ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මොකද වෙන්නේ, යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් භාවිතා කර වෙනත් රටවල නඩු දායි ද?
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් අද (මාර්තු 7) පැවසුවේ විමර්ශනවලින් පෙනී යන්නේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවත් ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කර වගකිව යුත්තන්ට නඩු පවරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ වත්මන් රජය යුක්තිය ඉල්ලා කෑගසන අයට හිරිහැර හා බිය ගැන්වීම් කරන බවයි.
"මෙම සමූල ඝාතනයේ පළමු හැඟීම වූයේ එය තනිකරම ඉස්ලාමීය අන්තවාදීන් කිහිප දෙනෙකුගේ වැඩක් බවයි. කෙසේ වෙතත්, පසුකාලීන විමර්ශනවලින් පෙනී යන්නේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි,"යනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් කවුන්සිලයට පැවසීය. "අප විසින් නැවත නැවතත් කරන ලද ඉල්ලීම් සහ සිවිල් සංවිධාන සත්‍යය පසුපස හඹා ගියද, ශ්‍රී ලංකාවේ වත්මන් රජය වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇත. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කර වගකිව යුත්තන්ට නඩු පවරනවා වෙනුවට යුක්තිය ඉල්ලා කෑගසන අයට හිරිහැර හා බිය ගැන්වීමේ උත්සාහයන් තිබේ."උන්වහන්සේ තවදුරටත් පැවසුවේ "එහි ප්‍රතිඵලයක් වශයෙන්, බිහිසුණු අපරාධය සිදුවී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම පාස්කු ඉරිදා සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අප තවමත් සිටින්නේ අඳුරේය." යනුවෙනි."මෙය අගතියට පත් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බැවින්, පසුගිය වසරේ කවුන්සිලය විසින් ආරම්භ කරන ලද සාක්ෂි එකතු කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය වන ලෙසත් පාස්කු ඉරිදා සංහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සඳහා පරීක්ෂණයක් සහතික කිරීම සඳහා ක්‍රමයක් සකස් කරන ලෙසත් අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු," යනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ඉල්ලීම
මේ අතර පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මට්ටමින් වගවීම ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විකල්ප උපායමාර්ග අනුගමනය කරන ලෙසයි.
ඒ, මානව හිමිකම් කවුන්සිල 49 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යාවත්කාලීනකිරීම සහ අන්තර් ක්‍රියාකාරී සංවාදයට එක්වෙමිනි.
එහිදී ඇය චෝදනා කර සිටියේ, "වත්මන් ආණ්ඩුව වගවීමට ඇති අකමැත්ත ප්‍රදර්ශනයකර ඇතිවා පමණක් නොව - දඬුවම් නොලබා සිටීමේ හැකියාව ශක්තිමත් කරමින්, යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන් රජයේ ඉහළ තනතුරුවලට පත්කර ඇති" බව යි.
"මෙම හේතූන් නිසා, සහ වින්දිතයින් සඳහා යම් ආකාරයක සහනයක් ලබාදීමට ජාත්‍යන්තර මට්ටමින් වගවීම ඉදිරියට ගෙනයාම සඳහා විකල්ප උපායමාර්ග අනුගමනය කරන ලෙස මම කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා," ඇය පැවසුවා ය.
මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය හා සම්බන්ධ වීම හා ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා රජය විසින් වැඩි වශයෙන් යොමුවීම මෑතකාලීන සලකුණු ලෙස ඇය පෙන්වා දුන්නා ය.
"ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ සමහර විධිවිධාන සංශෝධනය කිරීමට සහ පනත යටතේ රැඳවියන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කිරීම පිළිගන්නා බව" ද මිෂෙල් බැච්ලේ පැවසුවා ය.
මහ කොමසාරිස්වරිය පැවසුවේ, "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති මූලික ගැටලු විසඳීමට මෙන්ම, දඬුවම් නොලබා සිටීමට තිත තැබීමට සහ අතීත උල්ලංඝනයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා තීරණාත්මක වන ගැඹුරු නීතිමය, ආයතනික, සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ඉදිරි පියවර ගන්නා ලෙස තමා රජය දිරිගන්වන" බව යි.
"කනගාටුවට කරුණක් නම්, පසුගිය වසර තුළ වගවීම සඳහා තවදුරටත් බාධා කිරීම් සහ පසුබෑම් දක්නට ලැබුණා. වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සත්‍ය ය සහ යුක්තිය අඛණ්ඩව ප්‍රතික්ෂේප වුණා.
"විවේචනවලට රජය දක්වන ප්‍රතිචාරය අත්‍යවශ්‍ය මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය සීමාකර තිබෙනවා," ඇය පෙන්වා දුන්නා ය.
මහ කොමසාරිස්වරිය කියා සිටියේ සිවිල් ආණ්ඩු කටයුතු මිලිටරීකරණය කිරීම තවදුරටත් සිදුවෙමින් පවතින බව යි.
සිවිල් තනතුරු හමුදා නිලධාරීන් අත සංකේන්ද්‍රණයවීම ගැන බලවත් සැලකිල්ලක් දක්වන බව ද මහ කොමසාරිස්වරිය පැවසුවා ය.
ඇය පෙන්වා දුන්නේ ඔවුන්ගෙන් සමහරක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ බරපතල චෝදනාවලට සම්බන්ධ වී ඇති බව යි.
රාජ්‍ය ආයතන තුළ වාර්ගික-ආගමික ජාතිකවාදයේ ප්‍රකාශනය වඩාත් දෘශ්‍යමාන වී ඇති අතර, සුළුතර ප්‍රජාවන් කොන්කිරීම සහ බියගැන්වීම සංහිඳියාව අඩපණ කරන බව ද ඇය ප්‍රකාශ කළා ය.
2020 අවසානයේ සිට, සුළුතර ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි උග්‍ර කරන සහ නව ආතතීන් ඇති කරන, ප්‍රධාන වශයෙන් බෞද්ධ උරුමයන් සංරක්ෂණය හෝ වන සංරක්ෂණයට සම්බන්ධ ඉඩම් ආරවුල්වල සැලකිය යුතු වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව ද ඇය පැවසුවා ය.
ස්වාධීන කොමිෂන් සභාවලට පත්ව ඇති ඉරණම ගැන කනස්සල්ල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මතවීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු රටේ ප්‍රධාන කොමිෂන් සභා සහ ආයතනවල ස්වාධීනත්වය ඛාදනයවීම ගැන කණගාටු වන බව ද මිෂෙල් බැච්ලේ පැවසුවා ය.
"රටේ දසදහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති 'අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය' කෙරෙහි වින්දිතයින්ගේ විශ්වාසය හීන වී ඇත. ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රධාන ආයතනවල අනාගත ස්වාධීනත්වය සඳහා වැදගත් පරීක්ෂණයක් වනු ඇති අතර බලය බෙදීම සහ මානව හිමිකම් එහිදී අවධාරණය කළ යුතු ය," යනුවෙන් ඇගේ ප්‍රකාශයේ සඳහන් වේ.
මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකා රජය "අනන්‍ය වූ, දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක්" සඳහා කැපවීම් ප්‍රකාශකර වසර දෙකක් ගතවී ඇතත්, වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ විශ්වසනීය මාර්ගෝපදේශයක් රජය විසින් තවමත් ඉදිරිපත්කර නොමැති බව ද මහ කොමසාරිස්වරිය පැවසුවා ය.
රජයේ පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා මේ සම්බන්ධයෙන් කියා සිටියේ, "මට තේරෙන හැටියට ආණ්ඩුවට තාම වෙලාව තියෙනවා ප්ලෑන් එකක් හරියට කියන්න මේක යි අපි කරන්නේ, මේකයි අපි ඇත්තට හිතාගෙන ඉන්නේ මේ මාස ටිකේ කරන්න කියලා. එහෙම මුකුත් ප්‍රසිද්ධියේ කියලා නැහැ. ඉතින් ප්‍රසිද්ධියේ කියන් නැතිකොට අපි දන්නේ නැහැ, මොකද්ද ලංකාවේ කරන්න යන්නේ කියලා."
ඇය කියා සිටියේ මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුතින් යෝජනාවක් ඉදිරිපත් නොවන බව යි.
"ඒක බලන්න වෙන්නේ සැප්තැම්බර් මාසයේ. මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ ලංකාවේ ඇත්තටම මුකුත් වෙලා නැහැ, ප්‍රගතියක් නැහැ කියන එක. ඒක බැරෑරුම් ප්‍රකාශයක්.
"මහ කොමසාරිස්වරිය කියලා තියෙන්නේ 'මඳි කරලා තියෙන ටික, විකල්ප බලන්න වෙනවා, කියලා. ආණ්ඩුවෙන් තාම ඒකට හරියට පිළිතුරක් දීලා නැහැ. ප්‍රසිද්ධියේ දැකල නැහැ, ආණ්ඩුවේ වැඩ පිළිවෙලක්. ජනතාවට කියලා නැහැ මොකද්ද කරන්නේ කියලා."
"කාදිනල් හිමි ගියා ජිනිවා, මනූෂ - හරීන් ගියා ජිනීවා. කාදිනල් සහ සමගි ජන බලවේගය පළමු වතාවට ගියේ. මීට පෙර සිවිල් සමාජයේ දෙමළ වින්දිතයින් තමා ගියේ. දැන් අලුතින් වෙනත් අයත් කියනවා ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් කරන එක මඳි කියලා. යුද්දෙ කාලෙදිවත් කාදිනල්කෙනෙක් ජිනීවා ගියේ නැහැ. ජිනීවා ගිහිල්ලා කාදිනල් කියනවා නම් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මඳි, තාම යුක්තිය පැත්තෙන් මුකුත් වෙලා නැහැ කියලා ඒක සුවිශේෂී තත්ත්වයක්," නීතිඥවරිය පෙන්වා දුන්නා ය.
නීතිඥ ෆොන්සේකා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතුබව පැවසූ විකල්ප ක්‍රියාමාර්ග මෙතෙක් නිශ්චිව ප්‍රකාශකර නොමැති බව යි.
"යුක්‍රේන සාකච්ඡාවේ දී වගේ ෆැක්ට්ස් ෆයින්ඩින් ක්‍රියාමාර්ගයකට යනවා ද, මොකද ලංකාවේ ආන්ඩුව මුකුත් කරන්නේ නැති නිසා, එහෙම නැත්නම් යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් එකකට වෙනත් රටවල නඩු දානවා වගේ ක්‍රියාමාර්ගයට යනවා ද, ආර්ථිකය පැත්තෙන් මොනවහරි බලනවා ද කියලා තාම නිශ්චිතව කියන්න බැහැ මේකයි කරන්නේ යන්නේ කියලා," ෆොන්සේකා පැවසුවා ය.
ඉන්දියාවේ ස්ථාවරය
දෙමළ ජනතාවගේ සාධාරණ මැසිවිලි සඳහා විසඳුම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනබව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රමානී පාන්ඩේ සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේ ය.
සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලෙසත්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු පවසා සිටියේ ය.
පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට කළ ඉල්ලීම තවදුරටත් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරන අතරම බලය බෙදීම පිළිබඳව ලබාදුන් පොරොන්දු ඉටු කරනු ඇතැ යි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
"අපි ජාත්‍යන්තර නීති සහ සම්මුතිවලට ගරු කරන ජාතියක් වෙමු"
මෙම සැසිවාරයේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රතිචාර දැක්වීය.
අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මහ කොමසාරිස්වරිය සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ බරපතල විෂමතා සහ දුර්වලතා තිබෙන බව අවබෝධකොට ගෙන ඇති බව යි.
එහි මූලික ඌණතාව වන්නේ, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් පිට පිට මැතිවරණ තුනක දී අතිමහත් ලෙස වරම් ලබා දී ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ අංගවල මූලික ක්‍රියාකාරකම් සහ වගකීම්වලට බලපාන ලෙස පවතින නොඉවසිය හැකි ආක්‍රමණශීලී ස්වභාවය බව ද ඔහු කියා සිටියේ ය.
වෙනත් ඕනෑම සාමාජික රාජ්‍යයක් සම්බන්ධයෙන් ද එවැනිම විමර්ශන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා මෙම කවුන්සිලය නිසැකවම භාර නොගනු ඇති බැවින්, මෙහි පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කොට සැලකීමේ අංගයක් ද පවතින බව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් අවධාරණය කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, මෙයම, එක්සත් ජාතීන්ගේ පද්ධතියේ පදනමේ මූලයටම පහර දෙන බව යි.
රටවල ප්‍රමාණය හා බලපෑම කුමක් වුව ද, එක්සත් ජාතීන්ගේ සහෝදරත්වයේ සියලුම සාමාජිකයින්ගේ ස්වෛරී සමානාත්මතාවයට අදාළ අත්‍යවශ්‍ය මූලධර්මයට ස්ථිරව අනුකූලව, සාමාජික රටවලට මහ කොමසාරිස්වරිය විසින් අදාළ කරන ලද ප්‍රමිතිවල ඒකාකාරිත්වය සහ අනුකූලතාව පිළිබඳ කරුණ මෙම වාර්තාවේ කොටස් කිහිපයක් මඟින් නින්දා සහගත ලෙස උල්ලංඝනයකොට ඇති බව ද අමාත්‍යවරයා චෝදනා කළේ ය.
"මනසට මෙය විශේෂයෙන් කැළඹිලි සහගත වන්නේ, එක්සත් ජාතීන්ගේ සහ විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ ශක්තිය සහ කීර්තිය ලැබෙන්නේ සමස්තයක් ලෙස කවුන්සිලයේ ආකල්පවලට යටින් පවතින සදාචාරාත්මක හා සදාචාරාත්මක පදනම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් සැලකිල්ල මත බැවිනි"යි පැවසූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම මෙම කවුන්සිලයේ පූර්වගාමියා වූ මානව හිමිකම් කොමිසමට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් සලකා බලා, මෙම විශ්වාසය නොබිඳී තබා ගැනීම ඉතා වැදගත් බව දැඩිව විශ්වාස කරන්නේයැ යි ද ප්‍රකාශ කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, පදනම් විරහිත චෝදනා සහ භෞමික තත්ත්වයන්ගේ සංකීර්ණත්වය පිළිබඳව අසංවේදීව මතුපිටින් බලා එළැඹුණු නිගමන රැසක් මෙම වාර්තාව තුළට පැමිණීම බලවත් කණගාටුවට කරුණක් බව යි. මෙම කරුණු පිළිබඳව රජයේ ලිඛිත ප්‍රතිචාරයේ දී සවිස්තරාත්මකව විස්තරකොට ඇති බව ද ඔහු පැවසුවේ ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීති පද්ධතියේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන, පොහොසත් සහ විවිධ සංස්කෘතික උරුමයන්ගෙන් පැන නගින සහ දැඩි සමාලෝචන ක්‍රියාවලීන්ට යටත් වන, කාලයේ පරීක්ෂාවට ලක්වූ රටේ මූලික ආයතන වෙත මහ කොමසාරිස්වරිය විසින් එල්ල කරන ලද අනවශ්‍ය ප්‍රහාරයෙන් කැළඹීමට පත්ව ඇතැ යි ද විදේශ අමාත්‍යවරය සඳහන් කළේ ය.
"පෙර නොවූ විරූ අර්බුදකාරී අවස්ථාවක දී සමස්ත මානව වර්ගයාටම ප්‍රශස්ත ප්‍රතිලාභ අත්කරගැනීම සඳහා පවතින දැඩි ලෙස සීමිත සම්පත් මේ අයුරින් භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නය ද මෙහි පවතියි," ඔහු සඳහන් කළේ ය
"පක්ෂග්‍රාහී සහ නිශ්චිතවම ඉලක්ක කරගත් ලෙස ශ්‍රී ලංකාව ලුහුබැඳීම සඳහා සිදුකළ ඩොලර් මිලියන ගණනක දැවැන්ත වියදම, මෙම පැහැදිලි අත්‍යාවශ්‍ය කරුණ සඳහා කිසිසේත්ම අනුකූල නොවේ.
"මේ මොහොතේ තීරණාත්මක ලෙස වැදගත් බවට පුළුල් පරාසයක ජාතීන්ට පෙනීයන මෙම සලකාබැලීම් සම්බන්ධයෙන් මෙම වාර්තාව මඟින් අල්ප සැලකිල්ලක් දැක්වීම මහත් කණගාටුදායක කරුණක් ලෙස පෙනීයතැ,"යි අමාත්‍යවරයා පැවසීය.
ජනතාව සඳහා ප්‍රතිෂ්ඨාපනයකොට ඇති ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත්, තිරසාර ප්‍රගතිය සාධාරණ ලෙස තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස අධිෂ්ඨානකොට ඇති බවත්, ඉදිරි අභියෝගවලට මුහුණ දීම සඳහා සමානාත්මතාවයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ පදනම මත හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාව හා එක්වන ලෙස කෙරෙන අවංක ඉල්ලීම සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව වෙත එළඹෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
46/1 යෝජනාවට විරුද්ධවීම
ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 දරන යෝජනාව බෙදීගිය ඡන්දයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත විය.
අමාත්‍ය ජී. එල්. පීරිස් කියා සිටියේ එහි ගැඹුරු දෝෂ සහිත ක්‍රියා පටිපාටිය සහ පිළිගත නොහැකි අන්තර්ගතය, විශේෂයෙන් ඊනියා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් එහි OP 6 ඡේදය සමග මූලික වශයෙන් එකඟ නොවීම මත ශ්‍රී ලංකාව සහ අනෙකුත් සාමාජික රටවල් මෙම යෝජනාවට විරුද්ධ වූ බව යි.
මෙම යෝජනාව කවුන්සිලයේ අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය, සහ තෝරා නොගැනීම යන මූලික මූලධර්මවලට සෘජුවම පටහැනි වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.
එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 60/251 මඟින් සාමාජික රටවල් විසින් ලබාදුන් වරම විශාල වශයෙන් ඉක්මවා ගියබව සඳහන් කෙරුණි.
"මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මතය මා මාර්තු 01 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශකොට ඇත. මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අදහස් ද අපි කාලානුරූපී ලෙස ඉදිරිපත් කළෙමු. මහ කොමසාරිස්වරියගේ ලිඛිත යාවත්කාලීන කිරීම සමග මෙය එකවර ප්‍රකාශයට පත්කිරීමට ලේකම් කාර්යාලය අපොහොසත්වීම පිළිබඳව කණගාටුවෙන් යුතුව සටහන් කරන්නෙමු," විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පවසා සිටියේ, මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ ද මානව හිමිකම් පිළිබඳ ස්වේච්ඡා ජාත්‍යන්තර වගකීම් සහ මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධවීම ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව යි.
"2022 ජනවාරි 18 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කළ පරිදි අපි ජාත්‍යන්තර නීති සහ සම්මුතිවලට ගරු කරන ජාතියක් වෙමු. අපි අපගේ ප්‍රගතිය සහ අභියෝග මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ අනෙකුත් අදාළ ආයතන සමග අවංක හා විවෘත හුවමාරුවක දී නිතිපතා බෙදාහදාගෙන ඇත්තෙමු," විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.