අභ්‍යන්තර අකටයුතුකම් හෙළිකිරීම පිළිබඳ පැමිණිලි ඉවත දමතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර අකටයුතුකම් පිළිබඳව තොරතුරු හෙළිකරන්නන් හට සලකන ආකාරය පිළිබඳව බාහිර මණ්ඩලයක් විසින් පරීක්‍ෂා කළ යුතු බව එහි ලිංගික අතවර පිළිබඳ හිටපු ප්‍රකාශිකාව පවසයි.

පූර්ණා සෙන් මෙම ප්‍රකාශය සිදු කරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිදුවූබව පැවසෙන වැරදිසහගත ක්‍රියාවන් හෙළිදරව් කිරීමට උත්සාහ කළ කාර්ය මණ්ඩල සේවකයන් ගණනනාවක් සේවයෙන් පහකර ඇතැ යි BBC විමර්ශනයකින් හෙළිදරව් වීමෙන් පසුව ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 'ඉක්මනින්ම' මෙම මණ්ඩලය සිදුකරන යෝජනා සම්මත කළ යුතු බව සෙන් කියා සිටියා ය.

'සත්‍ය අකටයුතුකම් පිළිබඳව තොරතුරු හෙළිකරන්නන්' ආරක්ෂා කිරීමට ද, කාර්ය මණ්ඩලයට වගවීමට ද තමන් කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශකොට තිබුණි.

"The Whistlebowers: Inside the UN" නම් BBC වාර්තා චිත්‍රපටිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිදුවූ වංචා සහ ලිංගික අපයෝජන ඇතුළු චෝදනා වාර්තා කිරීමට උත්සාහ කළ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අත්දැකීම් වාර්තා කරයි. ඔවුන් සියල්ලෝම කියා සිටියේ අකටයුතුකම්වලට එරෙහිව කතා කිරීමෙන් පසු ඔවුන්ට දඬුවම් ලැබුණු බවකි - ඇතැමුන් සේවයෙන් නෙරපා හැර තිබුණි.

2018 වසරේ දී එක්සත් ජාතීන්හි හිරිහැර කිරීම්, පහරදීම් සහ වෙනස්කොට සැලකීම් පිළිබඳ ප්‍රකාශිකාව ලෙස පත්කෙරුණු සෙන් එම චිත්‍රපටයේ දී පවසන්නේ, 'වැරදි ලෙස සළකනු ලැබූ, ලිංගික හිංසනයන්ට ලක්වූ සහ දරුණු ලිංගික අඩත්තේට්ටමට ලක්වූ' කාන්තාවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින බව යි. වැඩි වැඩියෙන් එයින් ගැලවීමට පිරිමින්ට ඉඩක් ලැබෙන තරමට, "ඔවුන් එය දිගටම කරගෙන යනු ඇතැ"යි ඇය පවසන්නී ය.

'දැඩි ලෙස සිත් කම්පා කරවන අන්දමේ' සාක්ෂි ගැන තමන් පුදුම නොවන බව ඇය BBC වෙත පවසා සිටියා ය.

"ඒකෙන් පෙන්වන්නේ ඇතැම් අවස්ථාවල දී බලගතු නොවන අය ආරක්ෂා කිරීමට වඩා සංවිධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ගේ ආරක්ෂාව වැදගත් කියලා ආයතන සිතන බව," ඇය මෙහිදී කියා සිටියා ය.

"ඒකෙන් පෙන්වන්නේ මානව හිමිකම් ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් තුළ ද සැබෑ ගැටළුවක් පවතින බව - මෙම ස්ථානය මානව හිමිකම් බොහොමයක තිඹිරිගෙය වුවත්, එහි සේවය කරන පුද්ගලයින් වෙත එම හිමිකම් ලබාදීමට ආයතනය අපොහොසත් වී තිබෙනවා."

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් කාර්යමණ්ඩල අත්දැකීම් සලකාබැලීමට සහ ඒ සම්බන්ධ ක්‍රියා පටිපාටියක් නිර්දේශ කිරීමට බාහිර මණ්ඩලයක් පත්කළ යුතු බව සෙන් පැවසුවා ය.

මහලේකම් ගුටරෙස්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, "ඕනෑම ආකාරයක විෂමාචාරවලට එරෙහිව සටන් කිරීමට" තමා දරන උත්සාහයන් සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක බාහිර සමාලෝචනයක් සඳහා ඉඩකඩ විවෘත බව යි.

රාජ්‍යතාන්ත්‍රික මුක්තිය

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරක්ෂිත නෛතික තත්ත්වයක් ඇති අතර, සියලුම රාජ්‍ය නීතිවලට එරෙහි රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය සතු ය.

මෙය සංවිධානයට ලබාදී ඇත්තේ එහි කාර්යය සිදුකරන විට සිදුවන මැදිහත්වීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ය. නමුත් මෙය එහි කාර්යමණ්ඩලයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාදී නොමැති නිසා ලිංගික අතවර වැනි අපරාධ කරන පුද්ගලයන් ඒ යටතේ ආරක්ෂා නොකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සියලුම කාර්යමණ්ඩල පැමිණිලි අභ්‍යන්තරව විසඳිය යුතු අතර, අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය (OIOS) සාපරාධීත්වය පිළිබඳ චෝදනා ඇතුළු බරපතලම චෝදනා හසුරවයි. එහෙත් එයට නීතිමය බලයක් නොමැත.

OIOS සෑමවිටම ඵලදායී නොවනබව හඟවන රහස් පටිගතකිරීමක් BBC වෙත ලැබිණ. එහි දැක්වෙන්නේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ බෙන් ස්වොන්සන් කාර්යමණ්ඩල රැස්වීමක් අමතන ආකාරයයි. එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකාවක් කඳුළු සලමින් තමා වෙත පැමිණ, සහකාර මහලේකම්වරයෙකු තමා හැඳ සිටි කලිසම තුළට අතදැමුවේයැ යි තමන් සමග කියූ බව ඔහු එහිදී විස්තර කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහකාර මහලේකම්වරුන් ගණනාවක් සිටියි.

මෙම පටිගත කිරීමේ දී ස්වොන්සන් ප්‍රකාශ කරන්නේ තමා මහලේකම් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙම ලිංගික අතවර චෝදනාව වාර්තා කළ නමුත් ඔවුන් එය ඉක්මනින් යටපත් කළ බව යි. "මම මේ කතාව කියන්න උත්සාහ කළා... ඔවුන් කෙලින්ම ඒ කතාව යටපත් කළා," ඔහු එහි දී පවසයි.

තමාට සිදුවූ බව කියන හිංසනය වාර්තා කිරීමෙන් අදාළ කාන්තාව අධෛර්යයමත් කර තිබූ අතර, අදාළ පුද්ගලයා "ආයතනයේ විශේෂ සැළකුම් ලබන අයෙකු" නිසා මෙය වාර්තා කිරීමෙන් ඇයට සාධාරණයක් නොවනු ඇතැයි ඇයට පවසා ඇතිබව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම පටිගත කිරීම ප්‍රසිද්ධියට පත්කළ පීටර් ගැලෝ වාර්තා චිත්‍රපටයට මෙසේ පැවසීය: "මම නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විමර්ශකයෙකු ලෙස වසර හතරක් ගතකර තිබෙනවා. එම අත්දැකීමේ ප්‍රතිඵලයක් ලෙස, සංවිධානය පහළ සිට ඉහළටම දූෂණයෙන් පිරී ඇති බව මම විශ්වාස කරනවා."

මෙම විස්තර ශ්‍රවණය කළ සෙන් මෙසේ පැවසුවා ය: "ඇයි මහලේකම්වරයා කියන්නේ නැත්තේ 'මෙය ඉතාම වැරදි දෙයක්, අපි එයට එරෙහිව යම් ක්‍රියාමර්ගයක් ගත යුතු යි. මෙවැනි දේ 'කිසිසේත්ම නොඉවසන' ප්‍රතිපත්තියට අනුව අපි මෙවැනි දේට එරෙහිව යම් ක්‍රියාත්මකවීමක් පෙන්විය යුතුයි' කියලා? ඒ වෙනුවට ඔහුගෙන් අපට ලැබෙන්නේ කිසිවක් නොකරන නිහඬතාව පමණ යි."

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය පවසන්නේ "ලිංගික හිංසනයන්ට දායක වූ බව වාර්තා වන කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ හෝ කාර්යමණ්ඩල සාමාජිකයන්ට එරෙහිව පියවර ගන්නා" බව යි.

'අධම යි'

තමන් ද රැකියාවේ දී ලිංගික හිංසනයට ද ගොදුරු වූ බව, UNAIDSහි හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන මාර්ටිනා බොස්ට්‍රම් BBC වෙත පැවසුවා ය.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලිංගික අපයෝජන, සූරාකෑම සහ හිරිහැර මූලස්ථානයේ දී සිදුවෙනවා. එය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුවෙනවා. එය සාමාන්‍ය වැඩ කරන වේලාවන් තුළ සිදුවෙනවා. එය සෑම තැනකම දීම සිදුවෙනවා," ඇය පැවසුවා ය.

UNAIDSහි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ සහකාර මහලේකම්වරයෙකු වන ලුයිස් ලුවරස් තමා ඉලක්කකර ගත් බව ඇය පැවසුවා ය. ඇය විස්තර කළේ ඔහු ඔහුගේ "අධම" සහ නුසුදුසු හැසිරීම් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටි බව යි. 2015 දී බැංකොක්හි පැවති උත්සවයක් අතරතුර රැස්වීමකින් පිටත්ව යන අතරතුරේ සෝපානය තුළ දී ඔහු බලහත්කාරයෙන් ඇය සිපගෙන, සිරුර ද ස්පර්ශ කළ බව ඇය පැවසුවා ය. ඒ ඔහු ඇය බලහත්කාරයෙන් ඔහුගේ කාමරය දෙසට ඇදගෙන යාමට උත්සාහ කිරීමට පෙර ය.

"මම ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා නවත්වන්න, මට යන්න දෙන්න කියලා. එම දිගු කොරිඩෝව දකින්න වෙයි කියන බිය නිසාම, සෝපානය තුළ රැඳී ඉඳීමේ උත්සාහයක් විදියට මට සෝපානයේ දොරෙන් මාව අවහිර කරගන්න සිද්ධ වුණා," ඇය පැවසුවා ය. "මගේ මොළය පැහැදිලිවම ඉතා ඉක්මනින් ක්‍රියාකරමින් සිටි අතර කුමක් සිදුවේදැ යි බියෙන් පසුවුණා."

මාර්ටිනා විධිමත් පැමිණිල්ලක් මඟින් මෙම සිදුවීම එක්සත් ජාතීන්ගේ විමර්ශකයන්ට දන්වා තිබුණි. ඊට පිළිතුරු ලෙස UN සහ UNAIDS "ඉතා නපුරු හා වේදනාත්මක ලෙසට පළිගත්තා," ඇය පැවසුවා ය.

"එය ඉතා වේදනාකාරී වන්නේ එය නැවත නැවතත් හිංසනයට ලක්වීමට සමාන නිසා යි. එය හරියට ඔවුන් ඔබට හුස්ම ගැනීමට අවස්ථාවක් ලබා නොදෙනවා වගෙයි."

2018 දී, ලුයිස් ලුවර්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශ්‍රාමගත් අතර, ඔහු වසර 22ක් තිස්සේ කැපවීමෙන් සිදුකළ සේවයට සංවිධානය ඔහුට ස්තුතිවන්ත විය. ඔහු BBCයට පැවසුවේ, "මම කිසිවිටෙක කිසිවකුට හිංසාවක් හෝ හිරිහැරයක් සිදුකර නැහැ. මට එල්ල කරන ලද චෝදනා පදනම් විරහිත යි," යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, "ආචාර්ය ලුවර්ස්ට එරෙහිව එල්ලවී ඇති හිරිහැර කිරීමේ චෝදනා විමර්ශනය කරන ලද නමුත්," ඒ වන විට "චෝදනාවල සත්‍යතාව පිළිබඳව අදහස් දැක්වීමට හැකියාවක් නොමැති බව යි."

2021 අගෝස්තු මාසයේ දී මාර්ටිනාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලිපියක් ලැබුණි. එයින් ඇය "දිගු කාලයක් පුරා ලිංගික හිරිහැරවලට ලක්වූ" බව පිළිගෙන තිබුණු නමුත්, 2015 දී ඇයට ලිංගික අතවර කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් නිගමනය කළේ "ඔබට අනුව කම්පනයක් ඇතිවන සිදුවීමක් සිදුවී ඇති බව පෙනී යන නමුත් ඒ පිළිබඳ සොයාගත් කරුණු සාක්ෂි ප්‍රමිතීන්ට අනුකූල නොවේ," යන්න යි.

කිසිසේත්ම නො ඉවසීම

මාර්ටිනාගේ සිද්ධිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින පුළුල් ගැටලුවක එක් ලකුණක් බව සෙන් පැවසුවා ය.

එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලයේ තුනෙන් එකක්ම ඔවුන් රැකියාවේ යෙදී සිටි අතරතුර ලිංගික හිරිහැරවලට ලක්ව ඇතිබව පැවසූ නමුත්, ඉන් බහුතරයක් වාර්තා වී නොමැති බව ඇය මෙම වාර්තා චිත්‍රපටයට පැවසුවා ය.

"මේ සිදුවීම් ගැන අප දන්නා දේ ඇත්තෙන්ම අයිස් කන්දේ තුඩ පමණ යි. මෙය සැබවින්ම වැදගත් කරුණක් වන්නේ, මෙවන් සිදුවීම් වාර්තා කිරීම නිසා තමන්ට අහිතකර ප්‍රතිඵල ඇතිවනු ඇතිබව මෙන්ම තමන් පළිගැනීමට ලක්වනු ඇති බව වින්දිතයන්ට හැඟී තිබීම යි."

"මට මෙවන් හිංසනයක් හෝ ලිංගික අතවරයක් වූවා නම්, මමත් එය වාර්තා නොකරනු ඇත. මම එම ක්‍රියාවලියට යොමු නොවෙමි."

ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ කාර්යාලය පවසන්නේ, "ලිංගික හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට විශාල දියුණුවක් ලබා ඇති බවත්, එයින් ගැලවීයාමට කිසිදු සංවිධානයකට හැකියාවක් නො මැති බවත්" ය. චෝදනා සොයා බැලීම සඳහා කාන්තා විමර්ශකයින් බඳවාගැනීම, විෂමාචාර වාර්තා කිරීමට කාර්ය මණ්ඩලය සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම, සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට වඩා හොඳ පුහුණුවක් ලබා දීම ඇතුළු පියවර ඊට ඇතුළත්" බව එහි සඳහන් වේ.

එහෙත් BBC වෙත අදහස් දක්වමින් සෙන් ප්‍රකාශ කරන්නේ, වාර්තා චිත්‍රපටයේ තොරතුරු අනුව මෙවන් සිදුවීම් "කිසිසේත් නොඉවසීමේ" එක්සත් ජාතීන්ගේ පොරොන්දු ඉටුකර නොමැති බවත්, වැඩිදියුණු කිරීමට බොහෝ දේ ඇති බවත් ය.

"එය දූෂණය, වංචාව, ලිංගික හිංසනය ආදී කුමන චෝදනාවක් වුවත්, එය වාර්තා කිරීමෙන් තමාට කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව [එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලයට] හැඟෙනවා. ඔවුන්ගේ පැමිණිලි ඉතා ඉක්මනින් ඉවත දමනු ලැබෙනවා. ඔවුන්ට විකල්ප ක්‍රියාපටිපාටි සහ අභියාචනා ප්‍රවේශය ලබා දී නැහැ," ඇය පැවසුවා ය.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර ඔවුන් තුළ තිබූ ඇතැම් විශාල අක්‍රමිකතාවන්ට නිසැකවම පිළිගෙන තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. මම ඉතා ප්‍රශ්නකාරී දේවල් දැක තිබෙනවා. ඒවා වචනවලින් පමණක් නොව, ක්‍රියාවෙන්ම හදිසි කරුණු ලෙස සලකා පියවරක් ගත යුතු දේ යි."