ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියාවේ යුක්රේන ආක්‍රමණය: 14 වන දිනය
නැගෙනහිර යුක්රේනයේ රුසියානු සහාය ලබන බෙදුම්වාදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේන රජය සැලසුම් කළ බවට "ඔප්පු" කරන රහසිගත ලේඛන තමා ලැබී ඇතිබව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශකර තිබේ.
රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ, යුක්රේන රජය ඩොන්බාස්හි රුසියානු පිටුබලය ලබන කැරලිකාර ප්‍රදේශවලට හමුදා ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටිබව "ඔප්පු කරන" ලිපි ලේඛන පිටු හයක් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇතිබව යි.
උපායශීලී හමුදා ඒකක සඳහා සටන් සූදානම නිවේදනය කෙරෙන යුක්රේන භාෂාවෙන් ලියා ඇති මෙම ලේඛන ස්වාධීනව තහවුරු කළ නොහැකිබව රොයිටර් පවසයි.
පසුගිය මාසයේ, ජනාධිපති පුටින් නැගෙනහිර යුක්රේනයේ පිහිටි රුසියානු පිටුබලය ලබන ස්වාධින කලාප දෙකක්, ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත්තේ ය.
ටික දිනකට පසු, යුක්රේනයේ යුද්ධය ආරම්භවීමට පෙර, ඔහු මෙම කලාප දෙක තුළට හමුදා බලඇණි පිටත් කළේ ය.
රුසියාවේ ජාතික ආරක්ෂක බලකාය දැන් යුක්රේනයේ සපරිශියා න්‍යෂ්ටික බලාගාරයේ පූර්ණ පාලනය අත්පත්කර ගෙන සිටිනබව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.
බලාගාරයේ සේවකයින් "සාමාන්‍ය ලෙස" වැඩ කරනබවත්, එය ආරක්ෂා කරමින් සිටි යුක්රේනයේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් ආයුධ භාරදීමෙන් පසු නිදහස් කළබවත් ජාතික ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් ඔවුන් පවසයි.
මීට පෙර, යුක්රේනයේ බලශක්ති අමාත්‍යාංශයේ හර්මන් හලුෂ්චෙන්කෝ රුසියානු හමුදා මෙම බලාගාරයේ සේවකයින්ට වධහිංසා පමුණුවනබවට චෝදනා කළේ, සේවකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටිනබව ද පවසමිනි.
රුසියාවේ සහ යුක්රේනයේ ප්‍රකාශයන් අප විසින් ස්වාධීනව තහවුරුකර නොමැත.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානියා වන IAEA, උතුරු යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික භූමිය මේ වන විට පාලනය කරමින් සිටින රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලා ඇත්තේ එහි කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට විවේකයක් ලබාදෙන ලෙස යි.
ප්‍රකාශයක් නිකුත් කරමින් රෆායෙල් ග්‍රෝසි පැවසුවේ පසුගිය සති දෙක තුළ නිරතුරුවම රාජකාරියේ යෙදී සිටියේ 210 දෙනෙකුගෙන් පමණ සමන්විත එකම කණ්ඩායමබව යුක්රේන බලධාරීන් තමන්ට පැවසූ වග යි.
පිරිස් මුහුණ දෙන ආතති සහගත තත්ත්වය පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටිනබව ග්‍රෝසි පැවසීය.
සේවකයින්ට නිත්‍ය සේවා මුරවල සේවයේ යෙදීමට සහ විවේක ගැනීමට හැකිවිය යුතුබව ඔහු පැවසුවේ ය. මෙය න්‍යෂ්ටික ආරක්ෂාවට ඉතා වැදගත්බව ඔහු අවධාරණය කළේ ය.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයේ 14 වන දින සිදුවූ දේ පිළිබඳ කෙටි විස්තරයක් මෙන්න:
- බදාදා උදෑසන, කියෙව් අගනුවර ඇතුළු යුක්රේන නගර කිහිපයක ගුවන් සයිරන් නාද වූබව වාර්තා විය
- දින ගණනාවක් තිස්සේ රුසියානු ෂෙල් ප්‍රහාරවලට ලක්වූ ඊසානදිග නගරයක් වන සුමි නුවරින් ජනයා ඉවත්කිරීමේ අදියර ද්විත්වයම සාර්ථකව නිමා කළබව යුක්රේනය පවසයි. රුසියාව බෝම්බ හෙලීම තාවකාලිකව නැවතීමට එකඟවීමෙන් පසු 5,000ක් පමණ දෙනා සුමි නගරයෙන් ඉවත්කර ඇත
- අඟහරුවාදා විවෘත කළ මානුෂීය කොරිඩෝව බදාදා දිනයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතබව නගරාධිපතිවරයා පවසයි
- රුසියානු රාජ්‍ය මාධ්‍ය ආයතනයන් වාර්තා කරන පරිදි, ප්‍රහාරයට ලක්වන නගරවල සිවිල් වැසියන්ට පලායාමට ඉඩ සැලසීම සඳහා රුසියානු රජය තවත් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ. එරට වේලාවෙන් උදෑසන 10ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30ට) කියෙව්, චෙර්නිහෙෆ්, සුමි, කාර්කිෆ්, සහ මරියුපොල් නගරවල සිට මානුෂීය කොරිඩෝ නැවතත් පිහිටුවනු ලැබුණි
- මේ වන විට සරණාගතයින් මිලියන දෙකක් යුක්රේනයෙන් පලාගොස් ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය මෙය යි
- යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියෙව්හි පිහිටි ඔහුගේ කාර්යයාලයේ සිට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතුවේ ය. ඔහු වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රකාශයක් උපුටා සඳහන් කරමින් රුසියාවට අනතුරු ඇඟවූයේ, "අපි වනාන්තරවල, කෙත්වතුවල, වෙරළවල, වීදිවල සටන් කරනවා" යනුවෙනි.
- රුසියාවේ සහ යුක්රේනයේ විදේශ අමාත්‍යවරුන් වන සෙර්ගෙයි ලැව්රොව් හා දිමිත්‍රෝ කුලේබා බ්‍රහස්පතින්දා තුර්කියේ දී හමුවීමට නියමිත බව රුසියාව තහවුරුකර තිබේ. මේ, රුසියානු ආක්‍රමණයෙන් පසු දෙදෙනා අතර පැවැත්වුණු පළමු රැස්වීම යි
- ජර්මනියේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරක් හරහා පෝලන්තයේ මිග්-29 ප්‍රහාරක ජෙට් යානා සියල්ල යුක්රේනයට යැවීමට පෝලන්තය කළ යෝජනාව එක්සත් ජනපදය ප්‍රතික්ෂේපකර ඇත. පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු පවසන්නේ එවැනි ක්‍රියාවන් නේටෝවට "බරපතල ගැටලු" මතුකරනබව යි. එක්සත් ජනපද හමුදා විශේෂඥයෙකු පෝලන්තයේ සැලැස්ම "ව්‍යාකූල" ලෙස හැඳින්වූයේ ය
- එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව නව සම්බාධක නිවේදනයකර ඇති අතර, එමඟින් එක්සත් රාජධානිය තුළ ඇති රුසියානු ගුවන්යානා රඳවා තබාගැනීමටත්, රුසියානු යානාවන්ට එරටට ඉහළින් පියාසර කිරීම හෝ ගොඩබෑම සාපරාධී වරදක්බවට පත්කිරීමටත්, සහ එක්සත් රාජධානියේ සියලුම ගුවන් සේවා හෝ අභ්‍යවකාශ තාක්ෂණයන් රුසියාවට අපනයනය කිරීම වැළැක්වීමටත් ඇමතිවරුන්ට බලතල ලබාදෙනු ඇත
- රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට "ප්‍රබල පහරක්" එල්ලකිරීම සඳහා රුසියානු තෙල්, ගෑස්, සහ ගල් අඟුරු ආනයනය එක්සත් ජනපදය විසින් සම්පූර්ණයෙන් තහනම් වනබව එරට ජනාධිපති ජෝ බයිඩෙන් නිවේදනය කළේ ය
- මැක්ඩොනල්ඩ්ස්, ස්ටාර්බක්ස්, සහ කොකා-කෝලා රුසියාවේ සිය ව්‍යාපාර තාවකාලිකව නවතා දැමූ නවතම බටහිර සමාගම්බවට පත්විය