උතුරු කොරියාව: අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද තරණය කළ කිම් ජොන්ග් අන්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අශ්වයෙකු පිට නැගී එරට උස ම කන්ද තරණය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු 'පෙක්තු' කන්ද තරණය කරන ඡායාරූප පෙළක් උතුරු කොරියානු KCNA පුවත් සේවය වාර්තා කර තිබිණි.

උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති.

කිම් ජොන්ග් අන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වේ.

"ඔහු අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද නැගීමේ ක්‍රියාව කොරියානු විප්ලවයේ ඉතිහාසයට දැඩි වැදගත්කමක් ලබා දෙනවා" යැයි KCNA පුවත් සේවය බදාදා (ඔක්තෝබර් 16) වාර්තා කර තිබුණි.

"කන්ද සේ නොසැලී ඉතා භක්තියෙන් මේ වඩාත් බලවත් රට ගොඩනැගීම සඳහා ඔහු කළ දැඩි අරගලය ගැන මෙනෙහි කරමින් අශ්වයෙකු පිට හිඳ පෙක්තු කන්ද තරණය කර තිබෙනවා."

දකුණු කොරියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳ ඇඟවීමට සති කීපයකට පෙර 2017 වර්ෂයේ ද ඔහු මෙම කන්ද තරණය කළේය.

මේ තොරතුරුද කියවන්න:

අවධානය දිනා ගැනීමේ රංගනයක් ද?

සෝල් නගරයේ බීබීසී වාර්තාකාරිනී ලෝරා බිකර්ගේ විශ්ලේෂණයකි.

ප්‍රථමයෙන් අපි මෙම ඡායාරූප ගැන අවධානය යොමු කරමු.

කොරියානු අර්ධද්වීපයේ තිබෙන වඩාත් ගෞරවනීය ස්ථානයක හිම අතරින් අශ්වයෙකු පිට නැගී යෑම සැබවින්ම නායකත්වයේ බල මහිම පෙන්වන දර්ශනයකි.

පෙක්තු කන්ද හා සම්බන්ධ කිම් ජොන්ග් අන්ගේ පවුලේ බලය සහ ශක්තිය පෙන්වීමේ උත්සහයක් ලෙස ද මෙය දැකිය හැකිය. නමුත් උතුරු කොරියානු වැසියන්ට සිය නායකයාගේ බලය මෙන්ම අශ්වයන් පිට යෑමට ඇති හැකියාව ගැන තේරුම් ගැනීමට අපහසු නොවේ.

කෙසේනමුත්, එරට මාධ්‍යවල සඳහන් වන කරුණුවලින් අපට යම් දෙයක් අවබෝධ කරගත හැකිය.

මේ අතරින් විශේෂ අවධානයක් යොමු වන්නේ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක අවසාන වාක්‍යයටය. "ලෝකය පුදුම කරවන ආකාරයේ බලවත් ක්‍රියාන්විතයක නියැලෙන්න නියමිත" බව කිම් ජොන්ග් අන් සමග සිටින නිලධාරීන්ට ඒත්තු ගොස් ඇතැයි එහි සඳහන් වී තිබිණි.

මින් පෙර කිම් ජොන්ග් අන් පෙක්තු කන්ද ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු අතිශය වැදගත් තීරණවලට එළඹ තිබේ.

දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලින් ඉවත් වීමට දුන් පොරොන්දුව ගැන කිම් ජොන් අන් නැවත සිතා බැලීමට මෙවර ඔහු සැරසෙන්නේ යැයි අනුමාන කෙරේ.

එක්සත් ජනපදය සමග පැවති සාකච්ඡා මේ වන විට අඩාල වී ඇති අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි අවධානය සිය රටෙහි පවතින ගැටලුවලට යොමු වී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය දිනා ගැනීමට කිම් ජොන්ග් අන් මෙම කන්දේ සිසිල් වාතය යොදා ගන්නවා ද විය හැකිය.

න්‍යෂ්ටිකහරණය පිළිබඳ එකඟතාවකට එළඹීමට උතුරු කොරියාව ඇමරිකාවට මෙම වසර අවසානය තෙක් කාලය ලබා දී තිබේ. කිම්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වැඩසටහන් නැවත්වීමට නම් උතුරු කොරියාවට එරෙහිව පවතින සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් ගණනාවක් සිදු කර තිබේ. නමුත් මේ වනතෙක් ඔහුට ඇමරිකාව ඒ සඳහා පොළඹවාගැනීමට නොහැකි වී තිබේ.

තවත් අවි අත්හදාබැලීම් කිහිපයක් සිදු කර බලපෑම් එල්ල කරන්න ඔහු සිතා සිටිනවා විය හැකිද?

නැතහොත් උතුරු කොරියානු නායකයා ශීත සෘතුවේ පළමු හිම පතනය විඳිනවා වන්නට පුළුවන් ද?

ඉදිරි මාස කීපයේ දී නිවැරදි තොරතුරක් දැනගන්නට ලැබෙන බව මම විශ්වාස කරමි.

තවත් තොරතුරු: