවෙකු දැන සිටියේ නැත.
නමුත් ඇය සැබෑ පුද්ගලයෙකි. ඇගේ නම ආන්නා ඉවානොව්නා වන අතර අපි ඇය ඇගේ සැමියාත්, බල්ලන්, බළලුන් සහ හාවුනුත් සමග ජීවත් වන ඊසානදිග යුක්රේනයේ කාර්කිව් අසල ගම්මානයක් වන වෙලිකා ඩැනිලිව්කා වෙත ගියෙමු.
අප මේ ප්‍රාණවත් 69 හැවිරිදි කාන්තාවට ඇගේ රුවින් සැකසූ ප්‍රතිමාවේ පින්තූර පෙන්වූ විට ඈ පුදුමයට පත්වූවා ය. "ඇත්තටම මට එච්චර වයසක් පේනව ද?", ඇය අසයි. "ඒක හරියට ආගන්තුකයෙක් මා දිහා බලාගෙන ඉන්නවා වගේ!"
නමුත් ඇගේ කතාව රුසියානු මාධ්‍ය සිතුවම් කර ඇති රූපයට වඩා බෙහෙවින් වෙනස් ය. ඇය යුද්ධයට සහාය නොදක්වයි.
"මගේ මිනිස්සු මැරෙන එකට මම කොහොමද සහයෝගය දෙන්නේ? මගේ මුණුබුරන්ට සහ මී මුණුබුරන්ට පෝලන්තයට යන්න වුණා. අපි ජීවත් වන්නේ බයෙන්."
එසේ නම් ආන්නා සෝවියට් ධජයක් අතැතිව සොල්දාදුවන් ඉදිරියට ගියේ ඇයි? ඇය පවසන්නේ ඇයට අත්වැරදීමක් සිදුවූ බව යි. ඇයට ආහාර බෙදාදීමට ආ යුක්රේන සොල්දාදුවන් දෙදෙනා රුසියානු සොල්දාදුවන්යැ යි තමා වරදවා වටහාගත් බව ඇය පවසයි.
"රුසියානුවො අපි ළඟට ඇවිත් සටන් නොකර ඉන්න එක ගැන මම සතුටු වුණා. අපි නැවත එකතුවීම ගැන මට සතුටු හිතුණා."
ආන්නා සිය ක්‍රියාවට දේශපාලන අරුතක් යොදාගෙන නැත. රතු ධජය සෝවියට් සංගමයේ හෝ රුසියාවේ ධජය නොව, "සෑම පවුලකම, සෑම නගරයකම, සෑම ජනරජයකම ආදරයේ සහ සතුටේ ධජය මිස ලේ වැගිරීමක ධජයක් නෙවෙයි. කවුරුහරි ඒක එහෙම නෙවෙයි කියනවා නම්, ඒක වැරදි කතාවක්," ඇය පවසයි.
ආන්නාගේ කතාව අතරතුර, සටනේ හා වෙඩි හඬ නොනවත්වාම පසුබිමින් ඇසෙන්නට විය. නමුත් වරක් හෝ ගැස්සී ගියේ ඇය නොවේ. ඇය එයට හුරුව සිටියා ය.
"මට ව්ලැදිමීර් පුටින්ට කතා කරන්න ලැබුණොත් මම කියන්නේ ඔයා කළේ වැරැද්දක් කියලා. යුක්රේනයේ වැඩ කරන මිනිස්සු වෙන අපි මොන වරදක් කළාට ද මෙහෙම කරන්නේ? අපි තමයි මේවායින් වැඩිපුරම විඳවන්නේ."
නමුත් සෝවියට් සමයේ කාන්තාවක් වන ආන්නා රුසියානු නායකයා විවෘතව විවේචනය කිරීමට මැළිවූවා ය.
"පුටින් කියන්නේ ජනාධිපති කෙනෙක්. සාර් කෙනෙක්, රජ කෙනෙක්, අධිරාජ්‍යයෙක්."
ඇය මොස්කව්හි තරුවක් බවට පත්වුව ද, පුටින්ගේ හමුදාව ආන්නාගේ ගම ඉතිරි කළේ නැත. එයට කිහිප වතාවක්ම බෝම්බ හෙළනු ලැබිණ.
අපි එහි යන විට ද ඇතැම් නිවෙස් ගින්නෙන් දැවෙමින් තිබුණි. තවත් ඒවා අළු වී තිබුණි. ආන්නාගේ නිවස පවා ශෙල් වෙඩි නිසා විනාශ වී තිබුණි. එහි ජනෙල් බිඳී, වහළට හානි වී, ගෙවත්ත මත සුන්බුන් විසිරී තිබුණි.
"දැන් මට තේරෙනවා," ආන්නා කියයි. "එයාලා යුක්රේනයේ මිනිස්සු ගැන හිතන්නේ නැහැ. එයාලට ඕන අපේ රට අල්ලගන්න විතරයි."
යුක්රේනයේ සංස්කෘතික අමාත්‍යාංශයේ දිමිත්‍රෝ ගැල්කෝ ඊට එකඟ වේ. ඔහු පවසන්නේ රුසියානු ප්‍රචාරණය සෑම දෙයක්ම එක් මානයකින් පමණක් දකින බව යි.
"එයාලාට ඇත්ත මොකක්ද කියන එකෙන් වැඩක් නැහැ. මිනිස්සු ගැන වැඩක් නැහැ. එයාලට ආන්නා කියන්නේ කවුද, එයාට මොකක් වේවි ද කියන එකෙන් වැඩක් නැහැ. එයාලා පුළුවන් නම් ආන්නාව අල්ලලා මමියක් කරලා සොහොන් ගෙයක තියාවි," ඔහු කියයි.
ආන්නා දැන් ඇගේ ආරක්ෂාව ගැන බිය වන්නී ය. ඇය රුසියානු හිතවාදියෙකු ලෙස සැලකීම නිසා යුක්රේන අන්තර්ජාලය ඇයට විරුද්ධව සිටියි.
ඇගේ අසල්වැසියන් සියල්ලෝම ඇය මඟහරිති. එය කුඩා ගමක් වන අතර සෑම කෙනෙකුම එකිනෙකා හඳුනයි.
"එයාලා මාව ප්‍රසිද්ධියට පත් කිරීම ගැන මම සතුටු වෙන්නේ නැහැ. මොකද යුක්රේනය දැන් මාව ද්‍රෝහියෙක් ලෙස දකිනවා."
නමුත් ඇගේ කීර්තියේ සැබෑ පරිමාණය ආන්නාට දැනගැනීමට ලැබුණේ අපගේ සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී බව පැහැදිලි ය. අපි ඇගෙන් සමුගන්නා විට, දෑකැත්ත සහ මිටිය සහිත ඇගේ ආදරණීය රතු කොඩිය අපට ලබාදීමට ඇය උත්සාහ කළා ය.
"මට කරදරයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මිනිස්සු මට විරුද්ධව එය භාවිතා කරනවාට මම කැමති නැහැ."