ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු කොරියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පවසයි
උතුරු කොරියාව අඟහරුවාදා අලුයම නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට කෙටි දුර මිසයිලයක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
උතුරු කොරියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී, "තමරටට ආත්මාරක්‍ෂාව සහ අවි අත්හදා බැලීමේ ඇති අයිතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව" පැවසීමෙන් පසු මෙම අත්හදා බැලීම සිදුවිය.
මේ මස මුලදී උතුරු කොරියාව බැලස්ටික් සහ කෘස් මිසයිල අත්හදා බැලීම් සිදු කළේය.
නමුත් දින කිහිපයකට පෙර උතුරු කොරියාව දකුණු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට ද කැමැත්ත පළ කර තිබුණි.
එක්සත් ජනපද හමුදාව අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මිසයිල දියත් කිරීම පිළිබඳව තමන් දන්නා නමුත්, එයින් එක්සත් ජනපද භටයින්ට හෝ ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යයන්ට අත්‍යාසන්න තර්ජනයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද හමුදාවේ ඉන්දු-පැසිෆික් බලඇණිය කියා සිටියේ මෙම දියත් කිරීම "[උතුරු කොරියාවේ] නීති විරෝධී අවි ආයුධ වැඩසටහනේ අස්ථාවරත්වය ඉස්මතු කරන" බවයි.
ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් අඟහරුවාදා ජපාන මාධ්‍ය පැවසුවේ, මෙම මිසයිලය එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ තහනම් කර ඇති බැලස්ටික් මිසයිලයක් විය හැකි බව යි.
උතුරු කොරියාවේ නවතම මිසයිල දියත්කිරීම, සහ කිම් ජොං-අන්ගේ සහෝදරිය වන කිම් යෝ-ජොං මෑතකදී සිදුකළ ප්‍රකාශයන් විශ්ලේෂණය කරන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් තම ජාතික ආරක්ෂක මණ්ඩලයට නියෝග කර ඇත.
කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කරන බවට ප්‍රකාශ කළ යුතු යැයි ජනපති මූන් ජේ-ඉන් කළ යෝජනාවට තමන් විවෘත බව කිම් යෝ-ජොංග් දින කිහිපයකට පෙර පැවසූ නමුත්, දකුණු කොරියාව මුලින් සිය "එදිරිවාදී ප්‍රතිපත්ති" නැවැත්විය යුතු බව ද පැවසුවාය.
මිසයිලය දියත් කිරීමෙන් ටික වේලාවකට පසු උතුරු කොරියාවේ නියෝජිත කිම් සොන්ග් නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරය ඇමතීය.
එහිදී, උතුරු කොරියාවට ආයුධ "නිර්මාණය කිරීමට, පරීක්‍ෂා කිරීමට, සංවර්ධණය කිරීමට, සහ ළඟ තබා ගැනීමට" අයිතියක් ඇතැයි ඔහු පැවසුවේ ය.
AFP පුවත් වාර්තාවන්ට අනුව, උතුරු කොරියාව "අපගේ ආරක්ෂාව උදෙසාත්, රටේ ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහාත් ජාතික ආරක්ෂාව ගොඩනංවමින් සිටින්නේයැ"යි කිම් සොන්ග් පවසා ඇත.
දකුණු කොරියාව හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව දිගින් දිගටම චෝදනා එල්ලකර ඇත.
දකුණු කොරියාව මෑතකදී සබ්මැරීනයක් තුළ සිට දියත් කළ සිය පළමු බැලස්ටික් මිසයිලය අත්හදා බැලූ අතර, ඔවුන් පැවසුවේ උතුරු කොරියාවේ "ප්‍රකෝප කිරීම්" වැළැක්වීම සඳහා එය අවශ්‍ය බවයි.
මේ තොරතුරු ද කියවන්න:
මෙයට අමතරව, අඟහරුවාදා දින උතුරු කොරියාව 'උත්තරීතර මහජන සභා සැසියක්' පැවැත්වීමට නියමිතය.
මේ වන විට වසරකට වැඩි කාලයක් හුදෙකලාව ගත කර ඇති උතුරු කොරියාව ආහාර හිඟයකට මුහුණ පා සිටියි. කොවිඩ් -19 වැළැක්වීම සඳහා සිය දේශසීමා වසා දැමීමත් සමග, සිය සමීපතම සගයා වන චීනය සමග ඇති වෙළඳාම ඇණහිට ඇත.
කෙසේ වෙතත්, මෙය ඔවුන්ගේ ආයුධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම වැළැක්වූයේ නැත.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සඳහා ප්ලූටෝනියම් නිපදවිය හැකි ප්‍රතික්‍රීයකයක් නැවත පණගැන්වූ බව පෙනෙන්නට ඇතැයි අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය පැවසූ අතර, එය "දැඩි පීඩනයක් ඇති කරන අන්දමේ" වර්ධනයක් ලෙස හැඳින්වීය.