ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මගේ පළමු නඩුව: මගේ පියාගේ ඝාතකයන්ට නඩු පැවරීම'
ෂගුෆ්තා තබාසුම් අහමඩ් මව්පියන්ගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට එකඟ වූවත්, නීතිඥවරියක් වීමේ අදහසක් ඇය තුළ නොතිබුණි. නමුත් එම අදහස සහමුලින්ම වෙනස් වන්නේ ඇගේ පියා ඝාතනය වීමත් සමග ය. ඇය තම පියාගේ ඝාතකයන්ට එරෙහිව යුක්තිය ඉටු කරගැනීම සඳහා ගෙනගිය දහසය වසරක අරගලය ගැන BBCහි ස්ත්‍රී-පුරුෂභාවය සහ අනන්‍යතාව පිළිබඳ වාර්තාකරු මේඝා මෝහන් වෙත පැවසුවා ය.
මගේ තාත්තා වන මහාචාර්ය ටාහේර් අහමඩ් ඝාතනය කර ඇතිබව මා දැනගත් දිනය ගැන මතකය තවමත් ඉතාම පැහැදිළි වගේම, ඉතාම අඳුරු සහ වේදනාත්මක යි, අසම්පූර්ණ යි.
ඒ මොහොතේ මම සිටි කාමරය මට මතක යි, එනමුත් එහි සිටියේ කවුදැ යි මට මතක නැහැ. එදා සිකුරාදා දවසක් බව මතක යි, නමුත් වෙලාව මතක නැහැ. මට මතක යි ගෙදර දුරකථනය නාද වෙනවා, ඒ වුණාට ඒකට පිළිතුරු දුන්නේ මගේ පවුලේ කවුද කියා මට මතක නැහැ.
ඒ කතාකළේ මගේ සොහොයුරා.
"ඔවුන් ඔහුව හොයාගෙන. [කවුදෝ] ඔහුව ඝාතනය කර දමලා."
මගේ සොයුරා කිව් දේ ඒ මොහොතේ අපට කීවේ කවුද කියා මට මතක නැහැ. මම දැනගත් එකම දේ, ඒ මොහොතේ සිට අපේ ජීවිතේ අවසන් කියා පමණ යි.
මගේ අම්මා අඬන්න පටන්ගත්තා. ඊට පස්සේ අපි නිහඬවම වාඩිවෙලා හිටියා. මගේ තාත්තා භූවිද්‍යා හා පතල් කැණීම් අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ රාජ්ෂාහි විශ්වවිද්‍යාලයයේ අපවහන ටැංකියක තිබී ඔහුගේ නිසල දේහය හමුවෙලා තිබුණා.
අපේ මුළු පවුලම බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි මගේ සහෝදරයාගේ නිවසට රැස්ව සිටියා. මගේ සොහොයුරා අප සමග සිටියේ නැහැ. ඔහු තාත්තා සොයා බංගලිදේශ - ඉන්දියා දේශසීමා ආසන්නයේ පිහිටි රාජ්ෂාහි නගරයට මෝටර් රථයෙන් පැය හයක ගමනක් ගොස් සිටියා.
මගේ පවුලේ අය එකිනෙකාගේ හඬට ඉහළින් එකවරම කතා කරන්නට පටන් ගත්තා.
එහෙම වුණේ කොහොමද? ඇයි එහෙම කරල තියෙන්නේ?
ඔහු ඝාතනය කිරීමට අවශ්‍ය කාට ද?
තාත්තා සුඛෝපහෝගී මෝටර් රථයක් මිල දී ගැනීම වෙනුවට ඇවිදීම හෝ පොදු ප්‍රවාහන සේවයේ යාම තෝරාගත් නිහතමානී උගතෙක්. ඔහු, ඔහුගේ සිසුන්ගේ ආදරය දිනාගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. බංග්ලාදේශයේ බොහෝ පුරුෂයන් මෙන් නොව, ආහාර පිසීමේ සහ වෙළඳපොළට යාමේ කටයුතු සිය බිරිඳ සමග බෙදාගත් යහපත් සැමියෙක්. වයස අවුරුදු දහ අටේදීත් මම පාර පනිනකොට මම අතේ එල්ලුණු තාත්තාකෙනෙක්. එවැනි මිනිසෙකු මරා දැමීම අවශ්‍ය වුණේ කාට ද?
මෙය අපගේ පවුලේ බියකරු සිහිනයේ ආරම්භය පමණ යි.
ඊට දින දෙකකට පෙර, එනම් 2006 වසරේ පෙබරවාරි 1වැනි බදාදා, තාත්තා බස් රථයක නැගී ඩකා සිට රාජ්ෂාහි විශ්වවිද්‍යාලයය වෙත පිටත්වුණා.
ඔහු, මට ළමා කාලයේ දී නිවස බඳු වූ කාර්යබහුල, ක්‍රියාශීලි විශ්වවිද්‍යාලයයට ආදරය කළා. අපි පදිංචිව සිටියේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කුඩා නිල නිවසක වූ අතර අපට අවශ්‍ය සියල්ල එහි තිබුණා. මගේ සහෝදරයා වන සන්සිඩ් සහ මම උදයේ දී පාගමනින් පාසැල කරා ගොස්, සවස් වරුව වෙනත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් සමග අසල ක්‍රීඩා පිටිවල ගත කළා. විශ්ව විද්‍යාලයයේ සියල්ලලෝම පාහේ අපව දැන සිටියා. එය අපට ලෝකයේ ප්‍රීතිමත් සහ ආරක්ෂිත ස්ථානයක් වුණා.
කාලය ගෙවී යද්දී, සන්සිඩ් හා මම පාසල් අධ්‍යාපනය අවසන් කර ඩකා වෙත සංක්‍රමණය වුණා. සන්සිඩ් විශාල බහුජාතික ව්‍යාපාරයක මානව සම්පත් අංශයේ රැකියාව ආරම්භ කළා.
සන්සිඩ් අනාගතය දුටුවාක් මෙන් දුන් උපදෙස් අනුගමනය කළ මම, නීතිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයයට බැඳුනා. එහෙත් මට නීතිඥයෙකු වීමේ අදහසක් තිබුණේ නැහැ. උපාධියෙන් පසුව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකට බැඳීම හෝ ශාස්ත්‍රඥයෙක් වීම මගේ අරමුණ වුණා. නමුත් එවකටත්, අපේ පවුලට විය යුතු හොඳම දේ තාත්තා දැන සිටියා. මම 2006 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළ අතර, අම්මා ද මා සමග ඩකාහි පදිංචියට ආවා.
තාත්තා මියගිය සතියේ දී ඔහු ඩකා වෙත පැමිණි දින කිහිපයක් අප සමග ගතකළා. 2006 පෙබරවාරි 1 වන බදාදා අලුයම ඔහු රාජ්ෂාහි බලා පිටත්වුණා. තමා ආරක්ෂිතව එහි පැමිණි බව මගේ මවට දැන්වූ තාත්තා, ඉන් පැය කිහිපයකට පසුව, රාත්‍රී 9ට පෙර නැවතත් ඇයට කතා කළා. ඔහු ඉන්පසු නිදන්නට යන්නට ඇතියි මම හිතනවා. ඔහු ඩකාවලින් පිටත්වන විට හැඳ සිටි කලිසම නිදන කාමරයේ දොර හැඬලයේ එල්ලා තිබී පසුව පොලිසියට හමුවුණා.
ඔහු ඉන්පසුව ජීවත්ව සිටින්නට ඇත්තේ කෙටි කලක් පමණ යි. රාත්‍රී 10ට පෙර ඔහු ඝාතනයකර ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවා.
තාත්තා නැවතත් රාජ්ෂාහි වෙත ගොස් තිබුණේ රැකියා සගයෙකු වන ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ගේ අනාගතය පිළිබඳ රැස්වීමකට සහභාගි වීමට යි. ආචාර්ය මොහියුදීන් වරක් පවුලේ සමීප මිතුරෙකු වූ නමුත්, මෙම සිද්ධියට සුළු කාලයකට පෙර තාත්තාගේත්, ඔහුගේත් සම්බන්ධය හදිසියේ අවසන් වුණා. ආචාර්ය මොහියුදීන් විසින් ලියූ කෘතියක, ඔහු සොරකම් කළ තොරතුරු අඩංගු බව තාත්තා සොයාගෙන තිබූ අතර එය පීඨයේ කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබුණා. දෙපාර්තමේන්තුව රැස්වීමක් සංවිධානය කර තිබුණේ මෙම සිදුවීම හසුරුවන ආකාරය ගැන සාකච්ඡා කිරීමට යි.
කොහොම නමුත් තාත්තා එම රැස්වීමට සහභාගී වී තිබුණේ නැහැ. ඔහු අපගේ ඇමතුම්වලට පිළිතුරු දුන්නේ ද නැහැ. නිවසේ භාරකරු ජහන්ගීර් අලාම්, තාත්තා නිවසේ නොසිටි බව පැවසූ අතර, ඔහු පැමිණෙනු තමා කිසිසේත්ම නුදුටු බවත් කියා සිටියා.
කලබල වූ අම්මා මේ පිළිබඳව සොයාබැලීමට එදින සවස රාජ්ෂාහි වෙත යන ලෙස මගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියා. පසුදින, 2006 පෙබරවාරි 3 දා, තාත්තාගේ මළසිරුර විශ්වවිද්‍යාල නිල නිවෙසේ මිදුලේ ඇති අපවහන ටැංකියක තිබී මගේ සහෝදරයා විසින් සොයාගැනුනා. තාත්තා සෙවීම මිනීමැරුම් පරීක්ෂණයක් බවට හැරුණා.
එක් මොහොතකට, ලෝකයාගේ අවධානය මගේ පවුල දෙසට යොමුවූ අයුරක් පෙනෙන්නට තිබුණා. මගේ පියාගේ මරණය විශාල කතාවක්, මිනීමැරුම් අභිරහසක්, 'සැබෑ අපරාධයක්' ලෙස කතාබහට ලක්වුණා. තාත්තාගේ මුහුණ රූපවාහිනියේ පෙන්නන්නට වූ අතර, පුවත්පත්වල පිටු පුරා මුද්‍රණය කෙරුනා. ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය මාධ්‍ය, සිත් ඇදගන්නාසුළු කතාවක් ලිවීමට අවශ්‍ය තොරතුරු සොයමින් සිටියා: හොඳ, ජනප්‍රිය, නිරෝගී පිරිමින් මේ ආකාරයෙන් මියයන්නේ නැහැ. අපේ පවුලේ ඛේදවාචකය පිළිතුරු නැති ප්‍රශ්න බොහෝමයක් සහිත රසබර පුවතක් බවට පත්වුණා. ගෞරවනීය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු මරා දමන්නේ කවුද? මෙය පුද්ගලික තරහක් ද? ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් ද? බංගලිදේශ සමාජය ගැන එයින් කියවෙන්නේ කුමක්ද?
මගේ පියා ඝාතනය කිරීමට පෙර ඔහුට පහරදී ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා සොයාගත්තා. මේ සියලු කලබල මැද මට අම්මා සහ සොයුරා ගැන අලුත් ගෞරවයක් දැනුනා. ඔවුන් ක්ෂණයෙන් ක්‍රියාත්මක වුණා. අම්මා රාජ්ෂාහි වෙත ගොස් සිදුවීම ගැන කාලරේඛාවක් සකස්කිරීමටත්, සියලු සැකකරුවන් සොයා බැලීමටත් පොලිසියට සහයවීම සඳහා මගේ සහෝදරයා සමග එක්වුණා. සති කිහිපයකින්, කරුණු සොරකම්කිරීම සම්බන්ධයෙන් තාත්තාගේ චෝදනාවට ලක්වූ සගයා වන ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්, විශ්වවිද්‍යාල නවාතැන් භාරකරු ජහන්ගීර් අලාම්, අලාම්ගේ සහෝදරයා සහ මස්සිනා ඇතුළු තවත් හතර දෙනෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තාත්තාගේ ඝාතනය ගැන ඔවුනට එරෙහිව චෝදනා එල්ල කළා.
නඩු විභාගයේ දී ජහන්ගීර් අලාම් සහ ඔහුගේ ඥාතීන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ මුදල්, පරිගණක යන්ත්‍ර හා, විශ්වවිද්‍යාලයයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී තාත්තා ඝාතනය කිරීමට මොහියුදීන් ඔවුන්ව පෙළඹවූ බව ය. මොහියුදීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
2008 දී, රාජ්ෂාහි පහළ උසාවියේ දී මොවුන්ගෙන් සිව්දෙනෙකු වැරදිකරුවන්යැ යි තීරණය කර මරණ දණ්ඩනයට නියම වූ අතර, දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කෙරුනා. එය එතැනින් අවසන් වියයුතුව තිබුණු නමුත් එසේ වුණේ නැහැ. මෙම සිව්දෙනා අභියාචනා කළ අතර නඩුව බංග්ලාදේශ මහාධිකරණයට යොමුකෙරුනා.
මගේ අම්මා සහ සොහොයුරා තාත්තාට සාධාරණයක් කිරීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටියා. ඒ හා සසඳන විට මට හැඟුණේ මගෙන් වැඩක් නැතිබව යි. පහළ උසාවිය තීන්දුව දෙන විට මම යන්තම් යොවුන් විය ඉක්මවා සිටි, නොමේරූ තරුණියක්. මගේ පවුලේ අය මගේ මුළු ජීවිත කාලය පුරාම මාව ලෝකයෙන් රැකගත් අතර, මගේ පියාගේ මරණයෙන් පසුව පවා, මගේ එකම අරමුණ විය යුත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කිරීම බව ඔවුන් තරයේ කියා සිටියා. ඔවුන් මට මානසිකවත්, මූල්‍යමය වශයෙනුත් සහයෝගය දුන්නා.
මම මගේ නීති පොත්වලට අවධානය යොමුකරන්නට උත්සාහ කරමින් මගේ ඉගෙනීම දිගටම කරගෙන ගියත්, ජීවිතයේ ඉදිරිය ගැන අරමුණක් තිබුණේ නැහැ. 2011 දී මගේ පියාගේ ඝාතන නඩුව මහාධිකරණයට ගියා. අධිකරණය ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ට ඇප ලබා දී, නඩු විභාගයේ කාලසීමාව සඳහා නිදහස් කළා. ඔහු නීතීඥයින් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයකගේ සේවය ලබා ගෙන තිබූ අතර ඔවුන් නඩු විභාගය වඩාත් දුෂ්කර කරන බව නිසැක ලෙසම පෙනෙන්නට තිබුණා.
හදිසියේම, මට මගේ අනාගත අරමුණ පැහැදිළි වුණා. මගේ ජීවිතයෙන් මට කළ හැකි දේ මම දැනගත්තා. තාත්තාගේ මිනීමරුවන්ට එරෙහිව පැවරුණු නඩුවට සහාය දීමට මට මගේ නීති උපාධිය භාවිතා කළ හැකියි. මම ලෝකයන් කීපයක් සම්බන්ධ කරන අද්විතීය ස්ථානයක සිටියා. මට මගේ පවුලේ අය සමග සම්බන්ධ වී, ඔවුන්ට නීත්‍යානුකූල ලේඛන පැහැදිලි කර දීමට හැකියි. මම පොලිසිය දැන සිටියා. මම තාත්තාව දැන සිටියා. මම චූදිතයන්ගෙන් දෙදෙනෙකු පවා දැන සිටියා. තාත්තාට යුක්තිය ඉටු කිරීමට සඳහා මෙම නඩුවට මා අත්‍යවශ්‍ය විය හැකියි.
මම 2012 දී නීති විද්‍යාලයෙන් උපාධිය ලබාගත් අතර වහාම පැමිණිල්ලේ නීතිඥයින්ට සහායවීමට පටන්ගත්තා. බංගලිදේශයේ අපරාධ අධිකරණවල කාන්තා නීතීඥවරියන් බොහෝදෙනෙකු නොසිටි නමුත් සෑම කෙනෙකුටම මගේ වටිනාකම දැකගත හැකි වූ අතර, නීතිඥ කණ්ඩායම මා සාදරයෙන් පිළිගත්තා. මම නින්දේ නොසිටි සෑම මොහොතක්ම ගතකළේ එහියි. තාත්තාගේ සිද්ධිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට මම වෙනත් නඩු බාරගනිම ප්‍රතික්ෂේප කළා.
2013 දී මහාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. තාත්තාගේ චෝදනාවට ලක්වූ ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ට මෙන්ම විශ්වවිද්‍යාල නවාතැන් භාරකරු ජහන්ගීර් අලාම්ට ද මරණීය දණ්ඩනය තහවුරු කෙරුනා. නමුත් එයින් අලාම්ගේ ඥාතීන් වන අනෙක් දෙදෙනාගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස ලිහිල්කර තිබුණා. ඔවුන් ඝාතනයට සහාය වූ නමුත්, තාත්තාගේ ඝාතනයේ සැලසුම්කරුවන් වූයේ මොහිදින් සහ අලාම් බව විනිසුරුවරයා තීරණය කළා.
නමුත් එය එතෙකින් අවසන් වූයේ නැහැ.
ජහන්ගීර් අලාම් සහ ඔහුගේ ඥාතීන් තාත්තාගේ ඝාතනය පිළිබඳව පාපොච්චාරණය කරමින් පවසා තිබුණේ මොහියුදීන් ඔවුන් වෙත පැමිණ ඔවුන්ට මුදල් ගෙවූබව යි. කෙසේ වෙතත්, මොහියුදීන්ගේ නීතීඥයන් තවත් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, මෙවර එය ඉදිරිපත් කෙරුණේ රටේ ඉහළම අභියාචනාධිකරණය වූ බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අංශයට ය.
මම ලිපි ලේඛන සකස්කිරීම, කාලරාමු පෙළගැස්වීම, අපරාධකරුවන්ගේ පැතිකඩ සකස්කිරීම, නීතිඥයන් හා සාකච්ඡා කිරීම සහ සහෝදරයාගේ සහ අම්මාගේ මානසිකත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියා. බොහෝ රාත්‍රීන්, සති අන්ත, සහ රාමසාන් කිහිපයක් ද ගෙවුණේ යාච්ඤා කරමින්, තාත්තාට යුක්තිය සහ සාමය ඉටු කිරීමේ අපගේ ඉලක්කය කෙරෙහි කැපවෙමින්. මම දැන් වයස අවුරුදු 30 ගණන්වල පසුවන, අරමුණක් සහිත අධිෂ්ඨානශීලී නීතීඥවරියක්. මම තවදුරටත් 2006 දී ඇගේ මුළු ලෝකයම කඩා වැටුණු නොසන්සුන් යෞවනිය නොවෙයි.
නමුත් අපිට උසාවි කාලසටහනට යටත්වීමට සිදුවුණා. අභියාචනා නඩුව විභාග කරන තුරු අපි වසර අටක දිගු කාලයක් බලා සිටියා.
ආචාර්ය මොහියුදීන් නොයෙකුත් සම්බන්ධතා තිබූ ධනවත් පුද්ගලයෙක්. ඔහුගේ මස්සිනා වූයේ බලගතු බංග්ලාදේශ දේශපාලනඥයෙක්. ඔහු සතුව සම්පත් තිබුණු අතර, විශාල නීතිඥ කණ්ඩායමක් ඔහුට සිටියා. මගේ තාත්තාගේ ඝාතනයට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ඔහු සහ තාත්තා සැමවිටම සමීප මිතුරන්ව සිටි බවත්, ඔහුට එරෙහිව භෞතික සාක්ෂි කිසිවක් නොමැති බවත්, ඇත්තේ පරිවේෂණීය සාක්ෂි පමණක් බවත් මෙම නීතීඥයින් තර්ක කළා. අනෙක් මිනිසුන් තිදෙනා සවිස්තරාත්මක පාපොච්චාරණයක් ලබාදුන් බව හෝ පසුව හෝ තාත්තාගේ ඝාතනයෙන් පසු ඔහුගේ හැසිරීම ඔවුන් නොතකා හැරියා. මීට පෙර වසරවල දී නිතර අප බැලීමට පැමිණි ආචාර්ය මොහියුදීන් තාත්තාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ නැහැ. ඇත්තෙන්ම තාත්තාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවූ එකම පීඨ සාමාජිකයා ඔහු යි. එසේම ඔහු අප පවුලට කිසිදු සහයෝගයක් දැක්වූයේ හෝ අප බැලීමට පැමිණියේ නැහැ.
නඩු ගොඩගැසී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසර අවසානය තෙක් මගේ පියාගේ නඩුව විනිශ්චය නොකළ අතර, 2022 අප්‍රේල් 5 වැනි දින විනිසුරු හසන් ෆෝස් සිද්දික් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තාත්තා ඝාතනය කිරීමේ වරදට ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන් වරදකරු බව නිගමනය කර ඔහුගේ මරණ දඬුවම තහවුරු කළා.
තීන්දුවෙන් පසු, මම පවුලේ අය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් තීන්දුව ගැන අපි සතුටු වන බව කියා සිටියත් නමුත් 'සතුට' යන්න නිවැරදි වචනයදැ යි මට විශ්වාස නැහැ. ගෙවුණු වසර දහසය අපේ පවුල දරා සිටි වේදනාව සහ හැඟීම් විස්තර කිරීමට මා දන්නේ නැහැ. එය සිතාගත නොහැකි තරමේ වේදනාවක්. තාත්තා මියගිය ආකාරය දන්නා මට කවදා හෝ සැනසීමක් දැනේවි ද කියා මට සිතෙනවා.
මගේ පියාට යුක්තිය සහ සාමය ගෙන ඒම සඳහා වූ අරගලය මගේ වැඩිහිටි වියේ අරමුණ වූ නිසා මගේ ජීවිතයම එකතැන නතර වී තිබුණා. මම මගේම පවුලක් අරඹන්නේ කවදාදැ යි බොහෝදෙනා මගෙන් විමසනවා. මගේ පියාගේ ඝාතකයන් මෙලොවින් තුරන් වූ පසු මම ඇතැම්විට එසේ සිදුකරාවි. එවිට 'එය අවසන්' යන හැඟීම මට දැනේවි. තාත්තා මට මගේ මුළු ලෝකයම වුණා. ඔහු එතරම් හොඳ, විනීත, සරල හා බුද්ධිමත් මිනිසෙක්.
ආචාර්ය මොහිදින්ගේ රැකියාව අහිමිවීමේ අවදානම නිසා යි ඔවුන් තාත්තාට මෙසේ කළේ යන කාරණය සිතාගැනීමට අපහසු යි. නමුත් මම තාත්තා වෙනුවෙන් යුක්තිය උදෙසා සටන් කරනවා, යහපත් ජීවිතයක් ගතකරනවා.