ලොවම වසඟ කිරීමට සමත්වූ, ඉන්දියාවේ ‘විෂබීජ ඝාතන' සිද්ධිය

1933 වසරේ නොවැම්බර් 26 වන දා අපරභාගයේ දී, නැගෙනහිර ඉන්දියාවේ කොල්කතා නගරයේ (එවකට කල්කටාවේ) ජනාකීර්ණ දුම්රිය ස්ථානයක දී සිරුරෙන් කුඩා මිනිසෙක් තරුණ ඉඩම් හිමියෙකුගේ ඇඟේ ගෑවී නොගෑවී පසුකර ගියේ ය.

'කාදී' හෙවත් රළු, අතින් වියන ලද කපු රෙද්දෙන් සැරසී සිටි මිනිසා හව්රා දුම්රියපොළේ ජනයා අතර අතුරුදන් වෙද්දී, විසි හැවිරිදි අමරේන්ද්‍ර චන්ද්‍ර පාන්ඩේට සිය දකුණු බාහුවෙන් ක්ෂණික වේදනාවක් හටගනු දැනුණි.

ඔහු "කවුදෝ මට ඇන්නා,"යි හඬ නැගුවත්, පාකුර් පළාතේ (අද වන විට ජාර්ඛන්ඩ් ප්‍රාන්තයට යාබද දිස්ත්‍රික්කයකි) පිහිටි සිය පවුලේ වතු යායට යමින් සිටි ගමන නොනවත්වා සිදුකරන්නට ඔහු තීරණය කළේ ය.

අමරේන්ද්‍ර සමග ගමනේ යෙදී සිටි ඥාතීහු, ගමන නවතා රුධිරය පරීක්ෂාකර ගන්නැ යි ඔහුට කියා සිටියහ. නමුත් අමරේන්ද්‍රට වඩා දස වසරකින් වැඩිමහල් වූ ද, අනාරාධිතවම දුම්රියපොළට පැමිණ සිටියා වූ ද ඔහුගේ සුළු සොහොයුරු බිනෝයේන්ද්‍ර "මෙම සිද්ධිය සුළුකොට කතා කළ" අතර, ගමන ප්‍රමාද නොකරන්නැ යි අමරේන්ද්‍රට ඒත්තු ගැන්වූයේ ය.

දින තුනකට පසු අමරේන්ද්‍ර පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් - උණ වැළඳීමෙන් අනතුරුව ඔහු නැවතත් කල්කටාවට පැමිණ තිබුණි - ඔහුට යමක් ඇනුනාක් මෙන් දැනුණු ස්ථානයේ "එන්නත් කටුවකින් ඇතිකළායැ යි පෙනෙන සලකුණක්" තිබෙණු දුටුවේ ය. ඊළඟ දින කීපය පුරාවට රෝගියාට තද උණක් පැවැති අතර, කිහිලි ඉදිමී, පෙනහැලි රෝගයක මුල් අවස්ථාවේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. දෙසැම්බර් 3 වැනිදා රාත්‍රියේ ඔහු කෝමා තත්ත්වයකට පත්වුණි. පසුදා හිමිදියේ දී අමරේන්ද්‍ර මියගියේ ය.

අමරේන්ද්‍ර මියගොස් ඇත්තේ නියුමෝනියාවෙන්බව වෛද්‍යවරු තහවුරු කළෝ ය. නමුත් ඔහුගේ මරණයට පසුව පැමිණි රසායනාගාර වාර්තාවන්ගෙන් පෙන්නුම් කෙරුණේ ඔහුගේ රුධිරයේ Yersinia pestis (යර්සීනියා පෙස්ටිස්), එනම් මහාමාරිය රෝගය ඇතිකරවන මාරාන්තික බැක්ටීරියාව, ඇතිබව යි.

මීයන් වැනි කෘන්තක දත් ඇති කුඩා සතුන්ගෙන සහ මැක්කන්ගෙන් බෝවෙන මහාමාරිය, 1896 - 1918 අතර කාලයේ දී ඉන්දියානු උපමහද්වීපයේ මිලියන 12කට අධික ජනකායක් මරණයට පත්කරවීය.

1929 සිට 1938 දක්වා කාලයේ දී මහාමාරිය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව මිලියන බාගයක් දක්වා පහත වැටුණු අතර, අමරේන්ද්‍රගේ මරණය සිදුවන තෙක් තෙවසරක් පුරාවට කල්කටාවෙන් එකදු මහාමාරිය රෝගියෙකු හමුනොවීය.

ධනවත් සමින්දාර් (ඉඩම් හිමි) පවුලක උරුමක්කරුවෙකු මෙසේ සංවේදනීය අයුරින් ඝාතනය කිරීම බ්‍රිතාන්‍ය ඉන්දියාවේත්, ඉන් ඔබ්බෙහිත් විසූ ජනයාගේ අවධානය බන්දාගැනීමට සමත් විය. එය ඇතැමුන් විසින් විස්තර කෙරුනේ "නූතන ලෝක ඉතිහාසයේ ඒකපුද්ගල ජෛවත්‍රස්තවාදය වාර්තා වූ මුල්ම අවස්ථාවන්ගෙන් එකක්" ලෙසිනි.

පුවත්පත් විසින් මෙම සිදුවීම අකුරක් නෑර වාර්තා කෙරිණි. ටයිම් සඟරාව එය "විෂබීජවලින් මිනී මැරීම" ලෙස හැඳින්වූ අතර, සිංගප්පූරුවේ ස්ට්‍රේට්ස් ටයිම්ස් එය විස්තර කළේ "සිදුරු වූ බාහුවේ අභිරහස" යනුවෙනි.

කොල්කටා පොලිසිය විසින් සිදුකෙරුණු පරීක්ෂණ මඟින්, කල්කටාවට කිලෝමීටර් 1900ක් පමණ දුරින් පිහිටි බොම්බේහි (අද මුම්බායි) රෝහලකින් මාරාන්තික බැක්ටීරියාවක් සොරාගැනීම ද ඇතුළු කුමන්ත්‍රණ ජාලයක් ද, අවදානම් නොතකා ක්‍රියාත්මක වූ සැලැස්මක් ද අනාවරණය විය.

අපරාධයට මූලය වූයේ පවුලේ දේපළ සම්බන්ධයෙන් සහෝදරයන් අතර වූ එදිරිවාදිකමකි.

පාණ්ඩේගේ සුළු සොහොයුරන්, ගල් අඟුරු පතල් සහ ගල් කොරි සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන පාකුර්හි පිහිටි ඔවුන්ගේ මියගිය පියාගේ මහා වතුයාය සම්බන්ධයෙන් දෙවසරක දිගු අමිහිරි සටනක පැටලී හිඳ ඇත. ආරවුලක පැටලී සිටි දෙසොහොයුරන්ගේ කතාව මාධ්‍යයන් විසින් වාර්තා කෙරුණේ යහපත හා අයහපත අතර සිදුවූ සටනක් වශයෙනි.

එක් පුවත්පත් වාර්තාවකට අනුව අමරේන්ද්‍ර, "මහත්මා ගතිගුණ ඇති, සදාචාරසම්පන්න සහ ආචාර ධර්ම ඉහළින්ම පිළිපදින, උසස් අධ්‍යාපනය ලබාගැනීමේ ලැදි, දිනපතා ව්‍යායාමයන්හි යෙදීමට රුචි" මෙන්ම ප්‍රදේශවාසීන්ගේ "ආදරයට පාත්‍රව" සිටි අයෙකි. අනෙක් අතට, බිනොයේන්ද්‍ර, "ගැහැණුන්ට සහ බීමට ලොල්, සල්ලාල දිවියක් ගතකළ" අයෙකු විය.

උසාවි ලියවිලිවලට අනුව, අමරේන්ද්‍ර මරා දැමීමේ කුමන්ත්‍රණය ඇරඹෙන්නට ඇත්තේ බිනොයේන්ද්‍රගේ සමීප මිත්‍රයෙකු වූ වෛද්‍ය තාරානාත් භට්ටාචාර්ය 1932 දී වෛද්‍ය රසායනාගාරවලින් මහාමාරිය බැක්ටීරියාවේ රෝපණ සාම්පලයක් ලබාගැනීමට ගත් අසාර්ථක උත්සාහයේ දී ය.

මතභේදයට තුඩුදුන් නමුත් ඇතැම් වාර්තාවන් මඟින් යෝජනා කෙරුණේ, බිනොයේන්ද්‍ර පළමු වරට සිය සුළු සොහොයුරා මරන්නට උත්සාහ ගෙන ඇත්තේ 1932 වසරේ ගිම්හානයේ දීබව යි. දෙදෙනා කඳුකර ප්‍රදේශයක සංචාරයට ගොස් ඇති අතර, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නිලධාරි ඩී. පී. ලැම්බර්ට්ගේ වාර්තාවකට අනුව බිනෝයේන්ද්‍ර, "උපැස් යුගලක් ගෙන බලහත්කාරයෙන් මෙන් අමරේන්ද්‍රට පළඳවමින්, ඔහුගේ නාසයේ සම තුවාල වන සේ තදකර" ඇත.

අමරේන්ද්‍ර ඉක්මනින්ම රෝගාතුර වූයේ ය - එහිදී සැක කෙරී ඇත්තේ උපැස් යුවල විෂබීජයන්ගෙන් අපිරිසිදුව තිබෙන්නට ඇතිබව යි. ඔහුට පිටගැස්ම වැළඳී ඇතිබවට රෝග නීර්ණය කෙරුණු අතර, පිටගැස්මට එරෙහි සීරමය ලබා දෙනු ලැබුණි. වෛද්‍ය ලැම්බර්ට් පවසන පරිදි බිනොයේන්ද්‍ර සිය සොයුරාට සිදුකෙරෙන ප්‍රතිකාරයන් වෙනස් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකු කැඳවාගෙන පැමිණ ඇතිමුත් එය ව්‍යර්ථ වුයේ ඒ සියලු දෙනා ප්‍රතික්ෂේප වූ බැවිනි.

ඊළඟ වසර පුරාවට සිදුවූයේ එම කාලයක නොගැලපෙන තරම් නව්‍ය කුමන්ත්‍රණයකි.

බිනොයේන්ද්‍ර වතුයාය අත්පත්කර ගැනීමේ ප්‍රයත්නයේ යෙදී සිටිය දී, ඔහුගේ වෛද්‍ය මිතුරා භට්ටචාර්ය මහාමාරිය බැක්ටීරියා රෝපණයක් ලබාගැනීමට අවම වශයෙන් අවස්ථාවන් සතරක දී වත් උත්සාහ දැරුවේ ය.

1932 වසරේ මැයි මාසයේ දී, භට්ටාචාර්ය මෙම බැක්ටීරියා රෝපණ සහිත එකම ඉන්දීය විද්‍යාගාරය වූ බොම්බේහි හෆ්කින් ඉන්ස්ටිටියුට් නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා සම්බන්ධකර ගත්තේ ය. බෙංගාලයේ ප්‍රධාන වෛද්‍යවරයාගෙන් අවසරයක් ලදහොත් මිස එම සාම්පල නිකුත් කිරීම අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කළේ ය.

එම මාසයේ දීම කල්කටාවේ වෛද්‍යවරයෙකු සම්බන්ධකර ගත් භට්ටාචාර්ය, තමා මහාමාරියට එරෙහිව ප්‍රතිකර්මයක් සොයාගත්බවත්, බැක්ටීරියා නියැඳියක් යොදාගෙන එහි සාර්ථකත්වය පරීක්ෂා කිරීමට අපේක්ෂා කරනබවත් පවසා සිටියේ ය.

උසාවියේ වාර්තාවන්ට අනුව, විද්‍යාගාරය භාවිතා කිරීමට වෛද්‍යවරයා භට්ටාචාර්යට අවසර දුන් නමුත් හෆ්කින් ආයතනයෙන් ලබාගත් බැක්ටීරියා රෝපණය භාවිතා කිරීම තහනම් කළේ ය. වෛද්‍ය ලැම්බර්ට්ට අනුව, බැක්ටීරියාව රෝපණ මාධ්‍යයේ වර්ධනය නොවීම නිසා පර්යේෂණය අතරමඟ ඇණහිට තිබේ.

1933 දී, හෆ්කින් ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් ලිවීමට භට්ටාචාර්ය නැවතත් කල්කටාවේ වෛද්‍යවරයා පොළඹවාගත්තේ ය. ලිපිය මඟින්, භට්ටාචාර්යගේ "මහාමාරිය ප්‍රතිකාරය" පරීක්ෂා කිරීම සඳහා ආයතනයේ පර්යේෂණාගාරය භාවිතා කිරීමට ඔහුට අවසර දෙන්නැ යි වෛද්‍යවරයා ඉල්ලා සිටියේ ය.

එම ගිම්හානයේ දී බිනොයේන්ද්‍ර බොම්බේ වෙත ගියේ ය. එහිදී භට්ටාචාර්ය සමග එක්වූ ඔහු ආයතනයට අනියුක්තව සේවය කළ පශුවෛද්‍යවරුන් දෙදෙනෙකුට අල්ලසක් ලබා දී, රෝපිත බැක්ටීරියා සාම්පලයක් ඔවුන් ලවා සොරකම් කරවාගැනීමට තැත් කළේ ය.

ඒ අතරේ වෙළඳපොළට ගිය බිනොයේන්ද්‍ර, වැදගත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට පහසුවනු වස් මීයන් තොගයක් ද මිළට ගත්තේ ය. ඉක්බිති දෙදෙනා ආතර් පාරේ බෝවන රෝග රෝහලට ගියෝ ය. මෙම රෝහල සතුව ද රෝපිත බැක්ටීරියා විය.

උසාවි ලියවිලිවලින් දැක්වෙන පරිදි, එහිදී බිනොයේන්ද්‍ර "සිය දොස්තර මිතුරාට ඔහුගේ රසායනාගාරයේ දී මහාමාරිය ප්‍රතිකාරය පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට" අවසර දෙන්නැ යි රෝහල් බලධාරීන් පොළඹවා ගත්තේ ය.

භට්ටාචාර්ය විද්‍යාගාරයේ දී කිසිදු පර්යේෂණයක් පැවැත්වූබවට සාධක නොවීය. රසායනාගාරය භාවිතාව සඳහා අවසර ලැබී දින පහකට පසු එනම් ජුලි 12 වැනි දා සන්ධ්‍යාවේ දී, සිය "පර්යේෂණ කටයුතු" හදිසියේම නවතා දැමූ භට්ටාචාර්ය බිනොයේන්ද්‍ර ද සමග නැවතත් කල්කටාව බලා ගියේ ය.

ඝාතනයෙන් තෙමසකට පසු, 1934 පෙබරවාරියේ දී පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය. පරීක්ෂකයින් විසින් බිනොයේන්ද්‍රගේ ගමන් ලියකියවිලිත්, බොම්බේහි දී නවාතැන්ගත් හෝටලයේ බිලත්, ඔහු හෝටලයේ රෙජිස්ටරයේ තැබූ සටහනත්, රසායනාගාරයට යැවූ ලිපිත්, මීයන් මිළටගත් වෙළඳසැලේ කුවිතාන්සිත් සොයාගැනුණි.

සත්‍ය වශයෙන්ම, මාස නවයක් පුරා පැවති නඩු විභාගය සිත් ඇදගන්නාසුළු විය. විත්තිකාර පාර්ශවය තර්ක කළේ අමරේන්ද්‍රට මීයන් මත සිටින මැක්කෙකු දෂ්ටකර ඇතිබව යි.

උසාවිය ප්‍රකාශ කළේ අමරේන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයන් දෙදෙනා බොම්බේ රෝහලෙන් "මහාමාරිය බැසිලස සොරකම්කර" ඇතිබවත්, "ඒවා කල්කටාව වෙත ගෙනගොස් 1933 නොවැම්බර් 26 දක්වා (ඝාතනය සිදුවූ දිනය) සජීවීව තබාගැනීමට හැකිබවත්" සාක්ෂ්‍යවලින් ඔප්පුවනබව යි.

අමරේන්ද්‍ර "කුලී ඝාතකයෙකු" ලවා ඝාතනය කරවීමට බිනොයේන්ද්‍ර සහ භට්ටාචාර්ය කුමන්ත්‍රණයකර ඇතිබව පිළිගත් අධිකරණය, ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කළේ ය. 1936 ජනවාරි මාසයේ දී කල්කටා මහාධිකරණය ලද අභියාචනයක් මත, මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කෙරිණි.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු සාක්ෂි මඳකම හේතුවෙන් නිදොස්කොට නිදහස් කෙරුණි. "මේ නඩුව බොහෝවිට අපරාධ වංශකථාවේ අද්විතීය තැනක් ගනු ඇති," අභියාචනය විභාග කළ විනිසුරුවරයෙක් සඳහන් කළේ ය.

මෙම මිනීමැරුම අළලා 'ප්‍රින්ස් ඇන්ඩ් ද පොයිසනර්' (කුමරා සහ වස දෙන්නා) නමින් පොතක් ලිවීමට කරුණු රැස් කරමින් සිටිනා ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ඩෑන් මොරිසන් මට පැවසුවේ, බිනොයේන්ද්‍ර යනු "මිනීමැරුම සිදුවන සමයේ ඉන්දියාවේ ආධිපත්‍යය දැරූ වික්ටෝරියානු ආයතනයන් අභිබවා යෑමට තමාට හැකියැ යි සිතූ විසිවැනි සියවසේ මිනිසෙකු" බව යි. මොරිසන් කියා සිටිනා අන්දමට, දුම්රිය ස්ථානයේ ඝාතනය "සම්පූර්ණයෙන්ම නවීන මිනීමැරුමක්" විය.

ඇසිරියානුන් රයි අර්ගොට් නම් දිලීරයක් යොදා සිය සතුරන්ගේ ළිංවලට විෂ කලවම් කළ ක්‍රි. පූ. 6 වන සියවසේ සිටම මිනිසා විසින් ජෛව ආයුධ භාවිතා කෙරෙන්නට ඇත. එනමුත් අමරේන්ද්‍රගේ ඝාතනය වඩාත්ම සමාන වන්නේ, 2017 දී සිය ගුවන් යානය පැමිණෙන තෙක් ක්වාලා ලම්පූර් ගුවන්තොටුපොළේ රැඳී සිටි 45 හැවිරිදි කිම් ජොං-නම්, උතුරු කොරියානු පාලක කිම් ජොං-උන්ගේ සුළු සොයුරාගේ, ඝාතනයට ය. පසුව අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනෙකු ස්නායු විෂක් ඔහුගේ මුහුණේ තවරා තිබුණි.

වසර 88කට පෙර සිදුවී අමතකව ගිය හව්රා දුම්රියපොළ ඝාතන සිදුවීමේ දී කුමරා ඝාතනය කළ පුද්ගලයා ද, මිනීමැරුම් ආයුධය වන එන්නත් කටුව ද කිසි කලෙකත් හමු නොවීය.