යුක්රේන අර්බුදය: යුද තර්ජනයක් හමුවේ දිවි ගෙවන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෙදුම්වාදීන් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශත්, රුසියාව ක්රිමියාවත් අත්පත්කර ගැනීම හේතුවෙන්, 2014 දී සිටම යුක්රේනියානුවන් යුද්ධය සමග දිවිගෙවූ නමුත්, මෑතක දී රුසියාව එම භීතිය අලුත්කරලීය. මෑතක දී රටේ දේශසීමා තුළ රුසියානු හමුදා විශාල වශයෙන් එක්රැස් වීම හේතුවෙන් අනෙකුත් ප්‍රදේශවලට යුද්ධයේ භීතිය පැතිරගොස් ඇත. යුක්රේන ජාතිකයන් තිදෙනෙකු BBC සමග කියා සිටියේ ඔවුන් යුද්ධය සමග එදිනෙදා ජීවිතය ගත කළ ආකාරය යි.
'මම ආතතියට මුහුණ දෙන්න උදව් කරන නර්තන වැඩසටහන් සකස් කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Yana Gryniv
36 හැවිරිදි වැලෙන්ටිනා කොවාක්, වැලන්ඩාන්ස් නමින් රංගායතනයක් කියෙව්හි පවත්වාගෙන යන වෘත්තීය නර්තන ශිල්පිනියකි. 'මම ආතතියට මුහුණ දෙන්න උදව් කරන නර්තන වැඩසටහන් සකස්කරනවා,' ඇය කියයි.
සාමාන්‍යයෙන්, ශීත ඍතුවේ අවසානය සහ වසන්තයේ මුල් කාලය ඇගේ කාර්යබහුලම කාලය වන අතර, කාලගුණය උණුසුම් වන විට කායික යහපැවැත්ම පිළිබඳ පාඨමාලා හැදෑරීමට බොහෝදෙනෙකු ඇය වෙත පැමිණේ.
නමුත් මේ වසරේ එය වෙනස් විය. රුසියානු ආක්‍රමණයක ඉඟි හමුවේ ඇතැමෙකුට ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම ගැන සිතීමට ඇති අවස්ථාව අඩුව ඇති අතර, මුදල් ඉතිරිකර ගැනීම සඳහා මාසික වියදම් ද අත්හිටුවා තිබේ.
තවත් අය ආතතියෙන් මිදීම සඳහා වැඩිපුර ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලෙන නමුත්, සමස්තයක් වශයෙන් ඇයගේ පිරිවැටුම පහත වැටී ඇත්තේ මෙවැනි සමයක මුදල් ඉතුරුකර ගැනීම වඩාත් ඥානාන්විත බව බොහෝදෙනෙකු සිතන්නට පටන්ගෙන ඇති නිසාබව වැලෙන්ටිනාගේ අදහස යි.
බොහෝ අය පවසන්නේ දැනට පවතින තත්ත්වය නිසා සති කිහිපයකට වඩා දුරට අනාගතය සැලසුම් කිරීමට නොහැකි බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Valentyna Kovach
යුක්රේන අගනුවර රුසියානුවන් විසින් සෘජුවම ප්‍රහාරයට ලක්වුවහොත් ඊට මුහුණදීම සඳහා සැලැස්මක් ද වැලෙන්ටිනා සතුව පවතියි.
ඇගේ දෙමව්පියන් එරට බටහිර ප්‍රදේශයේ ජීවත්වන අතර, රුසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි එම ප්‍රදේශයේ නැවත පදිංචිවීම විකල්පයක් වනුයේ ගොඩබිම් ආක්‍රමණයක් හෝ බෝම්බ ප්‍රහාරයකට එතරම් දුරකට ළඟාවිය නොහැකි බැවිනි.
නමුත් දැනට ඇය ධනාත්මකව සිටීමට උත්සාහ කරයි.
"නැටුම් සහ ශරීර යෝග්‍යතාවන් කාංසාව අවම කරන්න උපකාරී වෙනවා," වැලෙන්ටිනා පවසයි.
"ඒක අපට මනස නිදහස් කරගන්න උදව් වෙනවා. මේ වගේ පීඩාවෙන් පිරුණු කාලෙක මගේ සේවාදායකයින්ට අවශ්‍ය වෙන්නේ ඒ වගේ දෙයක්."
'මම මගේ ව්‍යාපාරය ඒ අවශ්‍යතාවන්ට ගැලපෙන්න වෙනස් කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Ruslan Beliaiev
45-හැවිරිදි රුස්ලාන් බෙලියයීව් වාණිජමය වශයෙන් ඩ්‍රෝන යානා පියාසර කරන, ගුවන් සංදර්ශන සංවිධානය කරන, ළඟා වීමට අපහසු උස් ස්ථානවල දැන්වීම් හෝ බැනර් සවි කරන 'ඩ්රෝනේරියම්' නමැති සේවාවක් පවත්වාගෙන යනු ලබයි.
ඔවුන්ගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතියක් වන්නේ, 2020 ජූනි මාසයේ කියෙව් ප්‍රයිඩ් සැමරුම් උත්සවයේ දී යුක්රේන අගනුවරට ඉහළින් දේදුනු වර්ණ සහිත LGBT ධජයක් පියාසර කරවීම යි.
මාතෘභූමියේ ප්‍රතිමාව ඇතුළු කියෙව්හි විවිධ ප්‍රසිද්ධ ස්ථානවලට ඉහළින් ධජය පියාසර කළ අතර, යුක්රේන මාධ්‍ය විසින් මෙම ප්‍රයෝගය පුළුල් ලෙස ආවරණය කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, Dronarium
වාණිජ ගනුදෙනුකරුවන් සමග වැඩ කිරීම හොඳ ආදායමක් ගෙනදුන් නමුත් පළමුව වසංගතය නිසාත්, පසුව යුක්රේනය වටා ඇති භීතිය නිසාත් ව්‍යාපාරය පසුබෑමට ලක්ව පවතියි.
ඔහු තවමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට අරගල කරන තත්ත්වයට පත්ව නොමැති නමුත්, රුස්ලාන් ඔහුගේ ව්‍යාපාරය වෙනත් දිශානතීන් වෙත ගෙනයාමට තීරණය කර ඇත.
ඔහුගේ කාර්ය මණ්ඩලයෙන් දෙදෙනෙකු නැගෙනහිර යුක්රේන ගැටුමේ දී සටන් කළ යුද ප්‍රවීණයන් ය. ඔවුන්ට අලුත් අදහසක් ආවේ ය.
"අපේ ඩ්‍රෝන යානා නැවත සකසන්න පුළුවන් බව එයාලා කිව්වා. සමහර ඩ්‍රෝන යානාවල විශේෂ කැමරා තියෙනවා. තවත් ඒවාට තාපීය ඡායාරූප (thermal images) ගන්න පුළුවන්. අපට ඒ සියල්ල බුද්ධි තොරතුරු සඳහා භාවිතා කරන්න පුළුවන්," රුස්ලාන් පවසයි.
රුස්ලාන්ගේ සමාගම යුක්රේන භෞමික ආරක්ෂක අංශය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කරමින්, බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. මෙම සහයෝගීතාව ඔහු මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙන යනු ඇති නමුත් ඔහුට වෙනත් අපේක්ෂාවන් ද පවතියි.
රුස්ලාන් තවමත් රුසියානු ආක්‍රමණය පිළිබඳ තර්ජනය සහ අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර, ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු 7 සහ 11 හැවිරිදි දරුවන් දෙදෙනා රටින් පිටකර හැරීමට සූදානම් වේ.
"මම හිතන්නේ රුසියාවේ මිසයිලවලට ළඟාවිය හැකි [දුරක පවතින] නිසා කියෙව්හි රැඳී සිටීම අනාරක්ෂිත යි. ඒ නිසා මම මගේ බිරිඳ සහ දරුවන් පිටරට ඉන්න ඥාතීන් එක්ක නවතින්න යවනවා."
'මම ආරක්ෂක උපාධි පාඨමාලාවක් හදාරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Natalya Sad
35 හැවිරිදි නතාලියා සාද් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් ලැබූවෙකි. ඇය රාජ්‍ය ආයුධ නිෂ්පාදකයා වන යුක්රොබොරොනොප්රොම්හි සන්නිවේදන නිලධාරිනියක ලෙස සේවය කරයි.
ඇය මෑතක දී කලබලකාරී වාතාවරණය ඇතිවූ විට, තමා තවදුරටත් ආරක්ෂක අංශවල කටයුතු කෙරෙහි අවධානය කළ යුත්තේ කෙසේදැ යි සිතීමට පටන් ගත්තා ය.
"මට මැෂින් තුවක්කුවක් අතට ගන්න බැහැ," ඇය පවසයි. "මම හිතන්නේ නැහැ මගෙන් කාටවත් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා."
නමුත් සිය අධ්‍යාපනය සහ පළපුරුද්ද නිසා තමාට හොඳ ආරක්ෂක උපායමාර්ගිකයෙකු ලෙස කටයුතු කළ හැකියැ යි ඇය විශ්වාස කරන අතර, ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයයේ දෙවසරක විධායක පශ්චාත් උපාධියක් සඳහා ද ඉල්ලුම්කර තිබේ.
ඇය සති අන්තයේ පාඨමාලාවලට සහභාගී වෙමින් උපාධියට ඉගෙනගන්නා අතර, රැකියාවෙන් ඉවත්වීමට අදහස් නොකරයි.

ඡායාරූප මූලාශ්‍රය, Natalya Sad
නතාලියා පවසන්නේ ආක්‍රමණය ඉක්මනින් සිදු නොවූවත් රුසියාවෙන් ඇති තර්ජනය පහව නොයනු ඇති බව යි. ඇයට අවශ්‍ය වන්නේ යුක්රේන ආරක්ෂක කර්මාන්තය නඟා සිටුවීමටත්, වඩාත් නවීන ලෙස සහ වඩා හොඳින් සන්නද්ධවීමටත් ය.
"මේ වත්මන් අර්බුදය ගෝලීය අභියෝගයක්," නතාලියා පවසයි. "ලෝක සිතියම නැවත අඳින එක එක් රටක අභිප්රායක් වෙලා. අපි ඒකට විරුද්ධ වෙන්න ඕනෑ."
නමුත් වර්තමාන අර්බුදය ඇගේ දෛනික ජීවිතයට බලපා ඇත්තේ කෙසේ ද?
"මම වියදම් අඩු කරන්නේ නැහැ. මම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා," නතාලියා පවසයි. "බැංකුවලින් සල්ලි ගන්න එක වටිනව ද කියලා මගේ යාළුවෝ කල්පනා කරනවා. මම එහෙම හිතන්නේ නැහැ. මම කාර් එකක් ගන්න ඉතුරු කරන ගමන් ඉන්නේ. මම මගේ මහල් නිවාසය අලුත් කරන්නත් සැලසුම් කරනවා."
අනෙකුත් බොහෝ යුක්රේනියානුවන් මෙන්ම, කුමන ක්‍රමයකින් හෝ කලබල නොවී සිටීමේ අවශ්‍යතාව නතාලියා අවධාරණය කරයි.
"මෙම තර්ජනය සමග ජීවත් වෙද්දි මම තේරුම් ගත්තා මෙතනම ඉඳගෙන දවසින් දවස ජීවිතය ඉදිරියට ගෙනියන එක තමයි වැදගත් කියලා."










