ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු කොරියාව: කිම් ජොන්ග් අන් "යුද අභ්‍යාසයක්" නිරීක්ෂණය කරයි
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් විවිධ මිසයිල උපාංග අත්හදා බලමින් සිදු කෙරුණු "යුද අභ්‍යාසයක්" නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේය.
"කෙටි දුර විහිදුම් ප්‍රහාරක උපාංග කිහිපයක්" පවා ජපාන මුහුදට විද ඇත.
එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ රටේ "යුද හැකියාව වැඩි කිරීම" සඳහා ප්‍රහාර එල්ල කිරීමේ නියෝග උතුරු කොරියානු නායකයා විසින් ම සිදු කළ බවය.
වඩා යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා පවතින මාර්ගය කිම් ජොන්ග් අන් කඩාකප්පල් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
"ඔහු දන්නවා මම ඔහු සමඟ සිටින බව. මට දී ඇති පොරොන්දුව කඩන්න ඔහුට අවශ්‍ය නැහැ. ගනුදෙනුව සිදුවෙයි!" යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරියේ හැනොයි නුවර පැවති සමුළුවක දී කිම් ජොන්ග් අන් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කළේය.
එම යෝජනා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ "නරක ගනුදෙනුව" ලෙසිනි.
එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පවතින සාකච්ඡා වේගවත් කිරීම සඳහා වොෂින්ටනයට පීඩනයක් එල්ල කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ විය හැකි බවට විශ්වාස කෙරේ.
නව පන්නයේ අවි අත්හදා බැලීමක් සිදු කළ බවට පසුගිය මාසයේදී ද උතුරු කොරියාව නිවේදනය කර තිබුණි.
හැනොයි නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ පළමු අත්හදා බැලීම එය විය.
ඊයේ (මැයි 04) සිදු කළ අභ්‍යාසයේ දී කෙටි දුර විහිදුම් මිසයිලයක් ද විද ඇති බවත් එම නිසා 2017 නොවැම්බරයේදී අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව සිදුකළ බරපතළ ම අත්හදා බැලීම මෙය වන බවත් විශ්ලේෂකයෝ පවසති.
කෙසේ නමුත් එමගින් උතුරු කොරියාව පොරොන්දු කඩ කර නොමැත. ඔවුන්ගේ පොරොන්දුව වී ඇත්තේ දුර විහිදුම් මිසයිල සහ න්‍යෂ්ටික මිසයිල අත්හදා නොබලන බවට ය.
ඊයේ විදින ලද කෙටිදුර විහිදුම් මිසයිලය කිලෝ මීටර 70ත් 200ත් අතර දුරක් ගමන් කොට ඇති බව උතුරු කොරියානු මාධ්‍ය සඳහන් කරයි.