උතුරු කොරියාව: කිම් ජොන්ග් අන්ට මොක ද වුණේ?

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පිළිබඳව පැතිර යන කටකතා පදනම් විරහිත බවත් ඔහු හෘද සැත්කමකට භාජනය වී ඇති බවට සාධක නොමැති බවත් දකුණු කොරියාවේ බුද්ධි කාර්යාංශය පැවසීය.

මෑතකදී කිම් ජොන්ග් අන් දින 20ක් පුරාවට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එරට වීරයෙකු ලෙස සැලකෙන තම සීයාගේ උපන්දින සැමරුම් උත්සවයේදී ද ඔහු දක්නට නොලැබිණි. සෑම වසරකම පැවැත්වෙන මෙම ජන්ම දින සැමරුම එරට ප්‍රධාන පෙළේ උත්සවයකි.

උතුරු කොරියානු නායකයා "අසාධ්‍ය තත්වයෙන්" පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඔහු මිය ගොස් ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

නමුත් ඔහු නැවතත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ එරට පොහොර කර්මාන්ත ශාලාවක් අසලය. එහි දී ඔහු මනා සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව පෙනෙන්නට තිබුණි.

දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා පවසන්නේ කුමක්ද?

දකුණු කොරියානු බුද්ධි අංශයේ ප්‍රධානි සුහ් හූන් බදාදා (මැයි 06) එරට පාර්ලිමේන්තු කාරක සභාවක් ඇමතීය.

උතුරු කොරියානු නායකයා ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පැතිර යන කටකතා සත්‍ය බවට සනාත වන කිසිදු සලකුණක් නැතැයි බුද්ධි අංශ ප්‍රධානියා එහිදී ප්‍රකාශ කළ බව දකුණු කොරියාවේ Yonhap පුවත් සේවය වාර්තා කළේය.

කිම් ජොන්ග් අන් මේ වසර තුළ දී 17 වතාවක් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බව මෙම පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ වී තිබේ. නමුත් වෙනත් වසරවල දී නම් මේ කාලසීමාව වන විට 50 වතාවක් උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.

නමුත් මෙම වසර තුළ අඩු වාර ගණනක් වාර්තා වී ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය නිසා විය හැකි බව දකුණු කොරියානු පාර්ලිමේන්තු කාරක සභිකයෙකු පවසා ඇත. කෙසේ නමුත් උතුරු කොරියාවෙන් මේ දක්වා කෝවිඩ්-19 රෝගියෙකු නිල වශයෙන් වාර්තා වී නොමැත.

කටකතා මොනවාද?

රටේ නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කටකතා පැතිර යාම ආරම්භ වූයේ ඔහුගේ සීයා ගේ ජන්ම දින සැමරුම් උත්සවයෙන් පසුවය. එය සමරුණේ අප්‍රේල් 15 වැනිදාය.

ඉන් දින හයකට පසුව, කිම් ජොන්ග් අන් ගේ හෘද රුධිර නාලිකා ආශ්‍රිත රෝග උත්සන්න වී ඇති බවට Daily NK වෙබ් අඩවිය වාර්තා කළේය. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ උතුරු කොරියාවෙන් පලා ගිය පිරිසක් විසිනි.

කියවන්න:

අනතුරුව මෙම කටකතා විදෙස් මාධ්‍ය ඔස්සේ වරින් වර පළ විය. උතුරු කොරියානු නායකයා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව ඇතැම් මාධ්‍යවල පළ වෙද්දී ඔහු මියගොස් ඇති බව ද තවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම අවස්ථාව වන විට දකුණු කොරියානු රජය සහ චීන රහස් ඔත්තු සේවා රොයිටර් පුවත් සේවයට කතා කරමින් කියා සිටියේ එම කටකතා අසත්‍ය බවය.

නමුත් මෙම කටකතාවලට තවත් පණ ලැබුණේ ඇමරිකාව මේ අවස්ථාවේ දී උතුරු කොරියාවට උදව් කරමින් සිටින්නේයැයි ඇමරිකානු බලධාරීන් පැවසූ බවට වාර්තා පළ වීමත් සමඟය. මෙම ඇමරිකානු බලධාරීන්ගේ නම් හෙළිකර නොතිබුණි.

කිම් ජොන්ග් අන් රෝගාතුරව සිටින බවට ලැබෙන වාර්තා සත්‍ය බව දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද පවසා තිබිණ. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කලකට ඉහත උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට පලා ආ දෙදෙනෙකි.

ඉන් එක් මන්ත්‍රීවරයෙකු වන තායේ යොන්ග් හෝ තමන් කළ වැරදි ප්‍රකාශය ගැන සමාව ඇයද සිටියේය.

"මම දන්නවා ඔබලා මට ඡන්දය දුන්නේ ඇයි කියල. එක හේතුවක් තමයි උතුරු කොරියානු ප්‍රශ්නය ගැන නිරවද්‍ය විශ්ලේෂණ සහ ප්‍රක්ෂේපණ ලබා ගැනීමේ අපේක්‍ෂාව. ඒ පිළිබඳව පවතින දෝෂාරෝපණය සහ බරපතළ වගකීම මට දැනෙනවා." ඔහු පැවසීය.

මීට පෙරත් ඔහු අතුරුදහන් වී සිටියාද?

2014 වසරේ දී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් දින 40ක් පුරා ජනතාවගෙන් වසන් වී සිටියේය.

ඔහු සැරයටියක් අතැතිව සිටින ඡායාරුපයක් පළවී තිබුණු බැවින් කටකතා රාශියක් පැතිර ගියේය.

තම රටේ නායකයා "ශාරීරික අපහසුතාවයකින්" පෙළෙමින් සිටි බව අනතුරුව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පිළිගෙන තිබුණි.

නමුත් කිම් ජෝන් අන් කුමන රෝගයකින් පෙළෙමින් සිටියේද යන්න ඔවුහු තහවුරු නොකළහ.

කිම් පවුලේ ඉතිහාසය

1948 දී උතුරු කොරියාවේ ප්‍රාරම්භක නායකයා වූයේ කිම් ඉල් සුන්ග්ය. එවක් පටන් රටේ නායකත්වය පැවරුණේ කිම් පවුලේ පිරිමි සාමාජිකයෙකුටය.

කිම් පවුල පිළිබඳව පවතින කතාන්තර උතුරු කොරියානු සමාජයේ අස්සක් මුල්ලක් නෑර කිඳා බැස ඇති ජනප්‍රවාද බවට පත් වී තිබේ.

කිම් පවුලේ ශ්‍රේෂ්ඨත්වය දනවන සම්ප්‍රචාරණ එරට දරුවන් දකින්නේ අසන්නේ ඔවුන් අකුරු කරන්නටත් පෙර සිටය.

"අපේ නායක කිම් ජොන්ග් අන් මට දකින්න ඕනා.." යන ගීතය එරට පෙර පාසල් දරුවෝ ගයති.

කිම් ජොන්ග් අන් රටේ නායකත්වය සඳහා සූදානම් කරද්දී ඊට සුජාතභාවයක් ලබා දීම සඳහා ඔවුහු "පෙක්ටු ලෙය" යන යෙදුම පවා භාවිත කළහ.

පෙක්ටු (Paektu) නමින් හැඳින්වෙන්නේ උතුරු කොරියානු පුරාණ දේව කතා හා සබැඳුණු, පූජනීය කඳු මුදුනකි.

උතුරු කොරියාවේ පියා ලෙස සැලකෙන කිම් ඉල් සුන්ග් සිය ගරිල්ලා යුද්ධය දියත් කළ සහ කිම් ජොන්ග් ඉල් උපත ලද ස්ථානය ලෙස ද මෙම කඳු මුදුන ගෞරවාදරයට පාත්‍ර වේ.

රට වෙනුවෙන් ගන්නා තීරණවල වැදගත් බව අවධාරණය කිරීම සඳහා තවමත් කිම් ජොන්ග් අන් එම ස්ථානයට යන්නේය.

උතුරු කොරියානු සංකල්පය තුළ 'කිම්' කෙනෙකු නිරන්තරයෙන් සිටී.

කිම් ජොන්ග් අන් 36 හැවිරිදිය. ඔහුට දාව දරුවන් සිටින බවට විශ්වාස කෙරේ. නමුත් ඔවුහු රටේ නායකත්වය දැරීමට තරම් නිසි වයසක පසු නොවෙති.

වත්මන් නායක කිම් ජොන්ග් අන්, තිදරු පියෙකු බවත් වැඩිමලාගේ වයස අවුරුදු දහයක් සහ බාලයාගේ වයස අවුරුදු තුනක් වන බවත් පැවසේ.

ඔහු රටේ නායකත්වයට පත් වූයේ තරුණ වියේදී මය. එවකට ඔහුගේ වයස අවුරුදු 27ක් වූ බව විශ්වාස කෙරිණි.