ඇෆ්ගන් භූමිකම්පාව: පුද්ගලයන් 1,000 ක් මරුට. තවත් 1,500 කට තුවාල.
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දහසක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව තාලිබාන් නිලධාරියෙකු බීබීසීයට පැවසීය.
පින්තූරවල දැක්වෙන්නේ නැගෙනහිර පක්ටිකා පළාතේ නායයෑම් සහ නටබුන් වූ මැටියෙන් ඉදිකරන ලද නිවාසය. තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සහන සේවකයින් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින ආකාරයයි.
තාලිබාන් නායක හිබිතුල්ලා අහිකුන්සඩා පැවසුවේ නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි.
එය දශක දෙකකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමිකම්පාවයි.
පක්ටිකා පළාතේ ජනමාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අමීන් හසිෆි බීබීසීයට පැවසුවේ පුද්ගලයන් 1,000 ක් මිය ගොස් 1,500 ක් තුවාල ලබා ඇති බවයි.
පොළව යට වැළලී සිටින තවත් අය සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සෝදිසියෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එරට වේලාවෙන් අලුයම 01.30ට (21:00 අඟහරුවාදා GMT) ගිනිකොනදිග නගරයක් වන හෝස්ට් නගරයේ සිට කි.මී 44ක් (සැතපුම් 27) පමණ දුරින් භූමිකම්පාව ඇති වුයේ බොහෝ අය නිවෙස්වල නිදා සිටියදීය.
තාලිබාන් සංවිධානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇති බව යුනිසෙෆ් හි කාබුල් ඒකකයේ සෑම් මෝර්ට් බීබීසීයට පැවසීය.
"අවශ්‍යතා තක්සේරු කිරීම සහ විපතට පත් වූවන්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට සහාය දෙන ලෙස ඇෆ්ගනිස්තානයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රදේශයේ බලධාරීන් [තාලිබාන්] අද උදෑසන ඉල්ලා සිටියා", මෝර්ට් පැවසුවාය.
ඇෆ්ගනිස්තානයේ එක්සත් රාජධානියේ විශේෂ නියෝජිත නයිජල් කේසි පැවසුවේ එක්සත් රාජධානිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වී සිටින අතර එය "ජාත්‍යන්තර ප්‍රතිචාරයට දායක වීමට සූදානම්" බවයි.
"ඔබ යන සෑම වීදියක් පාසාම මිනිසුන් තම ආදරණීයයන්ගේ වියෝවෙන් ශෝක වන බව ඔබට ඇසේ. නිවාස විනාශ වී ඇත," දරුණු ලෙස පීඩාවට පත් වූ පක්ටිකා පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බීබීසීයට පැවසීය.
බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල වාසස්ථාන අස්ථාවර හෝ දුර්වල ලෙස ඉදිකර ඇති ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පා සැලකිය යුතු හානියක් සිදු කරයි.
ගොවියෙකු වන ඇලම් වෆා හැඬු කඳුළින් බීබීසීයට පැවසුවේ නිල ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් දුරස්ථ ගම්මානයක් වන ග්‍යාන් වෙත ළඟා වී නොමැති බවයි.
"නිල සහන සේවකයන් නැත, නමුත් අසල්වැසි නගරවල සහ ගම්වැසියන් මිනිසුන් බේරා ගැනීමට පැමිණියා. මමත් අද උදෑසන පැමිණියේ, මම , මළ සිරුරු 40 ක් සොයාගත්තා."
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා, ඉතා කුඩා දරුවන්. මෙහි රෝහලක් තිබෙනවා. නමුත් එයට මෙම ව්‍යසනය සමඟ කටයුතු කරන්න් බැහැ. එතරම් ධාරිතාවක් දරන්න බැහැ."

ඇෆ්ගනිස්ථානය: මූලික කරුණු
- තලේබාන්වරු රට පාලනය කරති: එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානයක් විසින් නෙරපා හැරීමෙන් වසර 20 කට පමණ පසු දැඩි මතධාරී ඉස්ලාම්වාදීන් පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගත්හ.
- ආහාර අර්බුදයක් තිබේ: තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් අනතුරුව විදේශ ආධාර සහ මුල්‍ය හිඟය නිසා මිනිසුන්ගෙන් තුනෙන් එකකට වඩා මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකිව ආර්ථික අරගලයකට මැදිව සිටියි.
- කාන්තා අයිතිවාසිකම් සීමා කර ඇත: ඔවුන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙස නියෝග කර ඇති අතර නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට පාසල් යාමට ඉඩ නොදෙයි.

තාලිබාන් නිලධාරීන් විපතට පත් නැගෙනහිර ප්‍රදේශවලට කඩිනමින් ආධාර සපයන ලෙස සහන සේවා ආයතන වලින් ඉල්ලා සිටියේය.
වසර ගණනාවක් පුරා සමහර ගොඩනැගිලි ශක්තිමත් කිරීමට ආධාර ආයතන විසින් උත්සාහ කළත්, දශක ගනනාවක් තිස්සේ පවතින ගැටුම් නිසා දිලිඳු රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානයට භූමිකම්පා සහ අනෙකුත් ස්වභාවික විපත් වලට එරෙහිව එහි ආරක්ෂාව වැඩි දියුණු කිරීම දුෂ්කර වී ඇත.
තාලිබාන්වරුන් අත්පත් කර ගැනීමට පෙර පවා, ඇෆ්ගනිස්තානයේ හදිසි ස්වභාවික විපත් සමඟ කටයුතු කිරීම සඳහා සහන සේවකයින්ට ගුවන් යානා සහ හෙලිකොප්ටර් කිහිපයක් තිබේ.
ජංගම දුරකථන කුළුණුවලට හානි වීම නිසා භූමිකම්පාවෙන් පසු සන්නිවේදනය අපහසු වී ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බීබීසීයට පැවසීය.
දුරකථන ක්‍රියා විරහිත වීම නිසා බොහෝ අය තම ඥාතීන්ගේ සුවදුක් ගැන නොදනිති. "මගේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය මිය ගියා, පැය ගණනාවකට පසුව මම එය දැනගත්තා. බොහෝ ගම්මාන විනාශ වී තිබෙනවා."
දුර බැහැර ප්‍රදේශවල හෙලිකොප්ටර් මගින් විපතට පත් වූවන් රෝහල් වෙත රැගෙන යමින් තිබේ.
පක්ටිකා පළාතේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවලින් එකක වෛද්‍යවරයකු බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ වින්දිතයින් අතර වෛද්‍යවරුන් ද සිටින බවයි.
"භූමිකම්පාවට පෙර සිටම අපට ප්‍රමාණවත් තරම් මිනිසුන් සහ පහසුකම් තිබ්බේ නැහැ, දැන් භූමිකම්පාවෙන් අපට තිබූ කුඩා දේවල් පවා විනාශ වෙලා." ඔවුහු පැවසූහ. "මම දන්නේ නැහැ අපේ සගයන් කී දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවාද කියලා."

ඡායාරූප මූලාශ්‍රය, @Alham24992157

ඡායාරූප මූලාශ්‍රය, Afghanistan Information Service
රොයිටර් පුවත් ඒජන්සියට අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු රාත්‍රියේ ඇති වූ භූමිකම්පාවෙන් පසුව සිදු වූ මරණ හා විනාශයේ බිහිසුණු දර්ශන විස්තර කළහ.
"ළමයිනුයි, මමයි කෑගැසුවා. අපේ එක කාමරයක් විනාශ වුණා. අපේ අසල්වැසියන් කෑ ගැසුවා, හැමෝගෙම කාමර අපි දැක්කා" ෆාතිමා පැවසුවාය.
"එය අපේ අසල්වැසියන්ගේ නිවාස විනාශ කළා," ප්‍රදේශවාසී ෆයිසාල් පැවසීය. "අපි එනකොට ගොඩක් මැරිලා තුවාල වෙලා හිටියා. අපිව ඉස්පිරිතාලෙට යැව්වා. මමත් මළ සිරුරු ගොඩක් දැක්කා."
මේ වන විට තුවාල ලැබූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පක්ටිකා හි ගයාන් සහ බර්මාල් දිස්ත්‍රික්කවල සිදුවී ඇති බව ප්‍රාදේශීය වෛද්‍යවරයකු බීබීසීයට පැවසීය. ප්‍රාදේශීය මාධ්‍ය වෙබ් අඩවියක් වන Etilaat-e Roz වාර්තා කළේ ගයාන්හි මුළු ගමක්ම විනාශ වී ඇති බවයි.
භූ කම්පන විද්‍යාඥයින් පවසන පරිදි කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් ඇති වූ භූමිකම්පාව විශාලත්වයෙන් 6.1ක් විය.
ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වැඩි භූමි ප්‍රදේශයකට භූ කම්පනය දැනී ඇත.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මෙන්ම පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ද භූමිකම්පාව දැනුණු බව සාක්ෂිකරුවන් වාර්තා කළේය.
කෙසේ වෙතත්, බීබීසී උර්දු පුවත් සේවයට අනුව පාකිස්තානයේ ජීවිත හානි හෝ සැලකිය යුතු හානියක් පිළිබඳ ක්ෂණිකව වාර්තා වී නොමැත.
චමන් භූ තලය, හරි රුඩ් භූ තලය, මධ්‍යම බඩක්ෂාන් භූ තලය සහ ඩර්වාස් භූ තලය ඇතුළු භූ තල රේඛා ගණනාවකින් යුත්, භූගෝලීය වශයෙන් ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති බැවින් ඇෆ්ගනිස්තානය භූමිකම්පාවලට ගොදුරු වේ.
පසුගිය දශකය තුළ ඇෆ්ගනිස්තානය තුළ ඇති වූ භූමිකම්පාවලින් පුද්ගලයන් 7,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය වාර්තා කරයි.
භූමිකම්පා වලින් ඇෆ්ගනිස්තානයයේ වසරකට සාමාන්‍යයෙන් පුද්ගලයින් 560ක් මිය යයි.
ඉතා මෑතක දී, ජනවාරි මාසයේ දී ඇෆ්ගනිස්තානයේ බටහිර දෙසින් ඇති වූ භූ චලන වලින් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගිය අතර නිවාස සිය ගණනක් විනාශ විය.














