උතුරු කොරියාව කොරියානු සම්බන්ධීකරණ කාර්යාලයෙන් ඉවත් වෙයි

දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා දිරිමත් කිරීමේ අරමුණින් පසුගිය වසරේදී ස්ථාපනය කරන ලද අන්තර් කොරියානු සම්බන්ධීකරණ කාර්යාලයෙන් උතුරු කොරියාව ඉවත් වී තිබේ.

දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යංශය පැවසුවේ, උතුරු කොරියානු කාර්ය මණ්ඩලය සිකුරාදා (මාර්තු 22) කාර්යාලයෙන් ඉවත් වන බව පෙරවරුවේ දැන ගන්නට ලැබුණු බවය.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව කනගාටුව පළ කර ඇති අතර, ඔවුන් උතුරු කොරියානු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් යළි පැමිණෙන ලෙසය.

පසුගිය මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උතුරු සහ දකුණු කොරියානු බලධාරීන් හමුවී නැත.

කොරියානු යුද්ධයෙන් පසු පිහිටවූ මෙම සම්බන්ධීකරණ කාර්යාලය හරහා දෙරටේ බලධාරීන් අතර නිරන්තර සබඳතා පැවැත්වීමට ඉඩ ලැබිණි.

එම කාර්යාලයේ දෙරටේ නියෝජිතයින් 20 දෙනා බැගින් සේවය කළහ.

වියට්නාම් හමුව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පෙබරවාරි 27 වන දා වියට්නාමයේ හැනෝයි අගනුවරදී හමු විය.

වියට්නාම්හිදී පසුගිය මස පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව, තමන් යළිත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය.

එරට උප විදේශ අමාත්‍ය චෝ සොන් හුයි මේ මස මුලදී පැවසුවේ, ඇමෙරිකාව "රන් හා සමාන අවස්ථාවක්" ඉවතට දැමූ බවය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, උතුරු කොරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කරන ලෙස උතුරු කොරියානු නායකයා ඉටු කළ නොහැකි ඉල්ලීමක් කළ බවය.

එහෙත්, උතුරු කොරියානු උප විදේශ අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රධාන ආර්ථික සම්බාධක 5ක් පමණක් ඉවත් කරන ලෙස උතුරු කොරියානු නායකයා, ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 25000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකුණු කොරියාවේ රැකියාවේ නිරත පුද්ගලයින් නියෝජනය කරන රටවල් අතර හොඳ ම තානාපති කාර්යාලය ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 වසරේදී නම් කරන ලදී.

තවත් කියවන්න.