ප්‍රංශ ජනපතිවරණය: ප්‍රංශය දෙකට බෙදූ ඓතිහාසික අවස්ථාවක්

Image shows Macron supporters before the Eiffel Tower

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැක්‍රෝන්ගේ ආධාරකරුවන් සතුටිනි - නමුත් ඔහු තමාට එරෙහිවන්නන් දේශපාලන වර්ණාවලියේ අන්තයන් වෙත තල්ලුකර දමා තිබේ

සියල්ලට ප්‍රථමව, මැක්‍රොන් ජනපතිවරයාගේ ජයග්‍රහණයේ විශාලත්වය හඳුනාගැනීම සිදුකළ යුතුවේ.

බොහෝ දෙනා මෙම ජනග්‍රහණයට වටිනාකමක් දී නැතිමුත්, විශාලත්වය අනුව පස්වන ජනරජයේ පාලක ජනාධිපතිවරයා නැවත තේරී පත් වූ පළමු අවස්ථාව මෙය යි.

ඇත්තෙන්ම, මින් පෙර ද හිටපු ජනපතිවරුන් එලිසේ මන්දිරය නැවත අත්පත් කරගෙන තිබේ. නමුත්, 1988 දී මෙය නැවත අත්පත් කරගත් ෆ්‍රොන්සුවා මිත්‍රාන්ද් ද, 2002 දී නැවත අත්පත් කරගත් ජැක් චිරාක් ද යන දෙදෙනාම නැවත ඡන්දය ඉල්ලද්දී විපක්ෂයේ සිටියහ.

එම අවස්ථා දෙකේ දීම, මධ්‍යකාලීන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව පැවතියේ ජනාධිපතිවරයාගේ විරුද්ධ පාක්ෂිකයන් යටතේ ය. නිලයේ සිටිය ද, මිත්‍රාන්ඩ් සහ චිරාක් දේශපාලනික වශයෙන් බෙලහීන විය. නමුත් වාසනාව අනෙක් අතට පෙරලුනුකල මෙය ඔවුනට වාසිදායක වූ අතර, නැවත ජනතා කැමැත්ත දිනාගැනීමට ඔවුනට හැකිවිය.

1965 දී චාල්ස් ඩි ගෝල්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගත්කල ඔහු කිසි විටෙකත් ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබූවෙකු නොවේ.

මේ නිසා එම්මැනුවෙල් මැක්‍රොන් යනු විදේශ සහ දේශීය ප්‍රතිපත්තිවල සෑම අංශයක්ම පූර්ණකාලීනව ක්‍රියාත්මක කිරීමෙන් පසු නැවත වරක් ජනතාවගේ විශ්වාසය දිනාගත් නූතන කාලයේ ප්‍රථම ජනපතිවරයා යි.

ඔහු එය ක්‍රම දෙකකින් සිදුකර ඇති අතර, ඉන් පළමු ක්‍රමය ඉදිරි වසර පහ සඳහා යහපත් එකකි. නමුත් දෙවැන්න එසේ නොවේ.

ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍යයන්හි දක්නට හැකි උඩඟු පැරිසියානු ධනවතුන් සහ කෝපයට පත් පළාත්බද මැර කල්ලිවලට වැසීගොස් සිටිනවා වුව එමානුවෙල් මැක්‍රොන් කිසිසේත්ම නරක ජනාධිපතිවරයකු නොවූ බව සලකන මැදපෙළේ ප්‍රංශ ජනතාව මිලියන ගණනක් සිටිනා බව යි.

මැක්‍රොන්ගේ ප්‍රතිසංස්කරණ නිසා විරැකියාව තවදුරටත් දේශපාලන ප්‍රශ්නයක් නොවන බව ඔවුන්ගේ ඇගයුමට ලක් ‍වේ. ඔහු කොවිඩ් ගැටලුවට දක්ෂ ලෙස මුහුණ දුන්නායැ යි ඔවුන් සිතන අතර විශ්‍රාම යන වයස ඉහළ දැමීමට ද ඔවුහු එකඟ වෙති.

Image shows Macron and Le Pen poster

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රක්ෂේපනවලට අනුව මැක්‍රොන් 58%ක ඡන්ද ප්‍රතිශතයක් ද, ලෙ පෙන් 42%ක ප්‍රතිශතයක් ද ලබාගෙන ඇත - එහෙයින් මෙය 2017ට වඩා පටු පරතරයක ජයග්‍රහණයකි

ජාත්‍යන්තර වේදිකාව මතා තමා විසින්ම රැඳී සිටිනා නායකයෙකු දැකීමට ද ඔවුන් ප්‍රිය ය. පුටින් සමග කෙළින් කතා කිරීමට තරම් ජාත්‍යන්තර වේදිකාව තුළ ඉදිරියෙන් සිටින කෙනෙකු එලිසේ මන්දිරයේ සිටීම ගැන ඔවුහු සතුටු වෙති.

යුරෝපීය සංගමය සඳහා වැඩි මිලිටරි සහ ආර්ථික ස්වයං පාලනයක් අවශ්‍යයැ යි කියනා ඔහුගේ දැක්ම වඩ වඩාත් අදාළ වන මොහොතක, මැක්‍රොන් යටතේ ප්‍රංශයට යුරෝපයේ නායකත්වය ගැනීමට අපේක්ෂා කළ හැකි බව ඔවුන් සිතයි. ජනාධිපතිවරණ ප්‍රතිවාදිනී මැරීන් ලෙ පෙන් පිළිබඳ ජනතා අදහස සාපේක්ෂව බොහෝ වෙනස් ය.

ඇතැම්විට මෙම පුද්ගලයින් එමානුවෙල් මැක්‍රොන්ට විශේෂ කැමැත්තක් නොදක්වනවා විය හැකි ය - ඔහු ඉතා වෙනස් අයෙකි. නමුත් බොහෝදෙනා ඔහුට ගරු කිරීමට පෙළඹී සිටිති.

කෙසේ වෙතත්, මැක්‍රොන්ගේ ක්‍රමවේදයේ දෙවන අංගය වඩාත් ගැටලුසහගත එකකි. විරෝධතා ඇතිවූයේ ද එයට එරෙහිව ය.

මීට වසර පහකට පෙර, මැක්‍රොන් නූතන දේශපාලන තත්ත්වය දෙදරා යන ක්‍රියාවක් සිදුකළේ ය.

ඔහු මැද මාර්ගයේ ගමන් කරමින්, කොන්සර්වේටිව් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සබඳතාව විනාශ කළ අතර, ඩි ගෝල්ගේ පස්වන ජනරජයේ පැවති බලතල භාවිතා කරමින් එලිසේහි සිට ඉතා පුද්ගලාරෝපිත සහ ඉතා සංකේන්ද්‍රිත පාලන ක්‍රමයක් ස්ථාපිත කළේ ය.

විපක්ෂය දක්ෂිණ සහ වාම "අන්තයන්ට" තල්ලුවූ අතර, එමඟින් ඔහුට කිසිදා තර්ජනයක් ඇති නොවන බව ඔහු විශ්වාස කළේ ය. මේ මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහු සිතූ දේ නිවැරදි බව ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, මරීන් ලෙ පෙන්: "මම කවදාවත් ප්‍රංශ ජනතාව අත්හරින්නේ නැහැ"

එහෙත් මැතිවරණය තවත් යමක් පෙන්නුම් කර ඇත. ඒ, ප්‍රංශයේ මිනිසුන් දැන් වැඩි වැඩියෙන් "අන්තයන්" සමග හැප්පීමට සූදානම් බව ය. සාර්ථක මැක්‍රොන් විප්ලවයට පිං සිදුවන්නට, ඔවුන් එසේ කරන්නේ ඔහුට විරුද්ධ වී තෝරා ගැනීමට අන් මඟක් නොමැති බැවිනි.

මෙම ඡන්දදායකයින්ගෙන් බොහෝ දෙනෙකුට - විශේෂයෙන් වාමාංශික අපේක්ෂක ජීන්-ලූක් මෙලෙන්චොන් තෝරාගත් මිලියන ගණනකට - දැන්, අලුතින් තේරී පත් වූ රාජ්‍ය නායකයාගෙන් පලිගැනීමට අවශ්‍ය වී තිබේ.

ජූනි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එය සිදුකළ හැකියැ යි ඔවුන් බලාපොරොත්තු වේ. එහෙත් එය සාර්ථක නොවන්නේ නම්, විශේෂයෙන්ම ඔහු ඒ වන විට නව ප්‍රතිසංස්කරණ රැල්ලක් දියත් කර ඇත්නම්, සැප්තැම්බර් මාසයේ දී තෙවන වරටත් මැක්‍රොන් විරෝධී පෙළපාලි යන ආකාරය ගැන ඔවුන් සිහින දකියි.

එම්මැනුවෙල් මැක්‍රොන් දෙවන වාරය ආරම්භ කරන්නේ නව ආකාරයේ ආණ්ඩුවක් පොරොන්දු වෙමිනි. ඔහු වඩාත් සවන්දෙන්නෙකු වනු ඇත. සුව කළ යුතු තුවාල ඇති බව ඔහු දනියි. ගැටලුව ඇත්තේ ඔහු මීට පෙර ද එවැනි දේවල් පවසා ඇති නිසා බොහෝ අය ඔහුව විශ්වාස නොකිරීම යි.

"මෙම මැතිවරණයෙන් පෙනී යන්නේ ප්‍රංශයේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක් සිටින බව පමණක් නොවෙයි. ප්‍රතිවිරුද්ධ කඳවුර නීත්‍යානුකූල නොවන බව මිනිසුන් පවසන ප්‍රමාණය වර්ධනය වන ප්‍රවණතාවකුත් තිබෙන බව පෙනෙනවා," විචාරක නටාශා පොලෝනි පැවසීය.

"පසුගිය ජනපතිවරණ සෑම විටම අවසන් වූයේ සියලු ප්‍රංශ ජාතිකයින්ගේ ජනාධිපති ලෙස මිනිසුන් පිළිගත් අයෙකු ලැබීමත් එක්ක යි. හැබැයි එය තවදුරටත් එසේ වේවි කියලා මට විශ්වාස නැහැ."